අගමැති මහින්ද ‍මෙරට 75 වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

November 17, 2020

2021 මූල්‍ය වර්ෂය සඳහා රජයේ ආදායමි සහ වියදම් සහ ණය සීමා සම්බන්ධව ඉදිරිපත් කරන සවිස්තරාත්මක ලේඛනය හෙවත් විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම පිණිස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (නොවැමිබර් 17 වන දින) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. මෙම විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූවකි.


20121අයවැය මඟින්, එම මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට මෙම විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

සිය එකොළොස්වැනි අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා අද කල්තබා පාර්ලිමේන්තු සංකීර්ණයට සැපත් වූ අග්‍රාමාත්‍යවරයා, සිය කාර්යාල‍යේ ස්වල්ප මොහොතක් ගත කිරීමෙන් අනතුරුව ප.ව. 1.45 ට ආණ්ඩු පක්ෂයේ පැති ද්වාරයෙන්, සභාගර්භයට ඇතුළු වූයේ සිය මන්ත්‍රී කණ්ඩායමේ උණුසුම් ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.

එතුමන් අයවැය ලේඛනය අතැතිව එසේ ප්‍රවේශ වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් මුදල් අමාත්‍යවරයාට සාම්ප්‍රදායානුකූලව සභාවට ආරාධනා කිරීමෙන් පසුවය.

අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අයවැය මෙරට ඉතිහාසයේ 75 වැනි අයවැය වාර්තාව ලෙස සැලකෙන අතර පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම අයවැය ලේඛන ගණනක් ඉදිරිපත් කිරීමෙහි වාර්තාව හිමිව ඇත්තේ ,අයවැය දොළසක් ඉදිරිපත් කළ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාටය.

දෙවැනියට වැඩිම අයවැය ලේඛන ගණනක් ඉදිරිපත් කර තිබෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වන අතර තෙවැනියට වැඩිම අයවැය ලේඛන(09ක්) ගණනක් ඉදිරිපත් කර ඇත්තේ හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍ය ජේ. ආර්.ජයවර්ධන මහතා වේ.

මෙරට පවතින කොවිඩ් 19 අභියෝගය හමුවේ අද අයවැය විවාදයට නොපැමිණි මන්ත්‍රීවරුන් තිදෙනෙකු වූ අතර ඊට මඩකළපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති හා තමිල් මක්කල් විඩිතලෙයි පුලිහල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා, සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළත්ව සිටිති.

ඉදිරි ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසියන්ට අනුව ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැදවාගෙන ඒමට නියමිතය.

එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට ආණ්ඩු පක්ෂයේ අවසාන අසුන පනවා තිබූ අතර අරවින්ද් කුමාර් ගරු මන්ත්‍රීවරයාට අසුන් පනවා තිබුණේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් සමගය.

ප.ව.1.45 සිට ප.ව. 4.50 දක්වා හෝරා දෙක හමාරකට ආසන්න කාලයක් අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු හෙට ( 18 දින) සිට සෙනසුරාදා ( 21දින ) තෙක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ලබන 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන අතර ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00ට තෙවැනි වර ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අද දිනයේ සිට 2021 අයවැය විවාදය පැවැත්වීමට නියමිත දින 21 ක සම්පූර්ණ කාල සීමාව තුළ කොවිඩ් 19 ට අදාළ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මෙවර අයවැය නැරඹිමට සපැමිණී ආරාධිතයන් සංඛ්‍යාවද සීමාසහිත විය.

එසේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි සම්භාවනීය ආරාධීතයන් අතර, විදේශ තානාපතිවරු, විවිධ අන්තර්ජාතික ආයතනවල දේශීය ප්‍රධානීහු සිටි අතර ඔවුන් ගණනින් 30 කුට සීමා විණි. ඊට අමතරව මුදල් අමාත්‍යංශය සහ වෙනත් විවිධ අමාත්‍යංශයන්හි ඉහළ පෙළේ නිලධාරීහු ද 2021 අයවැය සදහා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියහ.

අයවැය ප්‍රකාශය අවසානයේ සිදුකෙරෙන සම්ප්‍රදායානුකූල තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වූයේ අයවැය කථාව මධ්‍යයෙහි.ප.ව. 2.50 ට පමණය. එයද සෞඛ්‍යාරක්ෂිත නීතීන‍්ට සපුරා අනුගත වෙමිනි.

ඒ සඳහා සහභාගී වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන , සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , හිටපු ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු ප්‍රධාන මේසයේ අසුන් ගෙන සිටියහ.

සෙසු ආරාධිතයන් අතර හිටපු විපක්ෂ නායක හා දෙමළ ජාතික සංධාන නායක ,ආර්.සම්පන්ධන්, මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ද සහ වෙනත් අමාත්‍යවරුන් සහ සෙසු මන්ත්‍රීවරුන්ද දක්නට ලැබීම මෙවර තේ පැන් සංග්‍රහයෙහි විශේෂ්ගත්වයක් විණි. මෙම මන්ත්‍රීවරුන් එහි සිටි සම්භාවනීය ආරාධිතයන් සමඟ සුහද,කෙටි පිළිසඳරක නිරතව සිටිනු දක්නට ලැබිණි.

අයවැය කථාව අවසානයෙහි ආණ්ඩු පක්ෂ කන්ඩාමේ රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි.

t

o

p