උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් පරික්ෂාවෙන් සිටින්න

December 16, 2020

උත්සව සමයේ සාප්පු සවාරි හා විවිධාකාර මිලදී ගැනිම් වෙනුවෙන් යද්දී සංසරණය වන මුදල් නෝට්ටු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

සාප්පු හා වෙළෙද සැල් වෙත ගොස් විවිධ මිලදී ගැනිම්වලදී හුවමාරු වන මුදල් නෝට්ටු අතර පත්වීමේදි සැලකිලිමත් වන ලෙසත් මුදල් නෝට්ටුවේ දිය සළකුණ හා හදුනා ගැනීමේ සලකුණු සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විවිධ වංචනිකයින් මේ කාලයේ ව්‍යාජ මුදල් නෝට්ටු භාවිතා කළ හැකි බව පෙන්වා දුන් ඒ මහතා ගොකරැල්ල පොලිස් වසමෙන් රුපියල් 5000 ක මුදල් නෝට්ටු 100 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවද කීවේය.

සැබෑ මුදල් නෝට්ටු වූවා නම් එහි වටිනාකම රුපියල් ලක්ෂ 5 ක් බවද ඔහු සදහන් කළේය. පොලිසියට ලද තොරතුරකට අනුව වාහනයක් පරික්ෂා කිරිමේදි මෙම මුදල් නෝට්ටු සොයා ගත් බවත් සැකකරුවන්ගෙන් එක් අයෙකු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අයෙක් බවත් අනෙක් තැනැත්තා ගොකරැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

t

o

p