කුණ්ඩලිනී මුට්ටිය, ගොබ්බ පට්ටිය සහ කුණ්ඩ හට්ටිය

November 4, 2020

කුණ්ඩලිනී බලයෙන් මතුරන ලද ජලය මුට්ටි පිටින් ගංගා වලට මුසු කළ අපේ
ඇමතිවරු ලංකාවෙන් කොවිඩ් පහව යන තුරු මග බලමින් ඇඟිලි ගනිමින් සිටිති. ඒ අතරේ තවත් අය කොවිඩ් වලින් බේරී සිටීමට මතුරන ලද පෙරුම්කායම් සුර විකුණති.

තවත් අය නළලේ කොන්දේ යටිපතුලේ උලන තෙල් විකුණති. තවත් උන් බොරු කොරෝනා පැණි විකුණති. තවත් පිරිසක් දුම්හට්ටි ජාවාරමෙන් ජයට ගසා කති.
තවත් උන් නොයෙක් ආකාරයේ පොරටෝක් දෙමින් කොවිඩ් ලෙඩෙක් එක්ක හිටියත් කොවිඩ් නොහැදෙන අන්දමේ බේත් වට්ටෝරු ඇතැයි මෑත දොඩවති. තවත් අය රේකී හෙවත් විශ්ව ශක්තියෙන් කොවිඩ් රෝගීන් සුව කළ හැකි යැයි බොරුවෙන් සමාජය මුලා කරති. කුණ්ඩලිනී ජලය කතාව හැර අන් සියලුම දේවල් ඉන්දියාවේ ද තිබේ.

එහෙත් කුණ්ඩලිනී බිහි කළ රටේ මේ වසංගතය මර්දනය කරන්නට කුණ්ඩලිනී යොදා නොගන්නේ ඇයි? කියා කිසිවෙකු හෝ ප්‍රශ්න නොකරයි. ඉන්දියාව තුළ බිහි වීලෝකය පුරා ව්‍යාප්ත වූ තාන්ත්‍රික ඉගැන්වීම් හරහා ප්‍රචලිත වූ කුණ්ඩලිනී සංකල්පය මෙවැනි බහුබූත ජාවාරම් සඳහා යොදා ගන්නා විකාරයක් නොවේ.

ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගතයෙන් මිනිසුන් සලිත වෙද්දී ලොවම සලිත වන ඇඟේ මයිල් කෙලින් වන විශ්මිත හෙළිදරව් කරන අපේ තක්කඩි යූටියුබ්කරුවන් මෝඩයින් ගේ විව්ස් වලින් මඩිය තරකර ගනියි. 2020 දී රටට කිරි ඉතිරෙන බව කියූ කෙන්දරකරුවන් සොයා ගන්නටවත් නැත.

මේ වසංගතය අවසන් වන්නේ කවදාද? අපේ රට කොවිඩ් වලින් බේරී සෞභාග්‍යය කරා ගමන් කරන්නේ කවදාද? යන අනාවැකිය පැහැදිලිව පැවසිය හැකි ජ්‍යෝතිෂවේදීන් ලොවෙත් නැත. මේ ව්‍යසනයෙන් ලංකාව බේරා ගත හැකි යාඥාකරුවන් ප්‍රාතිහාර්ය පාන දේවගැතිවරුන්, යකුන් ගෙන් වැඩගන්නා ඇදුරුන් කට්ටඩියන් දෙවියන් ගේ පිහිට ලබා දෙන කපුවන් කිසිවෙක් පේනතෙක් මානයක නොවේ.

අපි දකින්නේ මේ රටේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ දිවා නොමැතිව මේ වෙනුවෙන් කැපවෙන ආකාරය පමණි. දොස්තර මහත්වරු කණ්ඩායමක් ඒ අස්සේ තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහය ද පෙනේ. සෞඛ්‍ය
ඇමතිනියගේ විගඩම ඔවුන්ට නොපෙනේ. ආයුර්වේද බේත් වලට එරෙහිව ගතු කියන උන් කුණ්ඩ හට්ටිය අනුමත කරනවාදැයි සැකයකි.

පසුගිය දා කරළියට පැමිණි කුණ්ඩලිනී මුට්ටි සංදර්ශනය මේ රටේ සෞඛ්‍ය
ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවීම ඉතාම පිළිකුල් සහගතය. අපේ දේශීය බේත් කොවිඩ් වලට දෙන එක ගැන පසුගාමී ආකල්පයක් දරන එතුමිය කුණ්ඩලිනී මුට්ටිය ගඟට දමා වැඳගෙන ඉන්න දර්ශනය නම් ජුගුප්සාජනකය. කුණ්ඩලිනී ශක්තිය යනු කුමක්දැයි නොදන්නා මෝඩයින් ගොනාට ඇන්දවීම අපහසු නොවේ.

මෙවැනි වසංගත කාලයක ආගමික වතාවත් හෝ එවැනි සාම්ප්‍රදායික පුදපූජා සිදුකිරීමේ කිසිම වරදක් නොවේ. එසේම බෞද්ධ රටක රතන සූත්‍රය වැනි පිරිත් දේශනා කිරීම ද ජනතාවගේ ආධ්‍යාත්මික විශ්වාසය ඉහළ නැංවීමේ ක්‍රමයක් ලෙස පිළිගත හැකිය. ඒවා මේ රටේ අනාදිමත් කාලයක සිට පැවත එන සිරිත් ලෙස සම්මතය. එහෙත් පිරිත් කීමෙන් ජල අණුවල හැඩය වෙනස් වූ බවට එක දොස්තර මහතෙක් කියන කෙබරය මේ කුණ්ඩලිනී විලම්බීතයට සමානය.

පිරිත් වලින් ජල අණු වෙනස් වෙන බවට පර්යේෂණ වාර්තාවක්
ද නැත. එසේ වුණත් එය හරහා කොවිඩ් වෛරසයට වන බලපෑමක් ද නැත. එහෙත් මේ දොස්තරලාම වෙනිවැල්ගැට කොත්තමල්ලි ගැන පර්යේෂණ වාර්තා සොයති. අපේ බේත් වලට ක්ලිනිකල් ට්‍රයල් ඉල්ලති.

කුණ්ඩලිනී යනු ඒ වගේ වසංගත දුරු කරන ශක්තියක් නම් ඉන්දියාවේ ජීවත් වන ලක්ෂ ගණනක් යෝගීන් හට මුළු ඉන්දියාවේම ගංගා වලට මේ වගේ බලගැන්වූ වතුර බවුසර ගණන් මුදාහැරීමට හැකිය. එහෙත් ඉන්දියාවේ ද නැති ගොන්පාට් අපේ රටේ ප්‍රචලිත වෙමින් පවතින අතර ඒවා පිළිගනිමින් අගය කරමින් ඒවාට එරෙහි වුවන් ගේ මව්පියන් මතක් කරමින් තර්ක කරන ගොබ්බ රැලක් ද සමාජයේ සිටීම කණගාටුවට හේතුවකි.

අන්තර්ජාලය කුණ්ඩලිනී ශක්තිය විකුණා ගෙන කන බටහිර රටවල සිටින
තක්කඩින්ට සමානව දැනටමත් අපේ රටේ ද විශ්ව ශක්ති ජාවාරම්කරුවන් සිටියි. මැණික් වලින් ඩවුන්ස් රෝගය සුව කරන රිසිවරුන් සිටින මේ රටේ අනාගතයේ දී කුණ්ඩලිනී ශක්තියෙන් බෙහෙත් දෙන හොර වෙදුන් පිරිසක් ද බිහිවනු නියතය.

මෙවැනි මෝඩ චූන් වලට වඩා ගම්මඩුවක් පත්තිනි පූජාවක් ගැන කතා කිරීම
වටිනේය. ගමේ කතාවට අනුව නම් මේ කුණ්ඩලිනී මුට්ටිය වැඩි දවසක් නොගොස් අපේ ගොබ්බ කට්ටිය මිනිසුන් තම්බා ගෙන කන කුණ්ඩ හට්ටියක් බවට පත් කරගැනීම නිසැකය.

ඩැනිස්ටර් එල් පෙරේරා

t

o

p