බස්නාහිර පළාතෙන් පිටවූවන් ඇති දැයි සොයා විශේෂ මෙහෙයුමක්

November 13, 2020

බස්නාහිර පළාතෙන් පිටවීම තහනම් කළ නිවේදනය නිකුත් වූ පසු එම පළාතේ සිට වෙනත් පළාත්වලට පුද්ගලයන් පැමිණ ඇතිදැයි පොලිසිය හා බුද්ධි අංශ විශේෂ සොයාබැලීමක් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එලෙස බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයන් සිටී නම් ඔවුන්ව සිටින නිවසේ හෝ ලැගුම් හලේ දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවද ඔහු සදහන් කළේය.

බස්නාහිර පළාතෙන් පිටව ඊයේ දිනයේ පැමිණි පිරිස් ලැගුම්හල්, නවාතැන් පොලවල් හා නිවෙස්වල සිටී නම් වහාම ඔවුන් පිළිබදව ලගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිරින් පිටත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

බස්නාහිර පළාත තුළට ඕනෑම පුද්ගලයෙකුට පැමිණිය හැකිවුවත් ඔහුට යළි පිටවිය හැක්කේ බස්නාහිර පළාතෙන් පිටවීම වැලැක්වීමේ නියෝගය අවසන් වූ පසුව බවද ඒ මහතා සදහන් කළේය. එම නිසා යම් කෙනෙකු බස්නාහිර පළාතට පැමිණෙන්නේ නම් ලබන ඉරිදායින් (15) පසුව පැමිණෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

එසේම බස්නාහිර පළාතෙන් පිටවිය හැක්කේ සෞඛ්‍ය අංශ, ඉන්ධන බෙදාහැරිම් රථ හා ආහාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි පුද්ගලයන්ට පමණක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කීවේය.

t

o

p