කොරෝනා බෝවීම වළකන සුරයක්?

October 10, 2020

පසුගිය දිනයක අන්තර්ජාල වෙබ් අඩවියක තිබුණ අපූරු වෙළෙඳ දැන්වීමක් මගේ නෙත ගැටිණ. එනම් කොරෝනා රෝගය බෝවීම වළකන මහා බලගතු ආරක්ෂක මන්ත්‍රයක් සහිතසුරයක් රුපියල් නවදහස් අටසිය හැත්තෑවකට නිවසටම ගෙන්වා ගත හැකි බවත් එහි සඳහන්ව තිබිණ.

ආරක්ෂක යන්ත්‍ර සහ ජීවම් කරන ලද තෙල් වර්ග සහිත සුර පැලඳීම අපගේ ජන සංස්කෘතියට නුහුරු දෙයක් නොවේ. රෝග, අමනුෂ්‍ය සහ සතුරු බිය පලවා හැරීමටත් ආයුෂ, වර්ණ, සැප, බලය වර්ධනය කිරීමටත් ආරක්ෂක යන්ත්‍රවලට සහ ජීවම් කරන ලද තෙල් වර්ගවලට හැකියාවක් ඇතැයි යන ජන විශ්වාසයක් තිබේ.

එහෙත් විස්මයට කරුණ වනුයේ වසංගත රෝගවලින් වැළකීම පිණිස වන ආරක්ෂක යන්ත්‍ර හෝ ජීවම් කරන ලද තෙල් වර්ග පිළිබඳ කිසිදු සනිටුහනක් මෙරට පොදු ජන විශ්වාසයේ නොතිබීමය.

වර්තමානයේ ලොව පුරා පවතින රෝග නිවාරණ ක්‍රම නොතිබූ අතීතයේ වසංගත රෝග ව්‍යාප්තිය අදට සාපේක්ෂව බෙහෙවින් ඉහළ මට්ටමක පැවතිණ. අතීත ජන සමාජය එම රෝග හඳුන්වන ලද්දේ ‘වදුරු වසංගත’ යනුවෙනි.

දහසය වන සියවසේ ලියැවුණු යෝගරත්නාකරය නම් ආයුර්වේද ග්‍රන්ථයට අනුව මෙම ‘වදුරු’ යන්නෙහි අරුත ‘වසූරිය’ යන්නය. එහෙත් මෙය ‘උවදුරු’ යන්නෙහි ‘උ’ යන්න ලොප් වීමෙන් ව්‍යවහාරයට පැමිණි වදනක් ද විය හැක.

මෙවන් වදුරු වසංගත නිවාරණය සම්බන්ධයෙන් සුර පැලඳීම වැනි පෞද්ගලික නිවාරණ ක්‍රම නොතිබුණ ද ගම් මට්ටමින් මේවා පැතිර යාම වැළැක්වීම පිණිස වන නොයෙකුත් පූර්වාරක්ෂක අභිචාර ක්‍රම අතීතයේ අප රටේ ග්‍රාමීය මට්ටමින් පැතිර තිබූ බව නොරහසකි.

ඒවා අතුරින් වඩාත් ප්‍රචලිත වන ලද්දේ පත්තිනි දේවිය උදෙසා සිදු කරනු ලැබූ ‘මඩු ශාන්තිකර්ම’ පද්ධතියයි. ඊට අමතරව පුද්ගල, පවුල් සහ ප්‍රජා මට්ටමින් ප්‍රධාන සහ අප්‍රධාන දෙවිවරුන් උදෙසා සිදු කරනු ලබන කන්නලව් ආදියට ද ගැත්තන්, නරපණුවන්, ආතුරයන් වශයෙන් හඳුන්වනු ලබන පුද්ගලයන් හා ජන කණ්ඩායම් වෙත ‘වදුරු වසංගත’ ආදියෙන් වළක්වන ලෙස කෙරෙන ආයාචනාවන් ඇතුළත්ව තිබේ.

ඉන් හැඟවෙනුයේ අතීතයේ ‘දෙවියන්ගේ ලෙඩ’ නමින් හැඳින්වුණු වසංගත රෝග ද ඇතුළුව මෙම රෝග නිවාරණය කිරීමේ, පැතිරවීමේ සහ සුවපත් කිරීමේ සර්වාධිකාරී බලය හුදෙක් දෙවිවරුන් වෙතම පැවරෙන බවකි.

වසංගත රෝග නිවාරණය සම්බන්ධයෙන් යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් ආදිය බලාත්මක නොවන බවට පැවැති ජන විශ්වාසයේ මූලික පදනම එයයි.

ඒ කෙසේ හෝ කොරෝනා රෝගය බෝවීම වැළැක්වීමට සමත් එම ආරක්ෂක යන්ත්‍රය සහිත සුරය පිළිබඳ දැන්වීම දුටු මම එහි සඳහන් අංකයට දුරකථන ඇමතුමක් ගතිමි.

‘‘මම ඔය වගේ ගුප්ත හාස්කම් ගැන හදාරන කෙනෙක්. ඔබතුමා ඔය කියන සුරයෙන් හරියටම කොරෝනා බෝවීම වළක්වන්න පුළුවන් නම් මටත් පුළුවන් මගේ යාළුවෝ අතරේ අඩුම තරමින් ඕවා විස්සක් තිහක්වත් විකුණලා දෙන්න. හැබැයි ඊට කලින් ඔබතුමා ඒවායේ සත්‍යතාව තහවුරු කරලා පෙන්නන්න ඕනේ.’’ මා එසේ පවසන විට ඔහු මහත් උනන්දුවෙන් ඊට කන් දුන්නේය.

‘‘හොඳයි. මම දැන් මොකක්ද කරන්න ඕනේ කියන්නකෝ.’’ එසේ සවන් දුන් ඔහු මවෙතින් අසා හිඳින ලද්දේ ඉතා සාවධාන ලෙසිනි.

‘‘ඔබතුමා ඔය සුරයත් දාගෙන අදාළ අංශවලින් අවසර අරගෙන කොරෝනා ආසාදිත රෝගීන් පිරිසක් අතරට ගිහින් ඒ අයත් එක්ක බොහොම සමීපව ඉන්න. ඊට දවස් විසි එකකට පස්සේ පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දෙන්න.

එතැන දී ඔබතුමාට කොරෝනා රෝගය ආසාදනය වෙලා නැහැ කියලා තහවුරු වුණොත් ඔය සුරයේ බලය ගැන මට යම් තරමකට හරි විශ්වාස කරන්න පුළුවන්.’’ මා එසේ කී විට ඔහු තරමක් නොසන්සුන් වන අයුරක්මට වැටහිණ.

‘‘මේ සුරයෙන් කොරෝනා බෝවෙන්නේ නැහැ කියලා සීයට සීයක්ම තහවුරු කරන්න බැහැ මහත්තයෝ. හැබැයි ඒක සීයට අසූවක් විතර නම් තහවුරු කරන්න පුළුවන්.’’

එසේ කී හෙතෙම ඒ සමගම මා වෙත ප්‍රති පැනයක් ද යොමු කළේය.‘‘ඒ එක්කම මට කියන්න එක එක ලෙඩවලට තියන ඉංග්‍රීසි බේත්වලිනුත් සීයට සීයක්ම ප්‍රතිකාර ලබන්න පුළුවන්ද? කියලා. ඒවා ගැන විතරක් බොහොම සාධාරණවිදියට හිතන මහත්තුරු මොකද මේ දැන් මට කැති පොලු අමෝරාගෙන එන්නේ?’’

බටහිර ඖෂධ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ, නිරීක්ෂණ නිගමන සිදුව ඇති බැවින් ඒවායේ ඵලදායකත්වය ප්‍රතිශතයක් වශයෙන් දැක්විය හැකි වුව ද ඔබගේ ඔය ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් සියයට අසූවක ප්‍රතිශතයක් ගෙන හැර දක්වන ලද්දේ කවර නිර්ණායක පදනම් කර ගනිමින් දැයි එවිට මම ද ඇසීමි.

එහෙත් එසැණින් එම දුරකථන ඇමතුම විසන්ධි වූ අතර ඉන් පසු අවස්ථා දෙක තුනක් යළි ඔහු ඇමතීමට මා උත්සාහ කළ ද ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

සුරය යනු තුනී ලෝහමය පත්ඉරුවක ලියන ලද කිසියම් යන්ත්‍රයක් හෝ ජීවම් කරන ලද තෙලක් බහාලන කොපුවකි. නමුත් රෝග පීඩා ඇතුළු වෙනත් අන්තරායන්ගෙන් අත්මිදිය හැකි බව සලකා පලඳිනු ලබන ආභරණය (Amulet) ද ‘සුරය’ ලෙසින් නම් කළ හැකිය.

රන්, රිදී, තඹ වැනි තුනී ලෝහ තහඩුවලින් තනා ඇති මෙම සුර තුළ ඇතුළත් වනුයේ සත්ත්ව, ශාක, පාෂාණ සහ ලෝහමය කොටස් වන අතර ඒවා ද්‍රව්‍යමය වශයෙන් එතරම් මිලක් නැත. සුරය අභ්‍යන්තරයේ තැන්පත් කොට ඇති ද්‍රව්‍යවල වටිනාකමට අතිරේක වටිනාකමක් සුරය තනා ඇති ලෝහ වර්ගය සහ එහි නිමැවුම අනුව ලැබේ.

එහෙත් කිසියම් ආරක්ෂිත යන්ත්‍රයක් හෝ ජීවම් කළ තෙලක් සහිත සුරයක මිල නියම වනුයේ එසේ ද්‍රව්‍යමය හෝ පදාර්ථමය වටිනාකම අනුව නොවේ.

පාතාල නායක මාකඳුරේ මධුෂ් ගේ සමීපතම සගයා වන කැළුම් නමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු කරන ලද ප්‍රකාශයකට අනුව ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා සුරයක් පැලඳ සිටින අතරවාරයකය.

කැළුම්ට එම සුරය සකස් කර දුන් බව පැවසෙන ක්‍රිෂාන් තිලංග නමැත්තාගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී ඔහු විසින් අනාවරණය කොට ඇත්තේ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම් සහ ජීවම් කිරීම් ආදී කටයුතු උදෙසා රුපියල් ලක්ෂ හැට හැත්තෑව ආදී වශයෙන් මුදල් වැය වන සුර ඇතත් මෙම සුරය වෙනුවෙන් තමන් විසින් කැළුම්ගෙන් අය කරන ලද්දේ රුපියල් විසිතුන් දහස් පන්සියයක් පමණක් බවය.

ඒ කෙසේ හෝ ඔහු විසින් ලබා දුන් ඒ සුරය මගින් සෙසු ආරක්ෂාවන් කෙසේ වෙතත් කැළුම්ට ‘පොලිසියෙන් ආරක්ෂා වීමට’ නම් නොහැකි වූ බව පැහැදිලිය. එමෙන්ම එම සුරය සඳහා වියදම් වූ මුදල සම්බන්ධයෙන් කැළුම් සහ තිලංග දී ඇති ප්‍රකාශ පරස්පර බැවින් ඒ සම්බන්ධ සත්‍යය කුමක් ද යන්න පිළිබඳ නිශ්චය කිරීමට ද අපට නොපුළුවන.

මෙම සුර තුළම බහාලන මහා බලගතු යන්ත්‍ර සහ ජීවම් කරන ලද තෙල් නිපදවීමට අවශ්‍ය මූලාශ්‍ර ලබා ගනුයේ පැරණි පුස්කොළ පොත්වල ඇති වට්ටෝරුවලින් බව ප්‍රකට මතයකි. ඒ අනුව එම යන්ත්‍ර සහ තෙල් සඳහා විවිධ නම් ද ලබා දී තිබේ.

එමෙන්ම එම යන්ත්‍ර සහ තෙල්වල ඇති බලගතු බව හැඟවීම පිණිස ඒවායේ නමට ‘රාජයා’ යන නම ද එක් කොට තිබේ.

‘‘ඔහොම යන්ත්‍ර මන්ත්‍ර තෙල් බෙහෙත් වට්ටෝරු තියෙන පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් කොළඹ ජාතික කෞතුකාගාරය සතුවත් තියෙනවා. නමුත් ඒවායේ තියෙන හුඟක් තොරතුරු අද්භූතජනකයි. ඔය හුඟක් පුස්කොළ පොත් ලියැවිලා තියෙන්නේ මහනුවර රාජධානි සමයේ.

ඒ වගේම ඒවා ශාස්ත්‍රීය වශයෙන් විස්තර කළාම ඉතාම පැහැදිලිව පේනවා ඒවා ව්‍යාජ මූලාශ්‍ර පදනම් කරගත්තු කාලාවරෝධයෙන් යුතු අවියත් මූලාශ්‍ර කියලයි. මෙම සුර සඳහා භාවිත කරනු ලබන යන්ත්‍ර මන්ත්‍ර සහ ජීවම් කළ තෙල් වර්ග සඳහා පදනම් වන පුස්කොළ පොත් සම්බන්ධයෙන් හිටපු ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සංගමයේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා ගේ අදහසයි.

යම් යම් සත්ත්ව, ශාක, පාෂාණ සහ ලෝහමය පදාර්ථයන් ශරීරයේ පැලඳ සිටීමෙන් තමන්ට ගුප්ත ආකර්ෂණයක් ඇති වේය යන විශ්වාසය මිනිසා තුළ ජනිත වන ලද්දේ මිනිස් ශිෂ්ටාචාරය ඇරඹීමටත් බොහෝ කාලයකට ඉහතය. මානව විද්‍යාවේ මෙය හැඳින්වෙනුයේ ආකර්ෂණවාදය (Fetishism) යනුවෙනි.

කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කොට තමන් සමීපයේ තබාගැනීම මුල් කොටගත් පිරිමින්ට වැලඳෙන මානසික රෝගයක් ද එනමින් හැඳින්වෙනුයේ මෙම පැරණි මානව චින්තාව අනුවය.

මෙලෙස මහා බලගතු යන්ත්‍ර හෝ ජීවම් කළ තෙල් වර්ග මගින් මිනිසුන්ට සැබෑ ආරක්ෂාව සැලසෙන්නේ ද යන්න විද්‍යාත්මකව තහවුරු කරගත හැකි ක්‍රම ඕනෑ තරම් තිබේ. එහෙත් මිනිසාගේ ස්වයං සංරක්ෂණ සහජතාව මත දක්වන මෙවන් (Self preservation instinct) විශ්වාස සඳහා විද්‍යාත්මක අර්ථකථන දීමට අකැමැති බොහෝ දෙනෙකු පවසනුයේ මේවායේ ඇති සත්‍යතාව පරික්ෂණ, නිරීක්ෂණ, නිගමන සහ විද්‍යාත්මක සාධක මගින් සනාථ කළ නොහැකි බවය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා හමුවට පැමිණි එක් පුද්ගලයෙක් හෙණරාජ තෛලය නම් මහා බලගතු තෛලය තමන් සතුව ඇති බවත් එය සුරයක බහා ගෙල පැලඳවීමෙන් හෙණ සැර,වෙඩි සැරවලින් වැළකී සිටිය හැකි බවත් පැවසීය.

‘‘හැබැයි සර් මේ යන්ත්‍රය පැලඳ ගත්තට පස්සේ තමන්ගේ ඇඟේ මේක තියෙන බවක් කාටවත් දැනගන්න ඉඩ තියන්න හොඳ නෑ; එතකොට ඒකේ බලේ බිඳෙනවා.’’ හෙතෙම කීවේය.

‘‘ඔව්. එහෙම ප්‍රසිද්ධ කළොත් ඕක බෙල්ලේ එල්ලගෙන ඉන්න කාට හරි වෙඩි වැදුණොත් ඔය යන්තරේ නිකම්ම පුස්සක් වෙනවනේ නේද?’’ මහාචාර්ය කුලතුංග සිනාසෙමින් ඇසීය.

‘‘ඒ වගේම ඒක පැලඳගෙන ඉන්න ගමන් කිල්ලකට අහු වුණොත් එක පාරටම ඒකේ බලේ බිඳෙනවා.’’ එවිට මහාචාර්යවරයාගේ කීම නොඇසුණාක් මෙන් එම පුද්ගලයා කීය.

‘‘එහෙම නම් ඉතින් ඒක බෙල්ලේ එල්ලාගෙන ඉන්නවා කියලා ප්‍රසිද්ධ කළත් කමක් නෑනේ.’’ ඒ මොහොතේ ඒ අද්දර සිටි තරුණ පුරාවිද්‍යාඥයකු කීවේය.

‘‘ඇයි ඉතින් ඕක බෙල්ලේ එල්ලාගෙන ඉන්න කාට හරි වෙඩි වැදුණත් කියන්න පුළුවන්නේ ඒ හාදයා කිල්ලට අහුවෙලා සුරේ බල බිඳිලා කියලා.’’ හෙතෙම කීවේ එහි සිටි සැවොම සිනා ගන්වමිනි.

තිලක් සේනාසිංහ

t

o

p