කොවිඩ් තත්වය යටතේ පාසල් සිසුන්ට අධ්‍යාපනයක් ලබාදීමට රජයේ අවධානය යොමුකළ යුතුයි

November 11, 2020

කොවිඩ් තත්වය යටතේ ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදාගෙන COVID-19 වයිරස තත්වය හේතුවෙන් පාසල් ආරම්භ වීම කල්දැමීම නිසා මේ වසරේ තුන්වැනි පාසල් වාරයට අදාළ විෂය නිර්දේශ අන්තර්ජාලය හරහා ආවරණය කිරීමට කටයුතු කර ඇති බවක් දැනගන්නට ලැබේ.

පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සහ අධ්‍යාපන ආයතනද මාර්ගගත ක්‍රමයට නොහොත් අන්තර්ජාලය හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සිදුකිරීමට පෙළබී තිබේ.

බොහෝමයක් සිසුන් හට අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන අධ්‍යාපන වැඩසටහන් සදහා සහභාගී විය හැකි වුවත් අන්තර්ජාල පහසුකම්, ස්මාට් ජංගම දුරකථන, පරිගණක නොමැති සිසුන් සඳහා අනෙක් සිසුන් මෙන් සම අධ්‍යාපනයක් ලැබීමේ අවස්තාව ගිලිහී යමින් පවතින බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සිදුකල අධ්‍යනයකදී හෙළිවී ඇත.

විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු හැදෑරීමට යටිතල පහසුකම් පවතින සිසුන් හට නිසි ආකායෙන් අන්තර්ජාල පහසුකම් නොමැති වීමද සම අධ්‍යාපනයක් ලැබීමේ අවස්තාව ගිලිහී යාමට හේතුවක් වී ඇත. මේ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් තම අවධානය යොමු නොකිරීම කණගාටුවකට කරුණකි. මාර්ගගත ක්‍රමයට සිසුන් අධ්‍යාපන කටයුතු වල නියැලීමේදී තවත් බොහෝ ප්‍රායෝගික ගැටළු රැසකට මුහුණදෙන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තා වී තිබේ.

COVID-19 වයිරස තත්වය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවයන් වලට මුහුණපා සිටින පාසල් සිසුන් සැමට සමාන හා  ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම උදෙසා ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වේ.

අන්තර්ජාල පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් නොමැති සිසුන් පිළිබදව සොයාබලා එම සිසුන්ට සම අධ්‍යාපනයක් ලබාගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමටත්, අන්තර්ජාල ආවරණ කලාප පුළුල් කොට වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට අන්තර්ජාල සේවා සපයන සමාගම් දිරිගැන්වීමත් රජය විසින් සිදුකලයුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය  ලෙස විශ්වාස කරන්නෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව් 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

t

o

p