රටේ ප්‍රධාන හා අතුරු මාර්ගයන්හි රාත්‍රී කාලයට රේස් පදින යතුරු පැදි කරුවන් සොයා අද (07) සිට විශේෂ මෙහෙයුම් රථවාහන පොලිස් මූලස්ථානය මගින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
එලෙස විනෝදයට රාත්‍රී කාලයේ යතුරු පැදි වේගයෙන් ධාවනය කරන්නට සුදානම්ව සිටි පිරිසක් යතුරු පැදි සමඟ කිඹුලාවලදී ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට පත් බවද ඔහු පැවසීය. කිඹුලාවල – ජයවර්ධනපුර රෝහල මාර්ගයේ මෙලෙස රේස් පැදීමට සුදානමින් තිබු යතුරු පැදි 24 ක් තරුණයන් 24 දෙනෙකු ද සමග අත්අඩංගුවට ගත් බවද ඔහු පැවසීය.
තරුණයන් විනෝදයට කරන මෙම ක්‍රියාව අන් පුද්ගලයන්ගේ ජිවිත අවධානමේ හෙළන ක්‍රියාවක් යැයිද ඔහු සදහන් කළේය. මොරටුව ප්‍රදේශයේ පසුගිය දිනක දැරියන් දෙදෙනෙකු පදික මාරුවකදී මිය ගියේ මෙලෙස විනෝදයට යතුරු පැදිය වේගයෙන් පැදවූ 20 හැවිරිදි තරුණයෙකු නිසාවෙන් බවද ඔහු සදහන් කළේය. එම අනතුරින් දරුවන්ගේ මව ද බරපතල තුවාල ලැබූ බවත් ඇය ගැබිණියක් බවත් ඇගේ කුසෙහි පැවැති කළලය ද මියගොස් සිටිම නිසා වෛද්‍යවරු එය ශල්‍යකර්මයකින් ඉවත් කොට ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
තරුණයන් රාත්‍රී කාලයට මෙලෙස මාර්ගයන් හි යතුරු පැදි වේගයෙන් ධාවනය කරන බවට තොරතුරු හෙළිවිම නිසා ශ්‍රීලංකාව පුරාම දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.