මිහිකතට ජීවය දෙන තෙත්බිම මගින්, මිනිසුන් , සතා සිව්පා, ගහකොළ වල ඇතුළු
සමස්ත පරිසර පද්ධතියේම යහපැවැත්මට සිදුවන මෙහෙවර සුළුපටු නැත. එහෙත්
තෙත්බිමක් මගින් ලොවට හිමි කරන අමිල දායාදයන් අතරට “අත්භූත රසය” ඇතුළු
වන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි.
එහෙත් වත්තල, ජා ඇල, කටාන සහ මීගමුව යන ප්‍රදේශ හා සම්බන්ධ මුතුරාජවෙල
තෙත්බිම පසුගිය කාලයේ ජනතාවට අත්භූත රසය ද සැපයුණ පුවත බොහෝ දෙනෙක් නොදත්
රහසකි.
කඳානේ සිට නුගපේ සහ උස්වැටකෙයියාව දක්වා වැටී ගත් කිලෝමීටර් තුන හතරක්
යනතුරු ඍජුව විහිදෙන අතුරු මාර්ගයක් මුතුරාජවෙල තෙත්බිම මැදින් වැටී ඇත.
මුතුරාජවෙල තෙත්බිම මතින් තැණුනු වේල්ලක් වැනි බිම් කඩක් මත ඉදිකෙරුණ මෙම
මාර්ගය පැරණි ගැමියන් විසින් හඳුන්වන ලද්දේ ‛ජයසූරිය බැම්ම’ යනුවෙනි.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකුව සිටි ඩී. පී. ජයසූරිය මැතිතුමන්ගේ
මූලිකත්වයෙන් යුතුව ඉදිකරන ලද මෙම මාර්ගයට ඒ නම යෙදෙන්නට ඇත. මීට වසර
ගණනකට ඉහත මිනිස් පුළුටක් නොමැති වගුරු වනාන්තර පරිසරයක් මැද ඉදි වූ මෙම
පාරේ එක්තරා තැනක බෝම්බ පිට්ටනිය නම් හිස් බිම් කඩක් අතීතයේ දැකිය හැකි
විය. දෙවන ලෝක සංග්‍රාම කාලයේ ජපනුන් විසින් දමන ලද බෝම්බයක් ඉලක්කය
වැරදී ගොස් මෙහි පතිත වූ බව කියනු ලැබේ. අද මෙහි ශාන්ත අන්තෝනි
මුනිඳුන්ගේ දෙව් මැදුරක් ඉදිව තිබේ.
එක්දහස් නවසිය හැත්තෑවේ අග භාගය දක්වා ම පාළුවට ඇරී තිබූ මේ ජයසූරිය
බැම්ම ආශ්‍රිතව සිදු වූ මිනීමැරුම් සහ මං පැහැරීම් බොහොමයකි. අද මෙන්
අපරාධ බහුලව නොතිබූ අතීත සමාජයේ පිට ප්‍රදේශවල මං පහරන්නවුන් විසින්
අගනුවර කුලී රථ රියැදුරන් උපක්‍රමශීලීව මෙහි ගෙනවුත් ඔවුන් මරා දැමු බවට
හා මුදල් මංකොල්ල කෑ බවට ලැබුණු තොරතුරු බොහොමයකි.
මීට දශක කිහිපයකට ඉහත විසු මිනිසුන් එවකට ජනශුන්‍යව පැවැති මෙම පරිසරයෙහි
එවන් අපරාධ සිදු කළ ද රාත්‍රියේ මෙන් ම දහවල් ද මෙහි සැරිසැරූ
‛පෙක්කොලියා’ ගෙන් කිසිවකුටත් එවන් බරපතළ විපතක් සිදු වූ බවට අසන්නට ලැබී
නැත.
‛පෙක්කොලියා’ යනු උස මිනිසෙකි. ඔහු කොතරම් උස ද යත් අඩි හතළිහකට අඩු නොවන
උසකින් යුතු ය. එහෙත් ‛පෙක්කොලියා’ උස යන්නේ මිනිස් දරුවන් මෙන් වසරින්
වසර, අඟලෙන් අඟල නොවේ. මුතුරාජවෙල ජයසූරිය බැම්ම මත දී රැයක හෝ දහවලක
යමකුට පෙක්කොලියා දර්ශනය වේ. ඒ සමගම ඔහුගේ දෑස් පනාපිට ම පෙක්කොලියා
හොඳින් වැඩුණු පොල් ගස් එක හමාරක්, දෙකක් පමණ උස වේ.
මේ අනුව මා කියන ‛පෙක්කොලියා’ මිනිසෙකු නොවන බව ඕනෑ ම කෙනෙකුට වැටහෙනු ඇත.
අද මෙන් යාන වාහන බහුලව නොතිබූ අතීතයේ කිසියම් බඩු පොදියක් කරමතින් හෝ
හිස මතින් අරගෙන ජයසූරිය බැම්ම ඹස්සේ මෙම වගුරු වන පෙත තරණය කරන
පිරිමියකු, ගැහැනියක හෝ කොලු කුරුට්ටකු හමුවේ හිටිහැටියේ මේ
‛පෙක්කොලියා’දර්ශනය වෙයි. මේ අද්භූත රූපය දැක ඉන් බියපත් වන හෙතෙම මරහඬ ලමින් දිව යතත් ඔහුට හෝ ඇයට පෙක්කොලියාගෙන් කිසි ම අනතුරක් සිදුවන්නේ නැත.
හැරත් පෙක්කෝලියා දර්ශනය වූ අයකුට කළ යුතු ප්‍රතිකාර ගැන දන්නා ඒ සම්බන්ධ
සිය ගණන් අත්දැකීම් සහිත යකැදුරන් කිහිප දෙනෙක් ම අතීතයේ එම ප්‍රදේශයේ
සිටියහ. මීට වසර තිහ හතළිහක් පමණ වනතුරු මුතුරාජවෙලින් මතු වූ මේ පෙක්කොලියාගේ
අවතාරය කොතරම් ප්‍රසිද්ධ වූයේ ද යත් මුතුරාජවෙල අවට ගැමි මව්වරුන් තම
සිඟිත්තන් යළි මුවින් හෙළන බත් කට ඔවුන්ගේ කුස තුළට යවා ගත්තේ මේ අපූරු
අමනුෂ්‍යාගේ නම සිහිපත් කරමිනි.
නමුදු අද ඒම ප්‍රදේශය මුල් කොට ඉදි වූ පුබුදුගම නම් ගම්වරය සහ ඊට ඉහලින් වැටීගත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ආදී සාධක මඟින් පෙක්කෝලියාගේ සියළු හිමිකම් අහිමි කොට ඇති සේය. එහෙත් මෙවන් අතීත ජනප්‍රවාද පිළිබඳ කිසිදු අගැයුමක් හෝ හැඟීමක් වර්තමානයේ බොහෝ දෙනෙකු තුළ නැති බව පෙනේ.
ප්‍රවීණ ලේඛකයකු වන සිසිල් රුද්‍රිගු ලියු “මගේ ගම හෙවත් මුතුරාජවෙල”
කෘතියෙහි ද මේ පෙක්කොලියා ගැන කදිම විස්තරයක් තිබේ.
තිලක් සේනාසිංහ