කොරෝනා සමයේ අසරණව සිටින සුනඛාදී සතුන්ට පිහිටක් වෙමු

November 20, 2020

වර්තමානයේ පැතිර යන කොරෝනා වසංගත තත්වය හමුවේ දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින නිවාස අහිමි සුනඛාදී අසරණ සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම පොදු සමාජයීය යුතුකමක් සහ වගකීමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර කියයි. ශ්‍රී ලාංකීය ජන සමාජය පිළිබඳ ප්‍රායෝගික සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් කිහිපයක යෙදී ඇති ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම සමාජ විද්‍යාඥයකු වන ඔහු වෙතින් අප ඒ සම්බන්ධව කළ වැඩිදුර කරුණු විමසීමකි මේ.

■          වර්තමානයේ පැතිර යන කොරෝනා වසංගතය මුල් කොට නිවාස අහිමි සුනඛාදී සතුන් මුහුණ දෙන ඛේදනීය තත්වය සමාජ විද්‍යාත්මකව වැදගත් වන්නේ කොහොමද ?

සමාජ විද්‍යා විෂය පථය මුළු මහත් ලෝකයම ආවරණය කරන්නක්. මිනිස් සමාජය හා සැබැඳුණු සෑම සංසිද්ධියක් කෙරෙහිම විශ්ලේෂණාත්මක දුෂ්ඨියක් එල්ල කිරීම සමාජ විද්‍යාවේ පොදු අරමුණයි. එහිදී මිනිස් සමාජය පිළිබඳව සේම මිනිසා සහ පරිසරය අතර පවත්නා අවියෝජනීය සබදතා පිළිබඳව ද විමසා බැලිය යුතුමයි. සුනඛයා කියන්නේ වසර තිස් දහසකටත් පෙර මිනිස් ඇසුරට පත්ව මානව පරිණාමයේදී මිනිසා සමඟම වර්තමානයට ආ සතෙක්. ඒවගේම සෙසු ගෘහස්ථ සතුන් සම්බන්ධයෙනුත් එවන් විවිධ අගයන් වටිනාකම් ලබා දිය හැකියි. ඒ නිසා මානව විද්‍යා විෂය පථයක් වන සමාජ විද්‍යාව තුළින් වර්තමාන කොරෝනා වසංගතය හමුවේ අසරණ  වී සිටින ඒ සතුන් පිළිබඳවත් අප විමසා බැලිය යුතුයි.

■          වර්තමාන කොරෝනා වසංගතය නිසා නිවාස අහිමි සුනඛාදී සතුන් අසරණ වන ආකාරය විස්තර කළ හැකිද?

මේක ප්‍රධාන වශයෙන් නාගරික සහ අර්ධ නාගරික කලාප තුළ විශේෂයෙන් උද්ගත වෙන තත්වයක්. ගම්බදට සාපේක්ෂව නාගරික කලාප තුළ ජන ඝනත්වය වැඩියි. ඊට සාපේක්‍ෂව සුනඛ ඝනත්වය ද ඉහළ නැංවී ඇති බව පෙනෙනවා. මේකට හේතුව අවිධිමත් නාගරීකරණයයි. ඒ තුළින් තමයි නිවාස අහිමි සුනඛ බහුලත්වයක් දක්නට ලැබෙන්නේ.

■          නමුත් ලෝකයේ දියුණු රටවල, නගරවල මෙවැනි නිවාස අහිමි සුනඛයන් දකින්නට ලැබෙන්නේම නැහැ.

ඒ තත්වයේ සම්පූර්ණ වගකීම මිනිසා සතුයි. විධිමත් හා සංවිධිත නාගරීකරණය තුළ නිවාස අහිමි සුනඛාදි සතුන් පාලනය කිරීම සඳහා විධිමත් සැලසුම් මඟින් නිවාස අහිමි සුනඛාදී සතුන්ගේ ගහනය පාලනය කොට තිබෙනවා. අද වන විට ඒ තත්වය වර්ධනය වී එවන් සතුන් ලියාපදිංචියකට පවා යටත් කොට තිබෙනවා.

■          එසේ සුනඛ ගහණය පාලනය කොට ඇත්තේ ඒ සතුන් මරා දැමීමෙන් නේද?

අතීත සමාජයේ මිනීමරුවන්, සොරුන්, මංකෙල්ල කරුවන්, සේම වසංගත රෝගීන්, මානසික රෝගීන් ආදී සමාජයේ විවිධ කොටස් මරා දමා ඔවුන් සමාජයෙන් තුරන් කිරීමෙන් සමාජ සුභසිද්ධිය අපේක්‍ෂා කළා. අසරණ සුනඛාදී සතුන් මරා දැමීමට ලක් වන්නේ ඒ සිද්ධාන්තය යටතේ. නමුත් විවිධ හේතුන් මත අද වන විට මිනිසාට මරණ දණ්ඩනය පැනවීමේ සිට සතුන් සමූල ඝාතනය කිරීම පවා කෙමෙන් ලොවින් තුරන් වී යන තත්වයක් පැන නැඟී තිබෙනවා.

■          නමුත් විවිධ හේතුන් මත සතුන් සමූල ඝාතනයට ලක් කිරීම (Culling) පිළිබඳව මේ දිනවලත් ජනමාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය වෙනවා?

නමුත් ඊට එරෙහිව ලෝක ජනමතයක් ගොඩනැඟෙමින් පවතින බවත්, ඒ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම පිළිබඳව පවා අනතුරු ඇඟවීම් කළ රටවල් පිළිබඳවත් අසන්නට තිබෙනවා. එය මිනිසාගේ බුද්ධි පරිණාමය අනුව ස්වභාවිකව සිදු වන්නක්. අපේ රටේත් ඉංග්‍රීසි පාලන සමයේ සිට රාජ්‍ය මට්ටමින් සුනඛ ඝාතන සිදු වුණත් 2006 වසරේ සිට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එය අත්හිටුවා තිබෙනවා. මේ තත්වය අරුණෝදයක් නොවුණත් සහන් එළියක් සේ දකින්න පුළුවන්.

■          මේ දිනවල පවතින කොරෝනා වසංගතය ග්‍රාමීය සුනඛයන්ට වඩා නාගරික සුනඛයන් කෙරෙහි දැඩිව අයහපත් ලෙස බලපාන්නේ කොහොමද?

නගරය කියන්නේ එහි නිත්‍ය වැසියන්ට අමතරව විවිධ ප්‍රදේශවලින් පර්යටනය වන ජනතාවගෙන් සැදුම්ලත් කලාපයක්. රැකියා පිණිස අධ්‍යාපනය පිණිස ව්‍යාපාර පිණිස ආදී විවිධ කරුණු මුල් කොට නගරයට පැමිණි ජනතාව ඉලක්ක කොට ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ලන සංවිධාන හා ආයතන වි්‍යුහයක් නගර තුළ නිර්මාණය වෙනවා. එහිදී හෝටල්, ආපනශාලා ආදී ස්ථානවලින් ඉවතට දැමෙන ආහාර, නගරවලින් බැහැර කරන කැලිකසල ආදී දේවල් ආහාරය පිණිස ගන්නා සුනඛයන් නාගරික කලාපය තුළ ශීඝ්‍රයෙන් වර්ධනයක් දකින්නට පුළුවන්. නමුත් වර්තමාන තත්වය යටතේ ඒ සමාජ යාන්ත්‍රණය බිඳ වැටීම නිසා ඒ සුනඛාදි සතුන් බරපතල ආහාර හිඟයකට පත්ව සිටිනවා.

■          මෙවන් තත්වයක් යටතේ ආහාර පාන ආදිය ලබා දීමෙන් අපි ඔවුන් පෝෂණය කළ යුත්තේ ඇයි?

මානව ඉතිහාසයේ මිනිසා සමඟ දිගු ගමනක් පැමිණ තමන්ගේ මුල් ආහාරය වූ මාංශ අනුභවය පවා සීමා කොට මිනිසාගේ කෘෂිකාර්මික අස්වැන්න මත නිපදවෙන ධාන්‍යමය ආහාර වලට පවා යොමු වූ මෙම අසරණ සුනඛ ප්‍රජාව මෙවන් අවස්ථාවකදී අතහැර ඔවුන්ට හාමතේ මිය යන්නට ඉඩ සැලැස්වීම මිනිස් සමාජයේ සදාචාර ධර්ම වලට සේම ස්වභාවික යුක්තියටත් පටහැනි වූවක්. මිනිසා ගේ සදාචාරය යනු මිනිසුන් අතර තිබිය යුතු ආචාර ධර්ම පමණක් නොවේ. සත්ත්ව කරුණාව වැනි උත්තරීතර ගුණාංග ආරක්ෂා කිරීමත් ඒවා මතු පරපුරට දායාද කිරීමත් වත්මන් සමාජයේ යුතුකමක් හා වගකීමක්.

■          නමුත් දෙමාපියන්ටවත් නොසලකන සමාජයකින් අසරණ සුනඛාදී සතුන්ට සැලකීමක් බලාපොරොත්තු විය හැකිද?

සමාජයක සදාචාර ධර්ම නිසි පෙළ ගැස්මකින් ඉදිරිපත් කිරීම අසීරුයි. ඒ සදාචාර ධර්ම පද්ධතිය එක් එක් සමාජයට අනුව විවිධාංගීකරණය වෙනවා. ඇතැමුන් තමන්ගේ ඥාතීන්ට වඩා පිටස්තරයන්ට උදවු උපකාර කිරීමට පෙළඹී සිටිනවා. තවත් සමහරුන් මිනිසුන්ට වඩා සතුන්ට පිහිට වීමට කටයුතු කරනවා. තවත් සමහරුන් වියපත් වූවන්, රෝගීන් කෙරෙහි විශේෂ උනන්දුවකින් කටයුතු කරනවා. සාරධර්ම සපිරුණු සමාජ යහපැවැත්ම සඳහා මේ සියළු ගුණාංග එක සේ ප්‍රවර්ධනය කළ යුතුයි. ඉන්දියාවේ මහත්මා ගාන්ධි තුමන් පවා සමාජයක ශ්‍රේෂ්ඨත්වය මනින මිම්මක් වශයෙන් සත්ව කරුණාව හුවා දක්වා තිබීම අද වන විට ලෝක සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා.

■          ඔබ පවසන  අන්දමට මෙවැනි යුතුකම් සහ වගකීම් සමාජයෙන් ඉවත් වුවහොත් කුමක් සිදු වේද?

කිසියම් සමාජයක ඇගයුම් පද්ධතිය බිඳවැටීමෙන් හට ගන්නා සාරධර්ම විරහිත අනෝමීය (Anomie) සමාජයක් පිළිබඳව 19 වන සියවසේ අග භාගයේ ජීවත් වූ එමිල් ඩර්ක්හයිම් කියන සමාජ විද්‍යාඥයා කළ අනාවරණය අද ලෝකයේ විවිධ සමාජයන් තුළින් අපට දැක ගන්නට පුළුවන්. ඒ නිසා මේ කොරෝනා වසංගත සමයේ පුද්ගල, පවුල් සහ ප්‍රජාමය  වශයෙන් ඒකරාශි වී මේ නිවාස අහිමි අසරණ සතුන්ගේ කුසගින්න නිවීම වැදගත් සමාජමය කටයුත්තක් ලෙස මා පැහැදිලිවම සඳහන් කරනවා.

සටහන

රේණුකා දමයන්ති   

t

o

p