බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් රැක ගන්න – ජනපතිගෙන් විශේෂ අවධානයක්.

November 13, 2020

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

වෛද්‍යවරු පෙන්වා දෙන්නේ සෙසු රටවලින් මෙන්ම මෙරටින් ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බවයි.

හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීන් ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙනවා.

බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇති අතර පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙම රැස්වීමේ දී කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළයුතු ක්ෂේත්‍ර ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු බවද ජනධිපතිවරයා අවධාරණය කර සිටියා.

බෙහෙත් ශාලාවලට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

t

o

p