දේශිය හා විදේශිය රැකියා වෙළඳපොළට ගැලපෙන කුසලතා පරිපුර්ණ ශ්‍රම බලකායක් ගොඩනැගීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්

October 25, 2020

වර්තමානයේ දේශිය හා විදේශිය රැකියා වෙළඳපොළෙ තුළ ඇති අතිශය තරඟකාරි පරිසරයට ගැලපෙන  ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිතව දේශීය පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයන්ට යොමු කිරිම වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ අදහසක් අනුව එම අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, කලාපීය සහයෝගීතාව පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල සහයෝගීතාවෙන් මෙය ක්‍රියාත්මක වන අතර  ඒ පිළිබද මූලික සාකච්ඡාව නිපුණතා පියසේ දී පැවැත්විණි.

ඒ සදහා එම අමාත්‍යාංශවල විෂය භාරව කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සීතා අරඹේපොල, ප්‍රියංකර ජයරත්න, තාරක බාලසුරීය යන මහත්ම මහාත්මීන්  සහභාගී වුහ.

වර්තමානයේ විදේශ රටවල් තුළින් තාක්ෂණික, සෞඛ්‍ය ආදි වු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් සඳහා මෙරට  පුහුණු ශ්‍රමිකයින් ඉල්ලා තිබුණද, එම ඉල්ලිම් වලට ගැලපෙන (NVQ) පරිපූර්ණ  වෘත්තීය කුසලතා සහිත පුහුණු ශ්‍රමිකයින් ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා මෙරටින් එම රැකියා අවස්ථා ගිලිහීයාම පිළිබඳව මෙහි දී අවධානය යොමු විය.

එමෙන්ම මෙම ක්ෂේත්‍රයන්ගේ පවතින වෙනත් ගැටලු හදුනාගනිමින් ඒවාට තාක්ෂණික හා ප්‍රායෝගික විසදුම් සේවිමට කටයුතු කිරීම පිළිබඳවද මෙහි දී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් විය.

එම නිසා තරඟකාරී දේශීය හා විදේශිය වෙළදපොළ අවශ්‍යතාවන් හදුනාගනිමින් එම ක්ෂේත්‍රයන්ට අදාලව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය යටතේ වෘත්තීය අධ්‍යාපන අවස්ථා ලබා දීමට යෝජනා විය.

මේ පිළිබඳවද අවධානය යොමු කරමින් ඊට උචිත ලෙස මෙම ආයතන වල ව්‍යුහය සහ විෂය මාලා නවීකරණය කරන බව පැවසූ රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය,  මෙම වැඩපිළිවෙළ සදහා අමාත්‍යාංශ නිළධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරිමට යෝජනා කළා ය.  එම කමිටුව හරහා මෙහි ඉදිරිවැඩ කටයුතු කරගෙන යාමට සැලසුම් කෙරිණි.  

t

o

p