පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ තොරතුරු විමසීමක්

November 20, 2020

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) සවස රැස්විය.

එම රැස්වීමට සභානායක හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, උදය ගම්මන්පිල, කෙහෙලිය රඹුක්වැල්ල, නිමල් සිරිපාල ද සිල්වා, විදුර වික්‍රමනායක සහ රමේෂ් පතිරණ යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, විජිත හේරත් සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන්ද, සහභාගී වූහ.

එම රැස්වීමේ විශේෂත්වය වූයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට වීඩියෝ තාක්ෂණය උපයොගී කර ගනිමින් උසස් නිලතල පිළිබඳ කාරක සභාව විදේශයක සිටින ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඔහුගේ සුදුසුකම් පිළිබඳ තොරතුරු විමසීමක් සිදු කිරීමයි.

එලෙස තෙරතුරු විමසීමක් සිදු කරනු ලැබුවේ කෙන්යාවේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස පත් කර සිටින වේලුප්පිල්ලෙයි කනනාදන් මහතාගෙනි. මේ වන විට උගන්ඩාවේ රැඳී සිටින කනනාදන් මහතාගෙන් වෙබෙක්ස් (Webex) තාක්ෂණය ඔස්සේ තොරතුරු විමසූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මෙයට පෙර වර්ෂ 2013 සිට 2015 දක්වා උගන්ඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතාගෙන් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් වෙබෙක්ස් තාක්ෂණයෙන් මෙලෙස ඔහුගේ සුදුසුකම් පිළිබඳව කරුණු විමසූ බව දසනායක මහතා සඳහන් කළේය.

එම කරුණු විමසීමෙන් පසු කනනාදන් මහතා කෙන්යාවේ තානාපතිවරයා ලෙස පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මෙයට අමතරව අමාත්‍යාංශ 06 කට පත්කර ඇති ලේකම්වරුන් සඳහා ද උසස් නිලතල පිළිබඳ කාරකසභාවේ අනුමැතිය හිමි වූ බව මහ ලේකම් දසනායක මහතා පැවසීය.

විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.පී. ඔල්ගා මහත්මිය, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්. පේමසිරි මහතා, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එන්.එම්. රණතුංග මහතා, සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතා සඳහා මෙලෙස අනුමැතිය හිමිවිය.

t

o

p