වතු ජනතාවට ලයිම ආශ්‍රිතව නව නිවාස

September 30, 2020

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති.

ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ජනතාව වෙනුවෙන් නිවාස 4,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය 2016 වසරේදී ආරම්භ කර තිබේ. දැනට ඉදිකිරීම් අවසන් කර ඇති නිවාස සංඛ්‍යාව 669කි. යටිතල පහසුකම් සැපයීමේදී ඇති ප්‍රායෝගික ගැටළු ඉදිකිරීම් ප්‍රමාදයට හේතු වූ බව නිලධාරීහූ සඳහන් කරති.

වතු ජනතාව ජීවත්වන ලයිම සඳහා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සපයා තිබේ. එම නිසා ලයිම ආශ්‍රිතව නව නිවාස ඉදිකිරීමෙන් ව්‍යාපෘතියේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට දිය හැකි බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දෙති.

සිදුවිය යුත්තේ ඔවුන් ජීවත්වන පරිසරයේම සිට ජීවන තත්ත්වය නගා සිටුවීම බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නිවාස සැලසුම් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පැවරීමෙන් ඉදිකිරීමේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ තත්ත්වයක පවත්වාගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව පෞද්ගලික වතු සමාගම් ද තම යුතුකම් සහ වගකීම් කොටස ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම, නිවාස, ක්‍රීඩා ඇතුළු රේඛීය අමාත්‍යාංශවල සහය ගනිමින් වතු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය.

වතු ආශ්‍රිත පෙර පාසල්, ප්‍රාථමික විද්‍යාල, සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථාන සංවර්ධනය කළයුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වතු ආශ්‍රිතව ජීවත්වන තරුණ තරුණියන්ට NVQ මට්ටමේ සහතිකයක් ගත හැකි මට්ටමින් වෘත්තීය පුහුණුවක් දී රැකියා අවස්ථාවලට යොමු කිරීමේ ඇති වැදගත්කම ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

438ක් වන වතු ආශ්‍රිතව ඇති සෞඛ්‍ය මධ්‍යස්ථාන රජයට පවරාගෙන ගුණාත්මක සේවාවක් වතු ජනතාව වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

බණ්ඩාරවෙල, හැටන්, නුවරඑළිය සහ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ගෙන ඇති සැලසුම් කෙරෙහි ද සාකච්ඡාවට ලක් විය.

වත්ත සහ ගම වෙන් නොවන ආකාරයෙන් සියලු සංවර්ධන කටයුතු සිදුවිය යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්ය අංශය

t

o

p