කේන්දර විශ්වාස නොකළ ජෝතිෂ්‍ය පඬිවරයා

November 18, 2020

දෙදහස් දෙක වසරේ එක්තරා දිනයෙක මට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයෙන් ඇරයුමක් ලැබිණ. ඒ විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති සහ විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමුණුගම ශාන්තවිමල හිමිපාණන් වෙතිනි.

එම විහාරයේ පැවැති දහම් හමුවකදී “නූතන ශ්‍රී ලාංකීය බෞද්ධ සමාජයේ මිථ්‍යා විශ්වාස” යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වීම එම ඇරැයුමේ නිමිත්ත විය.

මා එහි යන විට විශ්ව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ප්‍රජාව සහ විහාරස්ථානය සම්බන්ධ වෙනත් දායක කාරකාදීන්ගෙන් සමන්විත සියයක පමණ පිරිසක් එහි රැස්ව සිටියහ. ශ්‍රී ලාංකීය බෞද්ධ ජන සමාජයේ මිථ්‍යා විශ්වාස පිළිබඳ විස්තර කරමින් එම දෙසුම පවත්වාගෙන යන අතරේ “අලි ජංජාලයකට” පටලැවෙන්නට මට සිදුවිය. ඒ බුද්ධකාලීන භාරතීය ජ්‍යොතිෂය හුදු නැකත් ශාස්ත්‍රයක් ලෙස මිස අනාවැකි කීමේ ශාස්ත්‍රයක් වශයෙන් වර්ධනය වී නොතිබූ බවක් කියන්නට යාමෙනි.

ඒ කියුම අසා බලවත් නොසන්සුන් බවට පිරිසේ සිටි පුද්ගලයකු අතපය වීසිකරමින් කෑ ගසන්නට වූයේ මා බුදු දහම වැනසීමට ක්‍රියා කරන දේවදත්තයෙකු බව අඟවමිනි. වාග් ප්‍රහාරය සංසිඳුවීම පිණිස
මැදිහත්වීමට පූජ්‍ය ශාන්තවිමල හිමියන්ට සිදුවිය. එම තැනැත්තා මඳකට නිහඬ කළ උන්වහන්සේ ද ප්‍රකාශ කොට සිටියේ අටුවා සියල්ල සමග මුළු ත්‍රිපිටකයම පරීක්ෂා කළ ද බුද්ධකාලීන ‍ජ්‍යොතිෂය අනාවැකි කීමක් ලෙසට යොදා ගත් බවට එකම සාක්ෂියක්වත් සොයාගත නොහැකි බව ය.

එමෙන්ම මවෙත එල්ල වූ එම ආරෝව සිදුහත් කුමරුන්ට නම් තබන දිනයේ කොණ්ඩඤ්ඤ බමුණා කී අනාවැකිය පදනම් වූවකි. මා දෙසුමේදී හෙළි කළ ලෙසම එය පළ කළ කුමරාගේ දේහ ලක්ෂණ බලා අනාවැකියක් මිස කුමරුන්ගේ හඳහන බලා කී දෙයක් නොවන බව ද ශාන්තවිමල හිමියෝ ද අවධාරණය කළහ.

කෙසේ හෝ කලින් කතිකා කරගත් අන්දමට මෙම දෙසුමින් පසුව මම මගේ සමීපතම මිතුරකු හමුවීම පිණිස විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨය වෙත ගියෙමි. ඒ මිතුරා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භාෂා ශාස්ත්‍ර විද්වතකු, සාහිත්‍ය
විශාරදයකු සේම විශිෂ්ට ගණයේ මානව විද්‍යාඥයකු වූ පේරාදෙණිය විශ්ව
විද්‍යාලයීය සිංහල අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යකුව සිටි විභාවි
විජය ශ්‍රී වර්ධන ය.

විභාවි දැනුම් දී තිබූ අන්දමට මා ඔහු සොයා ගියේ විශ්ව විද්‍යාලයීය
ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති කාර්යාලය ඉදිරියේ වූ ආචාර්ය මණ්ඩලයේ ‍පොදු
කාමරය වෙතය.

‘ඔන්න මිථ්‍යා දෘෂ්ටිකයෙක් එනවා’ මා එම කාමරයට පිවිසි සැනින් විභාවි තමන් සමග සිටි සෙසු පිරිසට මා හඳුන්වා දුන්නේ එම සෝපාසාත්මක හැඳින්වුමෙනි.

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය විද්වතුන් සේ සැලකෙන පේරාදෙණිය සරසවියේ මහැදුරු කිහිප පළක් ඒ වන විට මේ ‍පොදු කාමරයේ කෙළවරක කිසියම් කතාබහක යෙදෙමින් හිඳිනු ද ඒ අතරේ මට පෙනිණ. ඔවුන් අතර සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය පී.ඩී. ප්‍රේමසිරි සහ දර්ශන අංශයේ මහාචාර්ය ගුණපාල ධර්මසිරි යන විද්වත්හු වූහ.

කෙසේ හෝ විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයේ පැවැති මගේ දෙසුම පිළිබඳව
විභාවි විසින් කරුණු විමසනු ලදුව මම එහිදී මට මුහුණ දීමට සිදුවූ අලකලංචිය
පිළිබඳව ඔහුට කියා සිටියෙමි.

කෙසේ හෝ ඒ අද්දර සිට අපගේ මෙම කතාබහට කනින් කොණින් සවන් දුන් තරුණ කථිකාචාර්යවරියක පුවත්පත්වල පළවන ලග්න පලාඵල
සම්බන්ධ යම් විස්තරයක් කළා ය. මගේ මතකයට අනුව ඇය සමාජ විද්‍
යාඅධ්‍යයනාංශයේ කථිකාචාර්යවරියකි. අපගේ මේ කතාබහ සිදුවෙමින් යන අතර අද්දර මේසයක් වටා සිදුවෙමින් තිබූ මහාචාර්යවරුන්ගේ කතිකාව ද හමාර වෙමින් තිබිණ.

“ලග්න අනුව පලාපල කියන එක ‍ජ්‍යොතිර්වේදයේ සිද්ධාන්තවලට මුළුමනින්ම
පටහැනියි; කේන්ද්‍රයේ එන ලග්නයේ විදිහට අනාවැකි කියන්න බෑ කියන එක
‍ජ්‍යොතිර්වේදයේ මූලික අදියරේදීම කියැවෙනවා” එහිදී මම කීවෙමි.
“ලග්න අනුව විතරක් ‍නෙවෙයි කේන්දර අනුවත් අනාවැකි කියන්න බැහැ; ඒකත් ‍ජ්‍යොතිර්වේදයේ මූලික ඉගැන්වීම්වලට විරුද්ධයි“ එසැනින් කිසිවකු පවසනු ඇසිණ.

එබැවින් මම හනික එදෙස බැලිමි. ඒ මහාචාර්ය ගුණපාල ධර්මසිරි ය.
ඔහුගේඑම කීම ඇසුණු මට ‘දෙලෝ රත් විය’. නිසැක ලෙසම ඔහු මවෙත දමා ගසන්නේ බරපතළ උපහාසාත්මක වදන් පෙළකිනි. මීට මඳ වේලාවකට පෙර විශ්ව විද්‍යාලයීය බෞද්ධ විහාරයේදී මගේ ඉහමතට කඩා වැටෙන්නට ගිය “මරාලයේදී” මා බේරා ගන්නට ශාන්ත විමල හිමියෝ වහා ඉදිරිපත් වූහ.

එහෙත් මෙවර මෙම විදග්ධ මහාචාර්යවරයා වෙතින් මා හට එල්ල වන උපහාසාත්මක අභියෝගය ඊට වඩා අතිශයින් බරපතළය. එහෙත් මෙහිදී ශාන්තවිමල හිමියන් මෙන් විභාවි ඉදිරිපත් නොවනු ඇත. තම පුළුල් ජීවිත පරිඥානය සහ විෂයානු බද්ධ දැනුම් අවබෝධයන් පරාසයට අමතරව සැහැල්ලු විනෝදකාමීත්වයක් ද හිමි රසවතකු වූ විභාවි තම සරසවි ආචාර්ය ප්‍රජාව පිනවීමේ ‘බයිට් එකක්’ ලෙස මා යොදා ගැනීමේ පැහැදිලි අවදානමක් තිබේ.

“ජ්‍යොතිර්වේදය අනන්ත අපරිමාණ විශ්වයේ තියන ග්‍රහ තරු මේ පෘථිවි තලය හා සම්බන්ධවීම ගැන කියැවෙන දාර්ශනික පදනමකින් යුක්ත විද්‍යා ශාස්ත්‍ර
ජාලයක්; පෘථිවිය කිව්වම මිනිස්සු විතරක් ‍නෙවෙයි; ගහ කොළ, සතා සීපාවා ආදී වශයෙන් මිහිතලයේ තියෙන ජීවී අජීවී හැම දෙයක්ම පෘථිවිය කියන සංයුතියට ඇතුළත් වෙනවා; පුද්ගලයා කියන්නේ ඒ සංයුතියෙන් එක අංශු මාත්‍රයක් විතරයි;”
මහාචාර්යවරයා එසේ පවසනු මම සැලෙන හදින් යුතුව අසා සිටියෙමි.

“ඒ අනුව අනන්ත අපරිමාණ විශ්වයෙන් පෘථිවිය වෙත එල්ල වෙන ග්‍රහ දෘෂ්ටින් එක් එක් පුද්ගලයා සම්බන්ධයෙන් හුදු; කේවල බලපෑමක් කරනවා නම් කරන්නේ අංශු මාත්‍රික විදිහට විතරයි; ඒ අනුව යම් පුද්ගලයෙකුගේ උපන් වෙලාව, ස්ථානය මත පදනම්ව සකස් වෙන කේන්ද්‍රය ඒ පුද්ගලයාගේ හුදෙක් ජීවන පලාපල විස්තරයක් විදිහට සලකන්න ප්‍රමාණික හැකියාවක් ‍ජ්‍යොතිර්වේදය තුළම නෑ” හෙතෙම කීය.

“ඒ මොකද සර්” ඒ සමග එහි සිටි කිසිවෙක් ඇසීය.
“මම කිව්වනේ විශ්වයෙන් ග්‍රහ බලපෑම් එල්ල වෙන්නේ පෘථිවි සංයුතියටම කියලා; දේශාංශ අක්ෂාංශ ආදී වශයෙන් ඒ සංයුතියට සීමා පැමිණෙන්න පුළුවන්; ඒ කියන්නේ යමකු උපදින දිනය, වෙලාව, එළිය, ස්ථානය මුල්කරගෙන ජන්ම පත්‍රයක් සකස් වුණත් ඒක මූලික වශයෙන් ඒ පුද්ගලයාගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, විවාහ වුණාට පස්සේ බිරිඳ, දරුවන් මේ හැමෝගෙම ග්‍රහචාරයන් එක්ක තුලනාත්මකව සම්බන්ධ වෙනවා; ඒ වගේම තමන් ජීවත් වෙන භූගෝලීය දේශගුණික, සමාජ ආර්ථික, සංස්කෘතික මේ හැම දෙයක්මත් එකිනෙකට සම්බන්ධ වෙනවා.

කෙටි උදාහරණයක් ගත්තොත් රාජ යෝගයක් එක්ක මෙලොව එළිය දකින පුද්ගලයා වටා ඒකරාශී වෙන මේ වගේ තුලනාත්මක පසුබිම් කරුණු මුල්කරගෙන ඒ පුද්ගලයාට රටක, පළාතක, ගමක හරි නායකත්වයක් හම්බුවෙන්නත් පුළුවන්; එහෙම නැත්නම් පුද්ගලයාට අනික් හැමෝටම
යටත්වම යාචක ජීවිතයක් අත්වෙන්නත් පුළුවන්” මහාචාර්යවරයා කීය.

‘එතකොට සර් කාගේ හරි කේන්ද්‍රයක් බලලා ඒ පුද්ගලයාගේ ජීවන පලාපල හරියට කියන්න බැරිද?’ එහි සිටි කිසිවෙක් මහාචාර්යවරයාගෙන් ඇසීය.
‘කියන්න බැරිකමක් නෑ; ඒත් එක සාක්කියක් විතරක් අහලා නඩුවක සාධාරණ විනිශ්චයක් දෙනවටත් වඩා සිය දහස් ගුණයක අවදානමක් තියන වැඩක්” ‍ජ්‍යොතිර්වේදයෙන් කේන්ද්‍ර බලන එක මානව ශාස්ත්‍රයක් හැටියට වර්ධනය වුණේ හුදෙක් මානව අවශ්‍යතා මතම තමයි.

නමුත් මිනිසා පුරාණ ‍ජ්‍යොතිෂය යොදා ගත්තේ සමස්ත විශ්වයේ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමේ ශාස්ත්‍රයක් විදිහට”මහාචාර්යවරයා කීයේ ඒ වන විට ශීඝ්‍රයෙන් ඉහළ නැංවී තිබූ මගේ හෘද ස්පන්දන වේගය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කරමිනි.

මගේ පැමිණීම මුල්කොට විභාවි විසින් එදින සන්ධ්‍යාවේ පේරාදෙණිය විශ්ව
විද්‍යාලයීය අධ්‍යයන පීඨ සමාජ ශාලාවේදී උණුසුම් සංග්‍රහයක් ද සංවිධානය
කොට තිබිණ. මේ සඳහා අප දෙදෙනාගේම මිතුරකු වූ පේරාදෙණිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍ය සුගත් විජයවර්ධන, විභාවි සේවය කළ සිංහල අධ්‍යයනාංශයේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ලක්ෂ්මන් නුගපිටිය සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.

සංග්‍රහය මදින් මද උණුසුම් වෙමින් පැවැතිණ. එහෙත් ඒ අතරිනුදු එදින දහව‍ලේ අසන්නට ලැබුණු මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ ස්වරය මගේ මනැස තුළ නින්නාද දෙන්නට විය. එබැවින් මම ඒ පිළිබඳව නැවතත් විභාවිගෙන් අසා සිටියෙමි.

“‍ප්‍රොෆෙසර් ගුණපාල ධර්මසිරි කියන්නේ පෙරදිග ආධ්‍යාත්මික සංකල්ප ගැන
ප්‍රාමාණික දැනුමක් තියන පඩිවරයෙක්; අපේ හුඟක් ෙදෙවඥයෝ කේන්දර බලන්න ඉගෙන ගන්නේ ‍ජ්‍යොතිර්වේදය ගැන සෙද්ධාන්තික වශයෙන් ඉගෙන ගත්තෙත් නැතුවනේ; ඒත් ජ්‍යොතීර්වේදය, ආයුර්වේදය කියන විෂයන් ගැන සර් ගැඹුරු ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරලා තියනවා. ‍ජ්‍යොතිර්වේදය ගැන සර්ගේ මට්ටමේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරපු අය තවත් අපේ රටේ ඉන්නවද කියලත් සැකයි“ විභාවි කීය.

‘එතකොට ‍ප්‍රොෆෙසර් කේන්දර එහෙමත් බලනවද?’ ඔහුගේ එම ප්‍රකාශය හමුවේ එසැනින් මම මුවට නැංවුණු වදන් පෙළක් එලෙසින්ම පිට කළෙමි. එවිට ඊට පිළිතුරක් දෙනු වෙනුවට විභාවි මහ හඬ නගා සිනාසුණි.

‘යකෝ: උඹට මතක නැද්ද සර් කිව්වා ‍ජ්‍යොතීර්වේදයට අනුව වුණත් කේන්දර බලන එක වැඩක් නෑ කියලා; ඉතින් උඹ හිතුවද සර්ටත් උඹට වගේ මොකක් හරි ඔළුවේ අමාරුවක් තියනවා කියලා’ කෙසේ හෝ මගේ සොඳුරු හිතවතා; විභාවි තම සිරුරේ කලක් සැඟවී තිබූ රෝගයක් උත්සන්න වීමෙන් ඉන් සිව්වසරකට පසුව එනම් 2006 ඔක්තෝබර් හතර වනදා සඳහටම
මෙලොව හැර ගියේ ඔහුගේ දයාබර බිරිඳ, පුතුන් දෙදෙනා සෙසු ඥාතීන් සමග මා වැනි තවත් සහෘදයන් රැසකගේ දෙනෙත්වලට උණු කඳුළු නංවමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතළිස් අටකි.

තිලක් සේනාසිංහ විසිනි (2015-01-12 17:19:48)
+++++++++++++++++++++++++++++++++++++++++++
පසු වදන;

ඉහත දැක්වෙනුයේ මීට වසර පහකට පෙර “ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවියෙහි
ම`විසින් තබන ලද සටහනකි.

එහෙත්,ඉහත සඳහන් මුල් සිදු වීමත් සමඟ මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීන්ගේ එම දාර්ශනික සංකල්පය ඇසුරින් පුවත් පත් විශේෂාංගයක් සකස් කිරීමට කිහිප වරක්ම වෙර දැරීමි.නමුදු ඔහු ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් පළ නොකරන බව මට වැටහිණ.”එහෙම තමයි සර් ගේ හැටි,පත්තර වලට ඉන්ටවීව්ස් දෙන්න එච්චර කැමති නෑ”ඒ සම්බන්ධයෙන් මගේ මිතුරු විභාවි කීය.

කෙසේ හෝ ඉන් පසුව අවස්ථා කීපයක දීම මා මහාචාර්ය ගුණපාල
ධර්මසිරි සූරීන්ට දුරකතනයෙන් ඇමතූ අතර ඇතැම් විෂයන් සම්බන්ධයෙන් අපි බොහෝ වේලා කතා බස් කළෙමු. මේ අතර 2015 ජනාධිපතිවරණය මුල් කොට අප රටේ ජෝතීර්වේදී විෂය පථය එකම ගණිකා මඩමක් වූ අතර ජනාධිපතිවරණය සම්බන්ධ තම අනාවැකිය වැරදුනහොත් වෙඩි තබා ගන්නා බව පවසන”අමන මරි මෝඩයෝ”ද ජෝතීර්වේදයෙන් මතු විය.”හැබැ‍යි ඔන්න මේ කාලෙට තමයි එදා ප්‍රොෆෙසර් අර ජෝතීර්වේදය ගැන කියපු සෛද්ධාන්තික අදහස වටින්නේ .

නැත්නම් ඒ පැරණි ශාස්ත්‍රයේ සායම තමයි යන්නේ; මුන් පිස්සු කෙලින විදිහට” ජනාධිපතිවරණයෙන් පසු මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීන්ට එසේ කියූ මම එය කුමක් හෝ මාධ්‍යයක් මඟින් සමාජ ගත කිරීමේ අදහස ඔහු හමුවේ අවධාරණය කළෙමි.”හරි,කමක් නැහැ,එහෙනම් දාන්න”මහාචාර්ය වරයා කීය.

ඒ අනුව මහාචාර්ය වරයාගේ දාර්ශනික මතවාදය ද සහිතව එම ජනාධිපතිවරණය මුල් කොට දක්නට ලැබුණු ජෝතීර්වේදී ආටක-නාටක පිළිබඳ ලිපියක් ලියා එය යොවුන් වියේ සිටම මගේ පෙරලිකාර: හිතහොඳ මිතුරකු වන සඳරුවන් සේනාධීරගේ “ලංකා ඊ නිව්ස්” වෙබ් අඩවියට යැවීමි.

ඉහත පළ වී ඇත්තේ 2015.01.12 දින එම වෙබ් අඩවියේ පළ වූ එම ලිපියෙන් කොටසකි.නමුදු,මගේ එම ලිපිය පළ වී මාස හතරක් ඉක්ම යාමටත් පෙර අතිශය ශෝචනීය පුවතක් අසන්නට ලැබිණ.එනම් මහාචාර්ය ගුණපාල
ධර්මසිරි සූරීන් සදහටම මෙලොවින් සමුගත් බවකි.

ඇගේ එම ඉල්ලීමට එක පයින් කැමති වූ මම එදිනම එම ලිපිය ලියා වවනු ලදුව එය ” කැලණි විශ්ව විද්‍යාලයීය දර්ශන අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මෙම සිදුවීම වන අවදියේ පේරාදෙණි සරසවියේ මහාචාර්ය ගුණපාල ධර්මසිරිගෙන් දර්ශනය හදාළ දක්ෂ උද්යෝගීමත් සිසුවියකි.

මහාචාර්ය වරයා ජෝතිෂ්‍යයේ සිද්ධාන්ත සම්බන්ධයෙන් පළ කළ දාර්ශනික අදහස දැන සිටි ඇය ඒ වන විට පේරාදෙණි සරසවියේදී මා මුහුණ දුන් “අලකලංචිය” ද අසා දැන තිබෙන්නට ඇත.”අපි ගුණපාල ධර්මසිරි සර් ගැන ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයක් කරනවා,බැරිද ඒකට සර් ජෝතිෂ්‍යය ගැන දරපු අදහස් ගැන ලිපියක් එවන්න”දිනක් දුරකතනයෙන් මා ඇමතූ
සංජීවනී ඇසුවාය.

ඇගේ එම ඉල්ලීමට එක පයින් කැමති වූ මම එදිනම එම ලිපිය ලියා වවනු ලදුව
එය”මහාචාර්ය ගුණපාල ධර්මසිරි ජීවිතය සහ දර්ශනය”නම් ශාස්ත්‍රීය ලිපි
සංග්‍රහයේ පළ වී තිබේ.

ඒ කෙසේ හෝ සෛද්ධාන්තික ජෝතීර්වේදය සම්බන්ධ තම දාර්ශනික මතවාදය මා ඉදිරියේ ගෙන හැර දක්වා එය මාධ්‍ය මඟින් ගෙන හැර දැක්වීම සම්බන්ධයෙන් වසර දහතුනක් මුණිවත රැකි මෙම අග්‍ර ගණ්‍ය පඬි වරයා තම මරණයට මාස හතරකටත් අඩු කාලයක් තුළ මට ඒ සඳහා ඉඩ අවසර ලබා දීම මගේ ජීවිතයේ සුවිශේෂ මතක සටහනකි.

තිලක් සේනාසිංහ

t

o

p