අලි සබ්රි අධිකරණ ඇමැති වුණු පළියට රටේ නීති වෙනස් කරන්න දෙන්න බැහැ

November 13, 2020

ඉස්ලාම්භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එහෙයින් ගෝලීය ආපදාව නිසා නැතිවෙන කිසිදු පුද්ගලයකුගේ දේහයන් භූමදානය නොකළ යුතු බව ද උන්වහන්සේ කීහ.

එම රෝගය හේතුවෙන් මියයන මුස්ලිම්ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ බලවත් විරෝධය පළ කරන බව සඳහන් කළ බෙංගමුවේ නාලක හිමියෝ මුළු රටේම ජනතාවගේ ආරක්ෂාව පතා රජය නිවැරදිම තීන්දුව මෙහිදී ගත යුතු බව අවධාරණය කළහ.

භූමදානය කිරීම ආගමික සිරිතක් වුවද, මෙවැනි කරුණකට ලක්ව මියගිය විට එම දේහයන් භූමදානය නොකර, ආදාහනය කිරීමට තරම් ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව උන්වහන්සේ පැවසූහ.

ජල උල්පත් සහිත, ළිං ජලය බහුලව පරිභෝජනය කරන අප වැනි රටක මෙවැනි දේහයන් භූමදානය කිරීමෙන් ජලය හරහා විශාල ලෙස පැතිර යෑමේ ඉඩ ඉහළ බව ද බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

සිරිමන්ත රත්නසේකර
දිවයින

t

o

p