ශ්‍රී ලාංකීය අප තරම් වස විෂ ආහාරයට ගන්නා වෙනත් ජාතියක් මුළු ලෝකයේම නැතැයි අද වන විට යමකුට හැඟී ගිය හොත් එහි එතරම් අරුමයක් නැත.ඒ අප ගන්නා ආහාර පාන වල ඇති වස විෂ පිළිබඳව එතරම් පුළුල් සංවාදයක් සමාජ ගත වෙමින් තිබෙන බැවිනි.
විසින් ගනු ලබන ආහාර පාන සඳහා එක් කොට ඇති කෘත්‍රිම රසකාරක සහ කල් තබා ගැනීම පිණිස ඒවාට එක් කරන රසායනික ද්‍රව්‍ය මඟින් වස විෂ ශරීර ගත විය හැකි බවට පුළුල් සමාජ කතිකාවක් ගොඩ නැඟී තිබේ.ඊට අමතරව අප ආහාර පිණිස ගනු ලබන කෘෂිකාර්මික බව බෝග සඳහා යොදනු ලබන කෘෂිකාර්මික බෝග සඳහා යොදන රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආදියේ ඇති වස විෂ ද ආහාර මඟින් අපගේ ශරීර තුළට පිවිසිය හැකි බවට ද මතයක් පවතී.
ඒ අතර ඇතැම් ආහාර ද්‍රව්‍ය පරණ වීමේ දී ඒවා තුළින්ම ජනනය වන හිස්ටමීන් වැනි විෂ රසායනිකයන් ද මිනිස් ශරීර වලට එක් විය හැකි බවට පොදු මතයක් තිබේ.තව ද මාංශ පිණිස ඇති කරනු ලබන සතුන්ගේ මාංශ ප්‍රමාණය වැඩි වීමට සහ ඔවුන්ගේ ශීඝ්‍ර වර්ධනය සඳහා ලබා දෙන හෝමෝන ආදියේ බලපෑම ද එම මාංශ ආහාරයට ගැනීමෙන් අපගේ ශරීර තුළ ජෛවමය විෂමතා ඇති කරවන බවට පැතිර යන මතයක් ද අද වන විට සමාජය පුරා
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.
මෙම සියළු කරුණු පිළිබඳව නිදහසේ සිතන ඕනෑම කෙනෙකු තුළ ස්වාභාවිකවම ජනිත විය හැකි සිතුවිල්ලක් තිබේ.එනම් අප ගන්නා සෑම ආහාරයක් සමඟම අපේ ශරීර වලට කෙටි කාලීන හෝ දිගු කාලීන වශයෙන්
නැතිනම් ඒ දෙ අයුරින්ම අහිතකර විය හැකි වස විෂ ඇතුළු විය හැකි බවය.
කෘෂිකාර්මික කටයුතුවලදී රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය
භාවිතයශීඝ්‍රයෙන් ඉහළ ගියේ හතලිහේ දශකයේ මෙක්සිකෝවෙන් ඇරඹි හරිත විප්ලවයත් සමගිනි.
නමුදු පසු කාලීනව එය විවිධ රට වල විධිමත් කළමණාකරණයට නතු විය.
ලොව සෙසු බොහෝ රට වලට සාපේක්ෂව මෙම කරුණ සම්බන්ධයෙන් අපට”ඇස් ඇරෙන විට” බොහෝ පමා වී තිබූ බව ඇත්තකි.එහෙත්,අප සමාජයට ආහාර පාන විෂ වීම පිළිබඳ මේ කතාව “ගෙඩිය පිටින්”භාර ගැනීමට පෙර අප ඒ ගැන ද මඳක් සිතා බැලිය යුතුය.
අප ගන්නා ආහාර පාන වලට වස විෂ මුසු වීමේ මෙම සම්භාවිතාව පිළිබඳව මූලිකව අප වෙත කරුණු සංනිවේදනය වනුයේ ජන මාධ්‍ය මඟිනි.ඒ අතරිනුදු
රූපවාහිනී,ගුවන් විදුලි සහ පුවත් පත් යන ප්‍රසිද්ධ ජනමාධ්‍ය පෙරටු
වෙයි.මේවායෙහි ප්‍රධාන වශයෙන් මේ සම්බන්ධ මත පළ කරනුයේ වෛද්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවීණයන්ය.එහෙත්, ඒ සම්බන්ධයෙන් මා දකින ප්‍රධානතම අඩු පාඩුවක් තිබේ.ඒ ඔවුන් බොහෝ දෙනකුගේ අදහස් නිසි විද්‍යාත්මක පදනම් නොවූ ඔවුන්ගේ පෞද්ගලික මතවාදයන් වීමය.
ළදරු වියෙන් ළමා වියට එළඹෙන දැරියන්ට කුකුළු මස් දීමෙන් ඔවුන්ගේ වැඩිවියට පත්වීම ඉක්මන් විය හැකිදැයි පසුගිය දිනයෙක එක් මවක් මගෙන් අසා සිටියාය.ඇය වැඩිදුරටත් කියා සිටියේ එසේ දීමෙන් එම කුකුළන් ඉක්මනින් වර්ධනය වී උන් ගේ මස් ප්‍රමාණය වැඩි වීම පිණිස දෙනු ලබන හෝමෝන එම දැරියන්ගේ සිරුරු තුළට ද ඇතුළු වී ඔවුන් ඉක්මනින් වැඩි වියට පත් වීමේ සම්භාවිතාවක් පවතින බවය.එහෙත්,සැබැවින්ම එවැන්නක් ලොව කිසිදු පර්යේෂණයකින් සනාථ වී නැත.
එබැවින් එම මවගේ කතාව කෙරෙහි තරමක් උනන්දු වූ මම එම ප්‍රවෘත්තිය දැනගත් අන්දම ඇගෙන් අසා සිටියෙමි.එවිට ඇය කීයේ ප්‍රකට නමක් හිමි විශේෂඥ වෛද්‍ය වරයෙකු පසුගිය දිනයෙක රූපවාහිනී වැඩ සටහනක දී කරන ලද එම ප්‍රකාශය බොහෝ මව්වරුන් අතරේ මහත් ආන්දෝලනයකට ලක් ව ඇති බවකි.
නමුදු පෝෂණ වේදය හෝ අන්තරාසර්ග වේදය වැනි ඒ හා සම්බන්ධ විෂයකට අදාල නොවූ එම වෛද්‍ය වරයාගේ එම ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතයක් විය හැකි යැයි මම කීවෙමි.එවිට ඒ මව කියා සිටියේ ඔහු එම අදහස ප්‍රකාශ කරන ලද්දේ එක් රූපවාහිනී චැනලයකින් විකාශය වූ ආගමික වැඩ සටහනක ප්‍රාණඝාතය පිළිබඳව කතා කරන අතරේ බවය.
ඒ අනුව ඔහු ප්‍රාණඝාතය ගැන කතා කිරීම සඳහා මුසාවාදය යොදා ගෙන ඇති බවක් මට වැටහුණි.නූතන ජනමාධ්‍ය තුළ පවතිනුයේ මීට පෙර කිසි කලෙක
දක්නට නොතිබුණු තීව්‍ර තරඟයකි.ඒ අනුව තම චැනලය මඟින් විකාශනය කරන සෑම වැඩ සටහනකින්ම බොහෝ දෙනකුගේ කතාබහට ලක් වන අලුත් දෙයක් ඉදිරිපත් කිරීමට බොහෝ මාධ්‍ය කරුවෝ පෙළඹෙති.
ඒ සඳහා ඔවුන් තම වැඩ සටහන් වලට පෙනී සිටින සම්පත් ධාරීන්ගෙන් ද නරඹන්නන්ගේ විශේෂ අවධානයට ලක් වන සහ ඔවුන් විස්මයට පත් කරවන
දේ බලාපොරොත්තු වෙති.සමහර විට මේ වෛද්‍ය වරයා එවන් අභිලාෂයන්ගෙන් යුතු මාධ්‍ය කරුවන් විසින් රූපවාහිනී මැදිරියක් තුළ දී එවන් ශාස්ත්‍රීය අපයෝජනයට ලක් කරන්නට ඇත.නැතහොත් එය ආගමික වැඩ සටහනක් වූ බැවින් විද්‍යාවෙන් තොරව අදහස් පළ කිරීමේ ගැටළුවක් නැතැයි ඔහු සිතන්නට ඇත.
“අම්මා මට හැම දේම කන්න එපා කියනවා,මොනවද කියන්නකෝ එතකොට මම කන්නෙ?”තම දරුවන් විවිධ ආහාර පාන වලින් දුරස් කරන මව් වරුන් හමුවේ දරුවෝ එසේ ආඩපාලි නඟති.එම දරුවන් පොඩි වුණත් ඔවුන් තම වැඩිහිටියන් හමුවට ගෙනෙන එම අභියෝගය සුළු පටු නැත.”පිළිකා හැදෙන හින්දා,හෝමෝන් විදලා තියන හින්දා මස් කන්න දෙන්නත් බෑ.නරක් නොවෙන්න ෆෝමලින් ගහනවා කියන හින්දා මාළු කන්න දෙන්නත්
බෑ.මැලතියන් ගහනවය කියන හින්දා කරවල කන්න දෙන්නත් බෑ.අනික දැන් අපි කන බත් ඇටේ ඉඳලම වස විසලුනේ.
මට නම් තේරෙන්නේ නැහැ,මේ ළමයි මොනවා දීලා ලොකු මහත් කරන්නද කියලා”ඉහත මා සඳහන් කළේ අපේ කාලයේ අම්මලාගේ පොදු
අඬෝවැඩියාවකි.මේ අතර මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි වලින් පැතිරෙන ආහාර පාන සම්බන්ධ මිථ්‍යා මත කොතෙක් ද යත් ඒවා අතුරින් විද්‍යාත්මක වශයෙන් තහවුරු වූ සත්‍යයක් සෙවීම තිරුවානා අතුරින් මැණික් සොයන්නාක් මෙනැයි මට සිතෙයි.
අප ගන්නා ආහාරවල වස විෂ ගැබ් ව ඇතැයි යන මතවාදය කුඩා දරුවන් විෂයෙහි පමණක් බලපවත්වන්නක් නොවේ.අති සංවේදී මනැස් ඇත්තවුන් මෙම කරුණ නිරන්තරයෙන් මනැසේ ධාරණය කර ගැනීමෙන් විවිධ මනෝ කායික අර්බුද වලට පවා ලක් විය හැක.
එනිසාම දැනට වෙළඳ පලේ ඇති කාබනික පොහොර පමණක් යෙදූ බව පැවසෙන දේශීය සහල් එළවළු බව බෝග පමණක් ලොකු මුදලක් දී මිලට ගෙන පරිභෝජනය කරන සුළු පිරිසක් ද අප සමාජයේ සිටිති.
එහෙත් ඔවුන් එමඟින් ලබන සුවිශේෂ සෞඛ්‍යමය ප්‍රතිලාභ නිවැරදිව නිශ්චය කිරීමට මට නොපුළුවන.නමුදු ඔවුන් විසින් අත් විඳිනු ලබන සවිමත් ආර්ථිකයක් මත පදනම් වූ පාරිභෝගික වරප්‍රසාදය හමුවේ අප
රටේ බහුතර ජනතාව සුසුම් හෙළන බව නම් ඒකාන්ත වශයෙන්ම නිශ්චිතව කිව හැකිය.
මේ තත්වය හමුවේ මාධ්‍ය මඟින් ජනතාවගේ ආහාර පාන පිළිබඳව මත පළ කරන වෛද්‍ය වරුන් ඒ සම්බන්ධ තම පෞද්ගලික මත හුවා දැක්වීමට වඩා නිරීක්ෂණ අධ්‍යයන සහ සායනික වශයෙන් තහවුරු කරන ලද තම
වෘත්තීය මත පමණක් ඉදිරිපත් කළ යුතුය.
එසේ නොමැතිව තම තමන්ගේ පෞද්ගලික මත පෙරදැරි කර ගනිමින් සෑම ආහාරයක් වෙනුවෙන්ම වාරණ නියෝග පැනවීම ඇතැම් විට සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් ද විය හැක.එමෙන්ම අප රටේ ජනතාව බහුලව ගනු ලබන ආහාර පාන වල ප්‍රමිතිය සහ ඒවායේ ඇති අහිතකර තත්වයන් පෙන්වා දීමේ ජාතික වගකීමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාන පරිපාලන ඒකකය,සහ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය වැනි ආයතන වෙතත් පැවරෙන බව ද පෙන්වා දිය යුතුය.
ළමා රෝග සහ අසාත්මිකතා රෝග විශේෂඥ අජිත් අමරසිංහ