බොරු කොරෝනා පැණි වලට රැවටෙන්න එපා….!!!

November 2, 2020

අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා.

එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද
බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට හොඳ මදි අගෞරවයක් වෙයි කියල. එහෙම බටහිර නොවන බේතක් රෝහල් වල දෙන එක වෘත්තීය අපචාරයක් කියල එක දොස්තර මහත්තයෙක් කලින් කියලා තිබ්බ. අපි ඒ අයගේ මතයට ගරු කරන්න ඕනේ. ඒ නිසා අපේ රෝහල් වල කොවිඩ් ලෙඩ්ඩු නතර කර ගෙන අපේ බේත් දුන්න නම් දෙගොල්ලගෙම ජාමේ බේරෙනවා.

වෘත්තීය සදාචාරයත් රැකෙනවා. කිසිම අපචාරයක්.. දුරාචාරයක්… විෂමචාරයක් වෙන්නෙත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මේ සුදර්ශන පැණිය ගැන තියෙන සමාජ කෝලාහලය කොහොමද බේරෙන්නේ කියන එක.
කොවිඩ් වල පැතිරෙන වේගය බැලුවම මිනිස්සු කොහොමත් බයෙන් ඉන්නෙ. ඒ වගේම බටහිර වෙදකමට මේකට විසඳුමක් නැති නිසා ඒ ගැන විශ්වාසයත් නැති වෙලා.

ඇමරිකාව, එංගලන්තය වගේ බලවත් දියුණු රටවල් වල සෞඛ්‍ය සේවා මේ කොවිඩ් ඉදිරියේ අසරණ වෙලා නම් අපේ රටේ තත්වය ගැන කුමන කතා ද? ඒ නිසාම මිනිස්සු අපේ දේශීය වෙදකම ගැන විශ්වාසය තියාගෙන ඉන්නෙ. මතකයි නේ කොරෝනා ආපු අලුතම පෙරුම්කායම්, වදකහ ටික සුද්ද කරලා වැඩි ගානට විකුණලා බේත් කඩ හිස් කරපු හැටි. අන්තිමේ අද වෙන කොට වියළි කහත් ගිනි ගණන් ගියා.

ඒ අස්සේ මේ පාර මිනිස්සු එල්ලෙන්න නැතුව ඉන්න කොට සුවධරණී ආව. ඒක ඉවර වෙන කොට සුදර්ශන පැණිය ආව. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නේ සුදර්ශන පැණියෙන් වැඩේ ගොඩ කියල. ඒ හින්ද මේක ප්‍රයෝජනයට අරගෙන වෙළෙඳ පොළට සුදර්ශන පැණි කියල නොයෙක් ව්‍යාජ නිෂ්පාදන එන්න ඉඩ තියෙනවා.

තවම සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේ නැහැ. ඒක පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ඒ වෙනුවට බොරු කොරෝනා පැණි වෙළෙඳපොළට
එන්න පුළුවන්. ඒවාට රැවටෙන්න එපා.

සුදර්ශන කියන්නේ ආයුර්වේදයේ පාවිච්චි කරපු ඖෂධ චූර්ණයක්. ඒක අවුරුදු දහස් ගණනක් පැරැණි වට්ටෝරුවක්. ඒක දේශීය පාරම්පරික බේතක් කියන එකත් බොරුවක්.

එහෙත් ඒ බේත මේ රටේ පාරම්පරික වෙද මහත්තුරුත් පාවිච්චි කළා. අපේ රටේ ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පිළිගත් සුදර්ශන චූර්ණය කියන වට්ටෝරුවට බේත් ද්‍රව්‍ය 53 ක් අයත් වෙනවා. ඒකෙ වැඩිපුරම තියෙන්නේ බිම්කොහොඹ.

ඒ හින්ද කටේ තියන්න බැහැ තිත්තයි. ඔය බේත පෙති, කරල් හැටියටත් නොයෙක් ආකාරයෙන් නිෂ්පාදනය කරලා වෙළෙඳපොළේ දැනටත් තියෙනව. ඒවා හිතුමතේ පාවිච්චි කරන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් අනුව තමයි ගන්න ඕනේ. අනික ලෙඩ්ඩුන්ට දෙන බේතක් නිරෝගී අය ගන්නෙ ඇයි? එහෙම ගන්න හොඳත් නැහැ.

මේ සුදර්ශන පැණියත් හදන්නේ ඒ වගේ පොඩි දරුවන් ගේ උණට දෙන්න. ඒ අයට ලෙහෙසියෙන් පොවාගන්න පුළුවන් හින්ද.

ඒ ගැන කරපු පර්යේෂණ වලින් ඒ බේත හොඳයි කියල ඔප්පු වෙලා තියෙන කතාව තමයි මේ දැන් රට පෙරළන්නේ. ඒ වුණාට කොවිඩ් වලට තියෙන එකම බේත සුදර්ශන පැණිය කියන එක බොරුවක්. ආයුර්වේදය හෝ දේශීය වෙදකම අවුරුදු දහස් ගානක් තිස්සේ වසංගත උණ රෝග වලට
දීපු බේත් වර්ග බොහොමයක් තියෙනවා.

ඒවා ඔක්කොම අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂයි කියන ලේබලේ ගහන්න පුළුවන් තරම් විශ්වාස බේත්. ඒ වගේම ලෙඩෙකුට බේත් කරන කොට එකම බේතක් විතරක් නොවෙයි දෙන්නෙ. ඒවා බේත් පන්තියක්. ඇවතුම් පැවතුම් පත්තියම් එක්ක තමයි බේත් දෙන්නෙත්. ඒ හින්ද මේ වෙලාවේ සියළු දෙනාම
සුදර්ශන බොන්න ගත්තොත් ලෙඩෙකුට හදිසියට දෙන්නත් සුදර්ශන හොයාගන්න නැති වෙයි.

ඒ වගේම ශරීරෙ සුදර්ශන වලට හුරු වෙලා ලෙඩේ හැදුනම දෙන්න සුදර්ශන
ලෙඩේට අහයිද කියලත් ප්‍රශ්නයක් මතුවේවි. ඒ හින්ද සුදර්ශන බොන්න ඉස්සෙල්ල වෙදමහත්තයෙක් ගෙන් අහන්න ඒ බේත බොන්න ඕනෙද කියල. කොවිඩ් වලට එරෙහිව ප්‍රතිශක්තිය හදාගන්න ගෙදරදී හදාගන්න පොඩි පොඩි ඔසු පැන්, බේත් කැඳ, කෑම බීම හොඳටම ඇති.

ඒ ඔක්කොටම වඩා වැදගත් පරිස්සම……! සෞඛ්‍ය පුරුදු රැකගැනීම….!! තමන්ට කොවිඩ් බෝවෙන්න තියෙන ඉඩකඩ අවම කර ගැනීම….!!!
එහෙම නොකර සුදර්ශන බීල කොවිඩ් හැදෙන්නේ නැහැ කියල හිතන්නේ සිංහයගෙ කටට අත දාන වෙරිකාරයෝ වගේ කට්ටිය.

සුදර්ශන චූර්ණයට නම් හැදුනෙ විෂ්ණු දෙවියන් ගේ සුදර්ශන චක්‍රය කියන
දිව්‍යමය ආයුධය නිසා ඒක කරකවල සතුරන් ව වනසන්න පුළුවන්. ඒ වගේ රෝග වනසනවා කියන අරුතෙන් තමයි මේ බේත සුදර්ශන වෙන්නෙ. සුදර්ශන චක්‍රයත් කරකවන්න ඕනේ හරියට.

නැත්තං සතුරන් ගේ බෙල්ල නොවෙයි තමන්ගේ බෙල්ල කැපෙන්න පුළුවන්. ඒ වගේ තමයි බේත් කියන්නෙත් දෙපැත්ත කැපෙන ආයුධ වගේ. දැනගෙන
හරියට පාවිච්චි කළොත් හරි ප්‍රතිඵල. වැරැදි මිනිස්සු අතට පත් වුණොත්
වඳුරට දැලි පිහිය අහුවුනා වගේ. දැන් අපිත් හරිම කල්පනාවෙන් මේ වෙලාවේ
කොවිඩ් වලට එරෙහිව සටන් කරන්න ඕනේ. ලෙඩ්ඩු වැඩි දෙනා රෝග ලක්ෂණ නැති අය.

ඒ ගොල්ල ලෙඩ්ඩු නොවේ ආසාදිතයින්. ඒ කියන්නේ ලෙඩක් පෙන්න නැති වුණාට ඇඟේ වෛරසය තියෙනවා. ඒ අයගෙන් තව කෙනෙකුට බෝවෙන්න පුළුවන්. දෙවනියට බෝවෙන කෙනා අවදානම් සෞඛ්‍ය තත්වයක් තියෙන කෙනෙක් නම් එයාගෙ ජීවිතය නැති වෙන්න පුළුවන්. ඒ හින්ද රෝග ලක්ෂණ නැති ආසාදිතයින් හඳුනා ගැනීම ඉතාම වැදගත්.

ඔවුන් අපේ රෝහල් වල රැකබලා ගනිමින් අපේ බේත් දෙන්න පුළුවන්. ඔවුන් ගේ ශරීරයෙන් ඉක්මණින් වෛරසය අයින් කරන්නත් අපේ බේත් වලට හැකියාවක් තියෙන බව විශ්වාසයි.

සුදර්ශන පැණියට ලැබිච්ච ප්‍රචාරය හින්ද කොන් වෙලා හැංගිලා හිටපු
දුම්හට්ටිකාරයො ටිකත් කළ එළි බැහැල ඉන්නව දැක්ක. සුදර්ශන කියන බේතට ලැබෙන ගෞරවණීය පිළිගැනීම ගැන අපිට සතුටුයි. ඒ වුනාට ඒකට මුවා වෙලා බොර දියේ මාලු බාන උන් ගැනත් අපි ටිකක් අවදියෙන් ඉන්න ඕනේ. මේ වෙලාවේ කොවිඩ් සුවකරන්න වෛරස් මරන්න පුළුවන් බේත් නොයෙක් විදියට වෙළෙඳපොළට එන්න තියෙන ඉඩකඩ වැඩියි.

ප්‍රතිශක්තිකරණ පෙති කරල් පැණි විකුණන උනුත් එන්න පුළුවන්.
ඒ වගේ ජාවරම්කරයින්ට රැවටෙන මිනිස්සු අපරාදේ තමන්ගේ සල්ලි වියදම්
කරගන්නවා. අපේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් සෑම ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයකම ඉන්නව. ඒ අයගෙන් මේ වගේ බේත් ගැන විස්තර දැනගන්න පුළුවන්.

අඩු වශයෙන් ගමේ වෙදමහත්තය ගෙන් හරි අහන්න බේතක් ගැන සැකයක් තියෙනව නම්. දේශීය වෙදකම ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටන්න අය හැමතැනම. නියම සුදුසු උපදෙස ලබාගත්තෙ නැත්තං වෙන්නේ තමන් අමාරුවේ වැටෙන එක. බේත් කඩේ මුදලාලිගෙන් උපදෙස් ගන්න යන්න එපා. එයා මොකක් හරි බේතක් ඇඟේ ගහයි මේකත් හොඳයි කියල.

ඒවාට රැවටෙන්න එපා…!
මේ වෙලාවේ කොහොමත් ආසාදිතයින් වැඩි වෙන වේගය හින්ද බටහිර රෝහල් වලට දරාගන්න බැහැ. රෝග ලක්ෂණ නැති ලෙඩ්ඩු නිකන් වාට්ටු වලට ගාල් කරගෙන ඉන්න එකත් ලොකු අර්බුදයක්. ඒ හින්ද ආසදිතයින් වෙනම සෞඛ්‍ය කඳවුරු වල තියාගෙන අපේ බේත් දෙන්න ක්‍රමයක් හැදුව නම් ඒක තවත් හොඳයි.

ඊට පස්සේ යම් රෝග ලක්ෂණයක් මතුවෙන කොට ඒඅයට ආයුර්වේද බටහිර වෛද්‍යවරු දෙගොල්ලම එකතු වෙලා ප්‍රතිකාර කරල ඔවුන් බරපතල තත්වයට යන්න නොදී ඉක්මනින් සුව කරන්න පුළුවන්.

මේ සුදර්ශන පැණිය ගැන කතාබහ එනකොට සමහරු මේක දිහා උපහාසාත්මකව බලනව අපි දැක්ක. ඇයි මේක පිටරට යවන්නේ නැත්තෙ වගේ කුහක කතා කියමින් හැසිරෙනවා.

මුලින් ම අපේ රටේ ලෙඩ්ඩුන්ට දීල බලමු. හරි ගියොත් පිටරටත් යවමු. දැනටමත් පිටරට හිටිය ආමාරු කොවිඩ් ලෙඩ්ඩුන්ට අපේ බේත් යවල සනීප කරපු වෙදමහත්තුරු ඉන්න රටක් මේ. ඒ හින්ද අපේ රට මේ ප්‍රශ්නෙන් මුදවා ගන්න කොට වෙදකම කාගෙද?

වට්ටෝරුව ආයුර්වේද ද? බේත දේශීය ද? රෝහල බටහිර ද? වගේ පටු ප්‍රශ්න වලට කොටු වෙලා ඉන්න වෘත්තීය කුහකත්වය හින්ද. බල්ලො බුරද්දීත් තවලම නොනැවතී ඉස්සරහට යනවා …..!! උන්ට ගල් ගහන්න නැවතුණොත් අපිට මේ ගමන යන්න බැහැ….!!!

ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

t

o

p