කොරෝනා උවදුර මැඩපැවැත්වීම සදහා සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක් අවශ්‍යයි

October 10, 2020

ශ්‍රී ලංකාව රටක් ලෙස මේ මොහොතේ මුහුණ දී ඇති සැබෑ අභියෝගය නිවැරදිව හඳුනා ගනිමින් එකී අභියෝගය ජය ගැනීම උදෙසා සමස්ථ ජාතියම සාමුහිකව, එක්සිත්ව පෙළගැසීම සෑම පුරවැසියෙකුගේම යුතුකම බව අපගේ හැගීමයි.

අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින්නේ මෙ‍තෙක් සිදු නොවූ බරපතල සෞඛ්‍ය අභියෝගයකටය. එය රටවැසි කිසිවෙකුගේ වරදකින් හෝ වුවමනාවකින් නිර්මාණය වුවක් නොවේ.

ගෝලීය වශයෙන් මුහුණ දෙමින් සිටින වසංගත රෝග තත්වයකට එරෙහිව සටන් වැදීමට අපටද සිදුව තිබේ. අවශ්‍ය ඕනෑම කැපකිරීමක් සිදුකර එම වසංගත රෝග තත්වයෙන් රටේ සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමටද මේ වනවිටත් ඊට ගොදුරු වී සිටින සියල්ලන්ම බරපතල උපද්‍රවයකින් තොරව මුදා ගැනීමද සමස්ත ජාතියේම වගකීම වී තිබේ.

එහිදී එකී අභියෝගයට මුහුණදීමේ ක්‍රියාවලියට නායකත්වය දීමේ පළමු වගකීම රාජ්‍ය යාන්ත්‍රණයට පැවරී ඇතත් ඒ සඳහා රටේ සමස්ත ජනතාව සක්‍රීය ලෙස සහභාගී කරවා ගැනීම ඉතා වැදගත්ය.

ඒ අනුව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මේ වනවිටත් නායකත්වය දෙමින් සිටින එකී ක්‍රියාවලිය සඳහා මේ රටේ සියලුම දේශපාලන නායකත්වයන්ද සෑම ආගමික පාර්ශවයකටම අයත් පූජ්‍ය පක්ෂයේ ද එමෙන්ම සමස්ත සිවිල් සංවිධාන ජාලයේද සක්‍රිය දායකත්වය ලබාගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුව තිබේ.

මක් නිසාද යත් රටේ සමස්ත ජනතාවටම ආමන්ත්‍රණය කරන සියලු ජන කොටස් ඒකාබද්ධ කරගන්නා වැඩපිළිවෙලකට තරම් හුදකලා හෝ ඒකපාර්ශවීය වැඩපිළිවෙලකට ජනතා විශ්වාසය හා එකඟත්වය දිනාගත නොහැකි බැවිනි.

ඒ අනුව අප මේ මොහොතේ ඉතා ඕනෑකමකින් යුතුව රජයෙන් ඉල්ලා සිටින්නේ රට මුහුණ දී ඇති කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා සර්වපාර්ශික නියෝජනයකින් යුත් ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුවන ලෙසටය.

එමෙන්ම මෙම අවස්ථාව බලය තහවුරු කරගන්නා කිසිදු ව්‍යාපෘතියක් දියත් කිරීමට කිසිසේත්ම සුදුසු අවස්ථාවක් නොවේ. රට හමුවේ මතුවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය මැනවින් ශක්තිමත් බව අපගේ පරම විශ්වාසයයි.ලෝකයේ බිහිසුණුතම ත්‍රස්තවාදයකට මුහුණ දෙමින් අප සාර්ථක ලෙසින් ජයගත්තේ 17 වන සංශෝධනයේ බල සහිතවය.

ඉන් පසු ඇති වූ මහා ගං වතුර, නාය යෑම් වැනි උවදුරු වලට මෙන්ම වර්තමාන රජය ආදර්ශමත් ලෙස කොවිඩ් උවදුරට මුහුණ දුන්නේත්, සාර්ථක ලෙස ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය විරෝධී සටන මෙහෙයවන්නේත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය බල පවත්වන අවස්ථාවකය.

එහෙයින් රාජ්‍යකරණය සදහා රටේ ගැටුම් ඇතිවන සංශෝධන නොව මුළු රටටම එකග විය හැකි පසුගිය මැතිවරණ ප්‍රකාශණයෙහි  සදහන් පරිදි නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම වඩා යෝග්‍ය වන බව අපගේ හැගීමයි.

2000 වර්ෂයේ දී සියළුම පාර්ශව පිළිගත් ව්‍යවස්ථාවක් බිහිකළ අතර පටු දේශපාලන මතවාදයක් නිසා එය බිද වැටීම රටේ අවාසනාවකි. 2000 වසරේ ව්‍යවස්ථාව සැකසීම සදහා හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් 22 කට සහභාගී වූ අයුරු අප හට සිහිපත් වේ. එම ව්‍යවස්ථාව සැකසීමේ දී මහාචාර්ය ජී.එල් පීරිස් මැතිතුමා විශාල කැපවීමක් සිදු කළ බව සිහිපත් කළ යුතුය.

එම අත්දැකීම් හා පළපුරුද්ද නව ව්‍යවස්ථාවක් බිහි කිරීමේ දී උපයෝගී කරගත හැක. කාගේත් උනන්දුව හා කැපවීම ඇත්නම් ධවල පත්‍රිකාවක්ද සහිතව ටික කළකදී නව ව්‍යවස්ථාවක් බිහි කිරීම අපහසු කාර්යයක් නොවනු ඇත.

එබැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ මොහොතේ දේශයේ නාමයෙන් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ රටක් ලෙස තම ප්‍රථම අවධානය කොවිඩ් වසංගතයෙන් ජනතාව මුදාගැනීමට යොමුකරවන ලෙසටය.

එමෙන්ම රටේ සියලු ආගමික නායකත්වයන්ගෙන්ද සිවිල් හා දේශපාලන නායකත්වයන්ගෙන්ද  ඉතා ඕනෑකමකින් යුතුව අප ඉල්ලා සිටින්නේ ජනතාවගේ ආරක්ෂාව සහ සුභ සිද්ධිය උදෙසා මේ අවස්ථාවේදී සිදු කළයුතු ප්‍රමුඛ හා වැදගත්ම කැපවීම ප්‍රදර්ශණය කරමින් රජය සාමුහික ප්‍රයත්නයකට එක් වී නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට ශක්තිය ලබා දීමයි.

මෙය දැඩි ජාත්‍යාලයෙන් යුතුවකරනු ලබන ඉල්ලීමකි.

කරු ජයසූරිය

t

o

p