බස් රියැදුරෝ සහ කොන්දොස්තරවරු වැඩ වැරුමකට

November 13, 2020

දිවයිනේ සියලුම පෞද්ගලික බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මෙම 18 වැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සුමිත්‍ර කුමාරදාස මහතා අනතුරු අඟවනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පවසන්නේ දිවයින පුරා බස්රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් තුන් ලක්ෂ දහතුන් දහසක් පමණ මෙම වර්ජනයට එක් වන බවයි.

කිසිදු පෞද්ගලික බස්රථ රියැදුරකුට හෝ කොන්දොස්තරවයකුට මුව ආවරණ, අත්වැසුම් හා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් මේ වනතෙක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් හෝ දුර ගමන් සේවා ගමනා ගමන කොමිෂන් සභාවෙන් හෝ ලබාදී නොමැති බවද ඔහු චෝදනා කළා.

මෙම සේවක පිරිසකගේ ජීවිත අවදානමකට ලක්කරමින් තවදුරටත් සේවයේ යෙදීමට නොහැකි නිසා එම පහසුකම් ලබාදෙනතුරු මෙම වැඩ වර්ජනයේ යෙදෙන බවයි ඔහු කියා සිටියේ.

බස්රථ හිමියන්ගේ සංගම් කිහිපයක් එක්වී සියයට පනහකින් බස් ගාස්තු වැඩිකර ගැනීමට ගන්නා උත්සාහයට තම සංගමය විරෝධය පළ කරන බව ද ඔහු පැවසුවා.

බස්රථ හිමියන්ට රජයෙන් ලබාදිය යුතු සියලුම පහසුකම් ලබාදී ඇති බැවින් ඔවුන් මෙලෙස බස් ගාස්තු ඉහළ දමන ලෙස පැවසීම අසාධාරණකි. ඉල්ලීම් කළ යුත්තේ ගාස්තු සංශෝධනයන් නොව ඉන්ධන සහනයක් බව ද ඔහු කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් බස්රථ රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ආරක්ෂාවද ජනතාවගේ ආරක්ෂාවද මූලික කර ගනිමින් වැඩ වර්ජනයේ යෙදීමට තීරණය කළ බවයි.

t

o

p