රෝග ලක්‍ෂණ නැතත් කෝවිඞ් ආසාදිතයන් මහ මඟ වැටී මිය යන්න පුළුවන් ද?

November 18, 2020

මේ දිනවල හෘදයාබාධ සම්බන්ධයෙන් සමාජය පුරා කිසියම් බිය ජනක තත්වයක් පැතිර යනු පෙනේ. ඊට හේතුව වත්මන් කෝවිඩ් වසංගත තත්වය යටතේ මිනිසුන් හිටි හැටියේ මිය යාමේ වර්ධනයක් පෙන්නුම් කරන බවට සමාජය පුරා පැතිර යන රාවයයි.

යමෙකු හිටිහැටියේ; ක්ෂණික මරණයකට ලක් වීමට ප්‍රධානතම හේතුව හෘදයාබාධ බව අද සමාජයේ බොහෝ දෙනෙක් දනිති. විද්‍යාත්මක වශයෙන් ද එහි සත්‍යතාවක් තිබේ. ඊට හේතුව මිනිස් සමාජයේ සිදුවන ක්ෂණික  මරණවලින් අතිවිශාල බහුතරයකට හේතුව හෘදයාබාධ හා ඒ ආශ්‍රිතව පැන නැගෙන හදිසි රෝග තත්වයන් වීම ය.

අතීතයේ අප ජන සමාජයේ ‘මහසෝනා ගැහීම’ යනුවෙන් හඳුන්වනු ලැබූ ක්ෂණික මරණ බොහොමයකට විද්‍යාත්මක හේතුව ද මෙය ම බව පෙනේ. නමුත්, අද වන විට මෙම ක්ෂණික මරණ වලට ‘වග උත්තර කරුවෙකු වූ’ මහසෝනා මුළුමනින්ම පාහේ ඉන් ඉවත් කොට ඇත.

ඒ වෙනුවට වර්තමානයේ පැතිර පවත්නා කොරෝනා වසංගතය මුල් කොට එම මරණ වලට හේතුව කෝවිඩ් 19 වශයෙන් සමාජය පුරා පැතිර යමින් තිබේ.

හෘද රෝගයක් නිසා යමෙකු ක්ෂණික මරණයකට ලක් වීමට හේතු කිහිපයක් තිබේ. ඒවා අතරින් myocarditis හෝ myocardial infarction ආදී හේතු මුල් කොට හෘදයේ රිද්මය වෙනස් වීම හෙවත් ventricular arrhythmia මුල් තැනක් ගනී.

ඊට අමතරව පෙනහළුවලට රුධිරය සපයන ධමනියක ලේ කැටියක් සිරවීමෙන් එම ධමනිය අවහිර වීම හෙවත් pulmonary embolism ද හෘදය වස්තුව මුල් කොට ක්ෂණික මරණයක් ඇති කරවන හේතුවකි. හෘද රෝගීන්, හෘද රෝග ලක්ෂණ පළ කරන්නවුන් අතරින් සේම කිසිදු හෘද රෝගයක ලක්ෂණ නොමැත්තවුන් පවා මෙවන් ක්ෂණික මරණ වලට ලක් විය හැක.

මෙම ඇතැම් මරණ වලට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයකින් හෙළි කර ගත හැකි අතර ඇතැම් මරණ වලට හේතුව මළ සිරුරේ හෘදය වස්තුව සහ වෙනයම් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගෙන් දෘෂ්‍යමාන නොවීම හේතු කොට ගෙන මූලික මරණ පරීක්ෂණ වලදී එම මරණ වලට හේතුව අනාවරණය කර ගැනීමේ යම් නොහැකියාවක් ද පවතී.

එහෙත්, මෙවන් තත්වයක් යටතේ කිසිවෙකුත් බිය විය යුතු නැත. මක්නිසා ද යත් මනා කායික සහ හෘද සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නවුන් අතරින් මෙවන් ක්ෂණික මරණයකට පත් විය හැක්කේ දහස් ගණනකට එක් අයෙකු පමණක් වීම ය.

නමුදු තම පවුලේ ලේ ඥාතීන් තුළ මෙවන් හෘදයාබාධ හෝ එය මුල් කොට ගත් හදිසි මරණ සිදුවීමේ යම් සම්භාවිතාවක් පෙන්නුම් කරන්නේ නම් ඔවුන් තම හෘද සෞඛ්‍යය පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු කළ යුතු ය.

මෙවන් තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ දිනපතා සිදුවන මරණ සංඛ්‍යාවෙන් ඉතා සුළු ප්‍රතිශතයක් මෙම හෘදය ආශ්‍රිත ක්ෂණික මරණ වීම කවදත් පැවැති සාමාන්‍ය තත්වයකි.

නමුදු ඒවා එසේ මිය ගියවුන්ගේ පවුලේ ඥාති මිත්‍රාදීන්ට සහ ඔවුන් සහසම්බන්ධතා පවත්වන සමාජයට පමණක් වැදගත් වූ අතර එවන් මරණ තුළ විශේෂිත ප්‍රවෘත්ති වටිනාකමක් නොතිබිණ.

එහෙත්, මෙම කෝවිඩ් 19 වසංගතය පැතිර යාමත් සමඟ සමාජය තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ අතිශය සංවේදීවීම මත මෙසේ සිදුවන හදිසි මරණ වලට හේතුව කෝවිඩ් 19 වශයෙන් සිතන්නට පටන් ගෙන තිබේ.

එනිසාම මාධ්‍යකරුවෝ ද මෙම ජනතා මානසික අවශ්‍යතාවය මුල්කොට මෙවන් මරණ වලට වැඩි ප්‍රසිද්ධියක් ලබා දෙති. එසේ ජනතා උනන්දුව ලුහුබැඳයාම ලොව පුරා පවත්නා මාධ්‍යකරණයේ පොදු ලක්ෂණයකි.

මෙසේ හෘදයාශ්‍රිත රෝග නිසා ක්ෂණික මරණ වලට ලක් වන පුද්ගලයන්ගේ මළ සිරුරු මුල් කොට PCR පරීක්ෂණ සිදුකළ පසු ඔවුන්ගෙන් ඇතැමුන් කෝවිඩ් 19 ආසාදිතයන් ලෙස ද වාර්තා වූ අවස්ථා තිබේ.

එහෙත්, එම මරණය කෝවිඩ් ආසාදනය නිසා සිදුවූවක් ද එසේ නොමැති නම් ඒ තැනැත්තාට වැළඳුණු ක්ෂණික හෘදයාබාධය හා කෝවිඩ් ආසාදිත තත්වය අතර යම් සබඳතාවක් තිබිණි ද ආදිය නොවිමසා ම එම මරණය කෝවිඩ් ආසාදිත මරණයක් සේ වාර්තා ගත කිරීමේ ලෝක සම්මතයක් තිබේ.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවෙන් කෝවිඩ් ආසාදිතයන් 15000 කටත් වඩා වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 50 කට මඳක් වැඩි ප්‍රමාණයකි. ඒ අනුව එම මරණ ප්‍රතිශතය දහසකට තුනක් නැතහොත් සියයට දශම තුනක් පමණ වේ.

නමුත් සමස්ත ලෝකයේම මේ වන විට කෝවිඩ් ආසාදිතයන් මිලියන පනස්තුනක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව මිලියන එකයි දශම තුනක් ලෙස වාර්තා ගත වී තිබේ.

එහි අනුපාතය සියයට දෙකයි දශම පහකි. එම ලෝක තත්වයන් අනුව මෙය ලියන මොහොත වන විට ශ්‍රී ලංකාව සැලකිය යුතු යහපත් මට්ටමක පවතින බව අප පිළිගත යුතුව තිබේ. එහෙත්, මෙම තත්වය දේශපාලකයන්, නිලධාරීන් සහ සාමාන්‍ය ජනතාව යන පාර්ශ්ව තුනේ තුන්ඈදුණු සම්මාදම මත ඉදිරියේදී අඩු හෝ වැඩි වනු ඇත.

ඒ පිළිබඳව රූපවාහිනී ආදී මාධ්‍ය වලින් තාරුකා බවට පත්ව සිටින සාස්තර කරුවන්, කේන්දර කරුවන්ටවත් කිව නොහැකි අවිනිශ්චිත තත්වයක් තිබිය දී වෛද්‍ය වරයෙකු වන මා ඒ සම්බන්ධයෙන් අනාවැකි පළ කරන්නේ කෙසේ ද ?

ඒ කෙසේ වුවද කෝවිඩ් 19 හෝ වෙනත් වෛරසයක් ශරීරගත වීම වකුගඩු, අක්මාව, පෙනහළු, මොළය සේම හදවත යන වැදගත් ඉන්ද්‍රියන්ට බලපාන බව නිසැක සත්‍යයකි. එමඟින් කෙටි කාලීන සහ දිගු කාලීන සංකූලතා, පසුකාලීන බලපෑම් සේම මරණ පවා සිදුවීමට පුළුවන.

එහෙත්, අප මෙහිදී සැලකිලිමත් විය යුත්තේ දැනට වාර්තා වන ක්ෂණික මරණ සම්බන්ධයෙන් මෙම කෝවිඩ් 19 වෛරසයේ බලපෑම කොතෙක් ද යන්න ය. මෙහිදී මෙම රෝගය සම්බන්ධ ගෝලීය වශයෙන් කරනු ලැබූ නිරීක්ෂණ අධ්‍යයනයන් සහ සායනික පරීක්ෂණ වලදී රෝග ලක්ෂණ වලින් තොරව ක්ෂණික මරණයක් සිදු වීමේ සම්භාවිතාවක් ඇති බවට අනාවරණය වී නැත.

නමුදු හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, නිදන් ගත වකුගඩු රෝග, ශ්වසන රෝග ආදී රෝග තත්වයන්ගෙන් යුතු පුද්ගලයන් තුළ සේම සාමාන්‍ය ජනතාව තුළ පවා උණ, උගුරේ වේදනාව, උගුරේ වියළි බව, විඩාපත් බව, හිසරදය, ගඳ සුවඳ සහ ආහාර වල රසය නොදැනීම, හුස්ම ගැනීමේ අපහසුව ආදී ලක්ෂණ වලින් කිහිපයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී එම රෝග ලක්ෂණ සහ එමඟින් හට ගන්නා සංකූලතා පිටුදැකීමට සහ අවම කිරීමට කටයුතු කළ යුතු ය. එසේ නොමැති නම් එම වෛරසයේ බලපෑම නිසා හදවත ආශ්‍රිතව හටගන්නා සංකූලතා මත මරණය ඇති වීමේ පැහැදිලි සම්භාවිතාවක් පවතී.

පසුගිය කාලය පුරා වාර්තා වුණු කෝවිඩ් ආසාදිත මරණ අතුරින් මහ මඟදී සිදුවුණු බව වාර්තා වූයේ එක් මරණයක් පමණි.

එම මරණයට පත් වූ පුද්ගලයා කෝවිඩ් ආසාදිතයකු වුවද එය ක්ෂණිකව සිදුවුණු මරණයක් නොවන බව පසුව අනාවරණය විය. ඒ එම පුද්ගලයා නිවසක් අහිමිව මහ මඟම ජීවත් වෙමින් යාචක වෘත්තියේ යෙදුණු අසරණයෙකු බව අනාවරණය වීමත් සමඟ ය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ

හෘද රෝග විශේෂඥ – වෛද්‍ය නාමල් විජයසිංහ   

t

o

p