මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතුය

October 25, 2020

වර්තමාන හා අනාගත පරපුරේ යහ පැවැත්ම වෙනුවෙන් මීට දශක තුනකට ප‍්‍රථම රුපියල් මිලියන ගණනක් වැය කර සකස් කළ සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුම් සියල්ල විනාශ කරමින් මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සම්පූර්ණයෙන් වනසා දැමීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගම නැවත වරක් සැලැසුම් කරමින් සිටී.

මෙම තෙත් බිම් පද්ධතියේ අක්කර 700 ක භූමියක ගොල්ෆ් කි‍්‍රඩා පිටියක් හා හෝටල් සංකීර්ණයක් ඉදි කිරීමට මේ වන විටත් ඉඩම් වෙන් කර තිබේ. මුතුරාජවෙල තෙත් බිම හුදෙකලා හිස් භූමියක් ලෙස සලකන මෙම සමාගම මීගමුව කලපුව සහ දඬුගම් ඔය හා එකිනෙකට ඈදුණු සුවිශේෂී තෙත් බිම් සංකීර්ණය මෙන්ම එහි කි‍්‍රයාකාරීත්වය වනසා දැමීමට මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත.

මෙම තෙත් බිම් පද්ධතියේ නීති විරෝධී ව හා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සිදු කෙරෙන බොහෝ හානිකර කි‍්‍රයා හේතුවෙන් එහි ජෛව ප‍්‍රජාවගේ පැවැත්ම හා නාගරික ප‍්‍රදේශ ගණනාවක ගංවතුර පාලනය කරමින් සිදු කෙරෙන පාරිසරික මෙහෙය අද වන විට ක‍්‍රමයෙන් පිරිහෙමින් පවතින අතරතුර ඒ තත්ත්වය තවත් දෙගුණ තෙගුණ කිරීමට මෙම ගොල්ෆ් කි‍්‍රඩා පිටිය හා හෝටල් සංකීර්ණය ඉදි කිරීමට සැලැසුම් කර තිබේ.

මැල්වත්ත සමාගමේ පළමු සැලැසුම

පසුගිය 2018 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක භූමි ප‍්‍රදේශයක් ගොඩ කර නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවෙලොප්මන්ට් පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබුණි.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ති‍්‍රක්, සහකාර කොමසාරිස් එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස් වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත.

ඒ අනුව වත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 165ඒ තුඩුව – බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග‍්‍රාම නිලධාරී වසම් දෙකෙහි ව්‍යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා ඉඩම් මැනීමට පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස් 65102 ක් සඳහා රුපියල් 3,25,51000 ක මුදලක් මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබුණි. මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය.

මැල්වත්ත සමාගමේ අජිත් පණ්ඩිතරත්න මහතාගේ හා එම්. එන්. එල්. සදමාලි මහත්මියගේ බලපෑම මත ගොවිජන සේවා කොමසාරිස් තුමා විසින් ගොඩකිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණේ පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් ය.

අභය භූමියට අයත් තෙත් බිමි ගොඩ කර සිදු කිරීමට නියමිත වූ මෙම ව්‍යාපෘතිය පරාජය කළ හැකි වූයේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමැතිය ලබා දීමට එරෙහි ව අප විසින් සිදු කළ බලපෑම් කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස ය.

මැල්වත්ත සමාගමේ දෙවන සැලැසුම

මේ වසරේ ජුනි මාසයේ දී මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට අයත් ජා – ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වෑවල ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි අට්ටික්කගහවත්ත කුඹුරට හා වැටකෙයාගහ කුඹුරට යාව පිහිටි තෙත් බිම් අක්කර 50 ක් ගොඩ කිරීම සඳහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම සූදානම් විය. එලෙස සැලැසුම් කෙරුනේ ඕලන්ද ඇල, බලි ඇල හා වෑවල පල්ලි ඇල ට මායිම් ව පිහිටන මෙම තෙත් බිමේ අක්කර 50 ක භූමියකි. එම භූමිය මායිම් කණු යොදා සලකුණු කර තිබුණි.

ඒ සඳහා ජා – ඇල, ගොවිජන සේවා දෙපාර්තමේන්තු කාර්යාලයෙන් ද සහයෝගය ලැබී තිබේ. මෙම ඉඩම් වෙන් කිරීමෙන් අනතුරු ව ගොඩ කර ලොරි රථ එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදි කිරීමට සැලැසුම් කර ඇති බවට වාර්තා විය. මෙම ගොඩ කිරීම් හේතුවෙන් බලි ඇලට හා වෑවල පල්ලි ඇලට එක් වන රොන් මඩ ඕලන්ද ඇල ඔස්සේ ජා ඇලටත් ඒ ඔස්සේ දඬුගම් ඔයටත් අනතුරු ව මීගමුව කලපුවටත් එක් වීම සිදු වනු ඇත.

මෙම ගොඩ කිරීම් නිසා මහවත්ත, වෑවල, ඉදිවිටිය හා එගොඩවත්ත යන ගම්මාන වලට වර්ෂා කාලයේ දී උග‍්‍ර ගංවතුර තර්ජනයකට ද මුහුණ දීමට නියමිත විය. එම ව්‍යාපෘතිය ද අපගේ බලපෑම් හමුවේ තාවකාලික ව නතර කිරීමට හැකි විය.

මේ ආකාරයෙන් මැල්වත්ත සමාගම මුතුරාජවෙල තෙත් බිම විනාශ කරමින් විවිධ ස්ථානවල ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දරමින් සිටී. එම සියලූ උත්සාහයන් පරාජය කිරීමට මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ ඇති වැදගත්කම නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය.

මුතුරාජවෙල තෙත් බිමේ අතීතය

මුතුරාජවෙල ලංකාවේ විශාලත ම වෙරළාශි‍්‍රත ලවණ වගුරු බිමයි. කැළණි ගඟේ සිට මීගමුව කලපුව දක්වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැගෙනහිර මායිම මීගමුව – කොළඹ ප‍්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප‍්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්ත ව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ.

අතීතයේ සශී‍්‍රක කුඹුරු යායක් ලෙස ප‍්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙල නම් වූ බව ජනශැති වල සඳහන් වේ.

ඕලන්ද යුගයේ දී කැළණි ගඟේ සිට භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා මීගමුව – කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්වා මුතුරාජවෙල වෙල් යාය හරහා ඇළ මාර්ගයක් සකස් කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැදින්වේ. පසුව ඉංගී‍්‍රසීන් විසින් භාණ්ඩ ප‍්‍රවාහනය විධිමත් කිරීම සඳහා කැළණි ගඟේ සිට මුහුදු වෙරළට සමාන්තර ව මුතුරාජවෙල වෙල් යාය හරහා මීගමුව කලපුව දක්වාත් එතැන් සිට පුත්තලම දක්වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ලවණ ජලය මුතුරාජවෙලට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක් උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අදික ප‍්‍රමාණයක් සකස් කළ ද ඉන් ප‍්‍රතිඵලයක් ලැබී නැත.

මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක් බවට ක‍්‍රමයෙන් පරිවර්ථනය වී ඇත.

මුුතුරාජවෙල සංරක්ෂණ සැලැසුම

මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්ටයාර 3068 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙල වගුරු බිම වැඩකට නොමැති හිස් භූමියක් ලෙස සලකයි. සමහරුන් මෙම ප‍්‍රදේශය ගොඩ කර නිවාස යෝජනාක‍්‍රම කි‍්‍රයාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක් බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස් කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙල තෙත් බිම ගොඩ කර කොළඹ පැල්පත්වාසීන් මේ ප‍්‍රදේශයේ පදිංචි කිරීමට ය.

නමුත් පරිසරය පිළිබඳ ව අවබෝධයක් ඇති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ ව සැලැසුම් සකස් කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස් කළ මෙම සැලැසුමට 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව කි‍්‍රයාත්මක කිරීමේ අවකාශය හිමි විය.

මෙය මුතුරාජවෙල හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතිය මඟන් මුතුරාජවෙල හා මීගමුව කලපුව සඳහා සංරක්ෂණ හා කළමනාකරණ සැලැසුමක් ද සකස් කෙරිනි.

මෙම සැලැසුම් වලට අනුව මුතුරාජවෙල කොටස් තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශි‍්‍රත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප‍්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශි‍්‍රත ව පිහිටි කොටස මුතුරාජවෙල අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්වාරක්ෂක කලාපය හෙවත් පේ‍්‍රරක කලාපය ලෙසත් වෙන් කෙරිනි. ස්වාරක්ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්ටනයන් අවම කිරීමට ය.

මුතුරාජවෙලට නීතිමය ආරක්ෂාව

මෙම සැලැසුමට අනුව යෝජනා කෙරුණු අභය භූමිය ප‍්‍රකාශයට පත් කිරීම සිදු කෙරුනේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව යි. මේ පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රයට අනුව තෙත් බිමේ හෙක්ටයාර 1028.62 කක භූමි ප‍්‍රදේශයක් මුතුරාජවෙල අභය භූමිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිනි.

මීට අමතර ව ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24ඈ උප වගන්ති වලට අනුව මුතුරාජවෙල ස්වාරක්ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප‍්‍රදේශය ලංකාවේ ප‍්‍රථම පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කෙරිනි. ඒ 2006 ඔක්තෝම්බර් මස 13 වන දින අංක 1466/26 දරන ගැසට් නිවේදනය මඟනි. මෙම ගැසට් නිවේදනයෙන් ස්වාරක්ෂක කලාපයේ තෙත් බිම් හෙක්ටයාර 206.678 ක් මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඉන් පසුව 2018 සැප්තැම්බර් 25 වන දින අංක 2090/11 දරන ගැසට් නිවේදනය මඟින් මුතුරාජවෙල තෙත් බිමේ තවත් හෙක්ටයාර 162.10 ක් පාරිසරික ආරක්ෂක ප‍්‍රදේශයට එක් කර තිබේ.

මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය ස`දහා සැලැසුම් සකස් කිරීමට ප‍්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මුතුරාජවෙල වගුරු බිම නම් කෙරිනි. එපමණක් නොව මෙය ලංකාවේ ප‍්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හ`දුනාගෙන තිබේ.

හෙක්ටයාර 3164 ක් වන මීගමුව කලපුව හා සම්බන්ධ මුතුරාජවෙල තෙත් බිම මේ ආකාරයට ආරක්ෂා කිරීමට හේතුව මෙහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමයි. නාගරික ප‍්‍රදේශ ගණනාවක් ඇතුළු ව විශාල ප‍්‍රදේශයක් ගංවතුර උවදුරින් ආරක්ෂා කරමින් වැසි ජලයේ අතිරික්තය ර`දා සිටීම, අවට ප‍්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වාගෙන යාම, වැසි ජලයේ රොන්මඩ ආදිය තැන්පත් කර ගෙන ජලය පිරිසිදු තත්ත්වයට පත් කිරීමට අමතර ව නාගරික ප‍්‍රදේශයේ අධික කාබන්ඩයොක්සයිඞ් මට්ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප‍්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම ආදී ප‍්‍රයෝජන රාශියක් මෙම තෙත් බිමෙන් ඉටු වේ.

මුතුරාජවෙලේ ජෛව රජාව

සමස්ත මුතුරාජවෙල ප‍්‍රදේශය තෙත් බිම් සංකීර්ණයක් ලෙස හැඳින්විය හැකි ය. ඊට හේතුව මුතුරාජවෙල වගුරු බිම, මීගමුව කලපුව, ඕලන්ද ඇළ, හැමිල්ටන් ඇළ හා මුතුරාජවෙල වගුරු බිම තුළින් ගලා ගොස් මීගමුව කලපුව හා එක් වන දඬුුගම් ඔය ඇතුළු තෙත් බිම් වර්ග ගණනාවකින් මෙය සමන්විත ය.

මේ නිසා ම මෙම තෙත් බිම් පද්ධතිය නොගැඹුරු මුහුදු තීරයේ ජීවත් වන සාගර මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ වල ප‍්‍රධාන බෝවීමේ ප‍්‍රදේශයකි. මේ නිසා මීගමුව කලපුවේ මත්ස්‍ය විශේෂ වල පැවැත්ම මෙන්ම සුළු පන්න ධීවරයින්ගේ පැවැත්ම ද රදා ඇත්තේ මෙම තෙත් බිම් පද්ධතිය මත ය.

දැනට සිදු කර ඇති අධ්‍යයන වලට අනුව ජෛව විද්‍යාත්මක ව ඉතා වටිනා තෙත් බිම් පරිසරයක් වන මෙහි විවිධ පරිසර පද්ධති රාශියක් දැක ගත හැකි ය. එනම් කඩොලාන බිම්, ලවණ වගුරු බිම්, ලවණ ජලය හා මිරිදිය ජලය සහිත ඇළ මාර්ග, තෘණ භූමි, පඳුරු වනාන්තර, ගංඟාශ්‍රිත වනාන්තර ඒ අතර වේ. මීට අමතර ව වසරේ විවිධ කාල වල දී ලවණ ජලයෙන් පිරී යාම නිසා විශේෂිත පරිසර පද්ධති නිර්මාණය වී ඇත.

මෙම විවිධ වූ පරිසර පද්ධති වලට අනුවර්තනය වූ ජීවී විශේෂ ගණනාවක් තෙත් බිම් පද්ධතියේ ජීවත් වේ. මෙම විවිධ වූ පරිසර පද්ධති වල ශාක කුල 66 කට අයත් ශාක විශේෂ 194 ක් වාර්තා වේ. අති විශාල සත්ත්ව ප‍්‍රජාවකට වාසස්ථාන සපයන මේ තෙත් බිමේ සිදු කර ඇති අධ්‍යයන වලින් අනාවරණය වී ඇත්තේ සමනළුන්, බත්කූරන්, මත්ස්‍යයින්, උභයජීවීන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ 7 ට අයත් විශේෂ 449 ක් පමණ වාර්තා වී ඇති බව ය. ඉන් විශේෂ 27 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වේ.

පක්ෂීන්ගේ සුවිශේෂී ගොදුරු බිමක් හා ලැඟුම් පොළක් වන මුතුරාජවෙළ තෙත් බිමේ නේවාසික පක්ෂි විශේෂ 86 ක් පමණ ජීවත් වන අතර සංක‍්‍රමණික පක්ෂි විශේෂ 43 ක් පමණ වාර්තා වී තිබේ. විශේෂයෙන් බටහිර සංක‍්‍රමණික මාර්ගයෙන් ලංකාවට පැමිණෙන පක්ෂි විශේෂ බහුල ව මෙම තෙත් බිමෙන් වාර්තා වේ. දුර්ලභ සංක‍්‍රමණික පක්ෂීන් වන දම් සිළුටු දෑතුඩුවා (Glossy Ibis), දම් පිළිහුඩුවා (Black – capped Purple Kingfisher) හා පළඟැටි හම්බු කුරුල්ලා (Pallas`s Grasshopper Warbler) වැනි පක්ෂීන් මෙහි වාර්තා වී තිබීම සුවිශේෂත්වයකි.

මුතුරාජවෙල තෙත් බිමෙහි වාර්තා වන සත්ත්ව විශේෂ වල විවිධත්වය

මෙවන් වටිනා තෙත් බිම් පද්ධතියක් සමාගමකට අවශ්‍ය පරිදි විනාශ කිරීමට කිසිදු අවස්ථාවක ඉඩදිය යුතු නැත. රුපියල් මිලියන දහස් ගණනක් වැය කර මුතුරාජවෙල සංරක්ෂණ සැලැසුම් සකස් කර වසර ගණනාවක් ආරක්ෂා කළ භූමියක් සමාගමකට අවශ්‍ය පරිදි විනාශ කිරීමට අවස්ථාව ලබා දී බලා සිටීමට රජයට හෝ කිසිදු සිවිල් පුරවැසියෙකුට අයිතියක් නැත.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27 (14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසර ආරක්‍ෂා කර සුරක්‍ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. මේ නිසා සෑම රාජ්‍ය නිලධාරියෙක් ම, සිවිල් පුරවැසියෙක් ම මේ සම්පත් ආරක්ෂා කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම බැදී සිටී.

රැම්සාර් සම්මුතිය උල්ලංඝනය කිරීම

මුතුරාජවෙල රැම්සාර් තෙත් බිමක් ලෙස නම් කර නොතිබුණ ද 1971 වසරේ දී ඉරානයේ රැම්සාර් නුවර දී සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ රැම්සාර් ප‍්‍රඥප්තියට 1990 ඔක්තෝබර් මස 15 වන දින ප‍්‍රවිශ්ඨ වූ රටක් වශයෙන් මෙන් ම හෙක්ටයාර 1,98,172 ක භූමි ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ ජාත්‍යන්තරව පිළිගත් රැම්සාර් තෙත් බිම් 6 ක් හිමි රටක් වශයෙන් හා කොළඹ රැම්සාර් තෙත් බිම් නගරය ලෙස රටේ ප‍්‍රධාන වාණිජ නගරය ජාත්‍යන්තර ව පිළිගත් තෙත් බිමක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති රටක් වශයෙන් තෙත් බිම් ආරක්ෂා කිරීමට අප ජාත්‍යන්තරව බැදී සිටී.

එසේ තිබිය දී මැල්වත්ත සමාගමේ වුවමනාවන් මත ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මුදලට ඇති කෑදර කමට පුරන් කුඹුරු යැයි සඳහන් කරමින් මෙම තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දැරුව ද ඒ සඳහා බුද්ධිමත් පුරවැසියන් ලෙස අප ඉඩදිය යුතු නැත.

නීතියේ ආධිපත්යය අහිමි කිරීම

පාර්ලිමේන්තුවෙන් සමුමත වූ අණ පනත් කිහිපයක් යටතේ මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට නෛතික ආරක්ෂාව හිමි වී ඇත. 2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව මුතුරාජවෙල තෙත් බිමේ අභය භූමි සීමාවට හොඳ ආරක්ෂාවක් ලැබී තිබේ.

මෙම පනතේ 2(2) උප වගන්තියට අනුව ප‍්‍රකාශිත මුතුරාජවෙල අභය භූමියේ වනජීවීන්ගේ පැවැත්මට හෝ පරිසර පද්ධතියේ පැවැත්මට බලපෑම් වන ඔනෑ ම කි‍්‍රයාවක නිරත වීම 7(1)(ආ) උප වගන්තියට අනුව නීති විරෝධී වේ. එවන් නීති විරෝධී කි‍්‍රයාවක නිරත වන පුද්ගලයකු මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරණු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස්දහසත් පනස් දහසත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. එම වැරදි වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගත හැකි සංඤ්ය වැරදි ලෙස ද දක්වා ඇත. ඒ අනුව මුතුරාජවෙල තෙත් බිමට අයත් අභය භූමි සීමාව තුළ කිසිදු සංවර්ධන කි‍්‍රයාකාරකමක් අලූතින් සිදු කළ නොහැකි ය.

අභය භූමි සීමාවට අයත් නොවන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට ජාතික පාරිසරික පනතෙන් ඉතා හොඳ ආරක්ෂාවක් හිමි වී ඇත. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 4 කට නැතහොත් අක්කර 10 කට වැඩි තෙත් බිම් ප‍්‍රදේශ ගොඩ කිරීමට ප‍්‍රථමයෙන් හා මෙම උප වගන්තිය යටතේ ම ප‍්‍රකාශිත 1995 පෙබරවාරි 23 වන දින අංක 859/14 දරන ගැසට් නිවේදනයට අනුව අභය භූමියක් තුළ හෝ අභය භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ නම් ඊට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ කි‍්‍රයා පටිපාටියෙන් තොර ව කිසිදු රාජ්‍ය ආයතනයකට අභය භූමියකට අයත් හෝ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත පිහිටන තෙත් බිම් සංවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට අවසර ලබාදිය නොහැකි ය.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප‍්‍රකාශයට පත් කර ඇති පාරිසරික ආරක්ෂක කලාපයක් තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්‍යමපරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් කි‍්‍රයාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව දඩුවම් පැමිණ විය හැකි ය.

මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මඟින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව ඉඩම් හා තෙත් බිම් ගොඩ කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතු ය.

මේ අනුව පෙනී යන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්තු ආඥා පනත යන පනත් උල්ලංඝනය කරමින් මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700 ක් වෙන් කිරීමට හා ගොඩ කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව ය.

පරිසර බලපෑම් ඇඟයීම් කි‍්‍රයාවලියෙන් පරිබාහිර ව මෙම තෙත් බිම් පද්ධතියේ කිසිදු ව්‍යාපෘතියක් සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දිය නොහැකි නමුත් එම නීති උල්ලංඝනය කරමින් මැල්වත්ත සමාගමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සඳහා නීති විරෝධී ව අනුමැතිය ලබා දුන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහි ව නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතු ව ඇත.

සෞභාග්යයේ දැක්ම අභියෝගයට ලක් කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ නම් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’’ කොටසෙහි සඳහන් වන්නේ ‘‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බව ය.’’ මේ ආකාරයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව අද වන විට මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතියේ අක්කර 700 ක් විනාශ කර මැල්වත්ත සමාගම මිනිසා ඇතුළු සියලූ ම සත්ත්වයන්ට භූමියට ඇති අයිතිය අහිමි කිරීමට දරන උත්සාහය මැඩ පැවැත්වීමට නීති කි‍්‍රයාත්මක කර නිවැරදි ලෙස කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. එපමණක් නොව ඔවුන් ට ආයෝජන නාමයෙන් සියලූ ස්වාභාවික සම්පත් කොල්ලකෑමට දේශපාලන රැකවරණය ද ලබා දෙන බවක් පෙනෙන්නට තිබේ.

මුතුරාජවෙල වැනසීමේ ඉතිහාසය

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය විනාශ කිරීමට දේශපාලකයන් හා නිලධාරීන් මින් පෙර ද අවස්ථා බොහොමයක කටයුතු කර ඇත. පසුගිය කාලයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීල් රූපසිංහ මහතා විසින් මුතුරාජවෙල තෙත්බිමේ විශාල භූමි ප‍්‍රදේශයක් ගොඩකර නිල්සිරිගම නමින් ගම්මානයක් බිහි කළේ ය.

මෙහි අහිතකර ප‍්‍රතිඵල භුක්ති විඳින්නේ එහි වත්මන් පදිංචි ජනතාවයි. වර්ෂා කාලයේ දී ගොඩ කළ තෙත්බිම් මත ගොඩනැඟූ නිවාස දින ගණනාවක් ජලයෙන් යට වී පවතී. එම කාලයට වසංගත රෝග බෝවීම ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටකට පත් වේ. දේශපාලනඥයින් ගේ අඥාන තීරණවල අහිතකර ප‍්‍රතිඵල අවසානයේ භුක්ති විඳින්නේ මෙහි පදිංචි වූ අහිංසක, අසරණ ජනතාව යි.

2003 වසරේ දී මෙවැනි ම ඉඩම් බෙදා දීමක් ප‍්‍රදේශයේ දේශපාලඥයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඕලිත පේ‍්‍රමතිරත්න මහතා විසින් සිදු කෙරින. ඔහු විසින් මුතුරාජවෙල තෙත්බිමේ කිදිගොඩ ප‍්‍රදේශයේ අක්කර 100 ක පමණ තෙත්බිම් ප‍්‍රමාණයක් ජනතාව අතර බෙදා දී විශාල මුදලක් උපයා ගත්තේ ය.

එහෙත් සීමාසහිත පාරිසරික පදනම මඟින් ලබා ගත් අධිකරණ තීන්දුව මත පදිංචි වූ ජනතාවට සිදු වූයේ ටික දිනකින් ම ඉන් ඉවත් වී යාමට ය. දේශපාලකයින්ගේ ව්‍යාජ සැලැසුම් වලට මුලා වූ ජනතාවට වියදම් කළ මුදල ද අවසානයේ අහිමි විය.

2009 වසරේ දී හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ගේ සොහොයුරු ටෙනිසන් පෙරේරා මහතා විසින් මුතුරාජවෙල අභය භූමිය තුළ පිහිටි දඬුගම් ඔය මීගමුව කලපුව හා සම්බන්ධ වන මෝය ආශි‍්‍රත ව පිහිටි අක්කර 10 ක් පමණ වන විශාල කඩොලාන දූපතේ අක්කර පහක මහ පරිමාණ හෝටලයක් ඉදිකිරීම සඳහා ක‍්‍රියාත්මක විය.

ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක‍්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් ද සහයෝගය ලබා ගැණිනි. එහෙත් අපගේ මැදිහත්වීමෙන් එම හානිකර ව්‍යාපෘතිය නතර කිරීමට හැකියාව ලැබුණි.

2012 වසරේ දී මුතුරාජවෙල අභය භූමියේ වත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝපේ, නිල්සිරිගම ආශ‍්‍රිත ව පිහිටි තෙත්බිම් අක්කර 50 ක් වත්තල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී ඊ.ජේ.එම්.ඞී. රූබන් මහතා විසින් පර්චස් දහයේ ඉඩම් කුට්ටිවලට වෙන්කර විකිණීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කෙරිනි. ඒ සඳහා අනුග‍්‍රහය ලබා දුන්නේ එවකට නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා විසිනි.

අභය භූමියේ පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් වෙන්කර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් අය කර එම භූමිය මැනීම් කර ඔප්පු සැකසීමට හා ශාක ඉවත් කර භූමිය සැකසීම සඳහා රුපියල් 40,000 ක පමණ මුදල ක් ලබාගන්නා ලදී. මේ ඉඩම් බෙදා දීමෙන් අනතුරු ව බෙදාදුන් තෙත්බිම්, අභය භූමියෙන් ඉවත් කර ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කිරීමට පියවර ගැනීමට ද යෝජනා වී තිබුණි. මෙම හානිකර ව්‍යාපෘතිය ද අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි විය.

මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියට සිදු කළ සමහර හානිකර කි‍්‍රයා අපගේ මැදිහත්වීම මත නතර කර ගත හැකි වුව ද සමහර නීති විරෝධී කි‍්‍රයා තව ම ඒ ආකාරයෙන් ම සිදු වෙමින් පවතී.

ජා-ඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දඬුගම ග‍්‍රාම නිලධාරි වසමේ බණ්ඩත්තරවෙල ප‍්‍රදේශයේ මුතුරාජවෙල අභය භූමිය තුළ තෙත් බිම් ගොඩ කරමින් මාර්ගයක් ඉදි කර තිබේ. දඩුගම් ඔයේ වම් ඉවුරේ සිට මීටර් දෙකක් තුනක් පමණ දුරින් තනා ඇති මෙම මාර්ගයේ පළල මීටර් 5ක් හා දිග කිලෝමීටර් 1.2 ක් වේ.

මෙම මාර්ගය ඉදිකර ඇත්තේ අභය භූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩම් දෙකක් වන දැනට අතහැර දමා ඇති පොල් වත්තකට හා සත්ත්ව ගොවිපොළකට ළඟාවීම සඳහා ය. මෙම ගොඩ කිරීම සිදු කළ පුද්ගලයන් ජා-ඇළ ප‍්‍රාදේශීය සභාවේ ද මුදල් ප‍්‍රතිපාදන වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කරන ලද්දේ නීති විරෝධී ලෙස ය.

මෙම මාර්ගය ආසන්නයේ අභය භූමිය තුළ ගුරුගේ වත්ත ලෙස හැඳින්වෙන අක්කර 30ක තෙත් බිමක් ඇතුළු ව අක්කර 99ක භූමියක් වෙන් කර ගෙන සිටින ප‍්‍රදේශයේ ප‍්‍රබල පුද්ගලයෙකු විසින් එම ඉඩම එළිපෙහෙලි කිරීම් වල වරින් වර නිරත වේ.

එපමණක් නොව ජා-ඇළ හා හැමිල්ටන් ඇළ අතර දැලතුර, තාරකුලිය ප‍්‍රදේශයේ අභය භූමියේ විශාල තෙත් බිම් ප‍්‍රදේශයක් ගොඩකර කන්ටේනර් බහාලූම් අංගනයක් ඉදි කර තිබේ. වල්ඩ් එක්ප‍්‍රස් සමාගම මගින් සිදු කළ මෙම ව්‍යාපෘතිය සඳහා මේ වන විට අක්කර ගණනාවක තෙත් බිම් ගොඩ කර ඇති අතර ජා-ඇළ හා සම්බන්ධ කිරීමට නව ඇළ මාර්ගයක් ද අභය භූමිය තුළ සකස් කර තිබේ.

මේ නීති විරෝධී කි‍්‍රයා තව ම පාලනය කිරීමට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන රාජ්‍ය නිලධාරීන් තම වගකීම නිසි ලෙස කි‍්‍රයාත්මක නොකරන බව ය. එවන් රාජ්‍ය ආයතන අපගේ මුදල් වලින් නඩත්තු කිරීමෙන් ඵලක් තිබේ ද යන්න ජනතාව තේරුම් ගත යුතු ය.

මුතුරාජවෙල වැනසීමේ රතිපත්තිමය තීරණ

මේ අතරතුර මුතුරාජවෙල තෙත් බිමේ ස්ථාන ගණනාවක විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට මේ වන විට රාජ්‍ය ආයතන විසින් ම කි‍්‍රයාමාර්ග ගනිමින් සිටී. මෙම තෙත් බිමේ අක්කර 5 ක භූමියක් ගොඩ කර දිනකට කසළ මෙටි‍්‍රක්ටොන් 400 ක් බැහැරලන සනීපාරක්ෂණ කසළ රැඳවුමක් ස්ථාපිත කිරීමට 2017 අපේ‍්‍රල් මස 25 වන දින කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මීට අමතර ව මෙම තෙත් බිමේ අක්කර 10 ක භූමියක ඝන අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවීම සඳහා ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට 2016 අගෝස්තු මස 30 වන දින කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

පසුගිය දින වල මීතොටමුල්ල කසළ රැඳවුම කඩා වැටීමත් සමඟ ම කොළඹ නාගරික බල ප‍්‍රදේශයෙන් එක් රැස් කරන කසළ රැඳවීම සඳහා භාවිත කළේ ද මුතුරාජවෙළ තෙත් බිම ය. මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ මුතුරාජවෙල තෙත් බිම සංරක්ෂණය හා කළමනාකරණය සඳහා විශාල මුදලක් වැය කර සැලසුම් සකස් කළ ද ඒ සියල්ල අතහැර දමා කටයුතු කරන බව ය.

මෙවන් තත්ත්වයන් වර්ධනය කිරීමට 2018 අය වැය ප‍්‍රකාශනයේ දී 1958 අංක 01 දරන කුඹුරු පනත හා 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් පනත සංශෝධනය කර මෙවන් කි‍්‍රයා වලට ඉඩකඩ සැලසෙන පරිදි නීතිමය රාමුව සකස් කිරීමට පසුගිය ආණ්ඩුව විසින් යෝජනා කෙරින. එපමණක් නොව ඌන උපයෝජිත කුඹුරු ඉඩම් නිවාස ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට 2017 නොවැම්බර් මස 07 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ. ඒ සියල්ල ඒ ආකාරයෙන් ම අඛණ්ඩ ව කි‍්‍රයාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව ද උත්සාහ ගන්නා බවක් පසුගිය කාලය තුළ දී ගත් වැරදි තීන්දු තීරණ මඟින් පෙනී යයි.

තෙත් බිම් රතිපත්තිය වහාම කිරයාත්මක කළ යුතු

මින් සිදුවන්නේ රටේ වත්මන් හා අනාගත පරපුරේ යහපැවැත්ම මෙන්ම ආහාර සුරක්ෂිතතාවට වැදගත් වන බිම් ප‍්‍රදේශ අවභාවිතයට පසුබිම සැකැසීමයි. මේ නිසා අප අවධාරණය කර සිටින්නේ තෙත් බිම් ලෙස පවතින භූමි ප‍්‍රදේශ කිසිදු ආකාරයකින් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට අනුමැතිය ලබා නොදිය යුතු බව ය.

එපමණක් නොව ඒ සඳහා ඉඩ ප‍්‍රස්ථාව හිමි වන අයුරින් අණ පනත් සංශෝධනය කිරීම ද වහා ම නතර කළ යුතු ය. අවසන් වශයෙන් අවධාරණය කරන්නේ මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700 ක් ගොඩකර සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගෙන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියේ රැකවරණය කඩිනමින් තහවුරු කරන ලෙස ය.

ඒ සඳහා 2006 වසරේ දී සකස් කරන ලද ජාතික තෙත් බිම් ප‍්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුමට අනුව කි‍්‍රයාමාර්ග ගෙන තෙත් බිම් සංරක්ෂණයට අවශ්‍ය සෘජු නීති රීති හා පරිපාලන ව්‍යුහයක් සකස් කර කි‍්‍රයාවට නැංවිය යුතු ය.

ඒමගින් සමාජ ආරක්ෂණය තහවුරු කළ යුතු ය. එසේ නොමැති ව නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා සමාගම්වලට අවශ්‍ය පරිදි සියලූ සමාජ ආරක්ෂණ අණ පනත් උල්ලංඝනය කර රටේ වත්මන් හා අනාගත පරපුරට අයත් ස්වාභාවික සම්පත් විවෘත ආර්ථික කි‍්‍රයාවලිය සඳහා යෙදවීම වහා ම නතර කළ යුතු ව ඇත.

සජීව චාමිකර

ඉඩම් හා කෘෂිකර්ම රතිසංස්කරණ ව්යාපාරය

t

o

p