සුනාමියෙන් අතුරුදන්වූ 5 හැවිරිදි පුත‍්‍රයා වසර 16 කට පසු මව සොයා එයි

September 30, 2020

ඉකුත් 2004 සුනාමි ව්‍යසනයේදී අතුරුදන්වූ අවුරුදු 5 ක දරුවකු වයස අවුරුදු 21 ක් සම්පූර්ණ වීමෙන් පසු තම මව සොයා පැමිණි පුවතක් සායින්දමරුදු මාලිගයිකාඩු ප‍්‍රදේශයෙන් පසුගිය දා වාර්තා විය.

මාලිගායිකාඩු ප‍්‍රදේශයේ පදිංචි අබුසාලි සිත්ති කමලියා නමැති මව තම පුතා අවුරුදු 16 කින් පසු හමුවීම පිළිබඳව සතුටු කඳුළු සලමින් මෙසේ පැවසුවාය.

එකම පුතා සුනාමි ව්‍යසනයේදී අතුරුදන් වුණා. ඔහු මියගොස් ඇතැයි කීප දෙනෙක් පැවසුවත් පුතා ජීවතුන් අතර සිටින බව මා විශ්වාස කළා. ඒ අනුව පුතා සොයා දිවයිනේ විවිධ ප‍්‍රදේශවලට ගියා. එහෙම මහන්සි වුණු මා හට දරුවාගේ පැමිණීම දරාගත නොහැකි සතුටක්.

 අක්රම් රිස්කාන් නමැති මෙම දරුවා සොයා මා දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ඇවිද්දා. සුනාමි ව්‍යසනය වූ දිනයේ මා අෂ්රෆ් අනුස්මරණ රෝහලේ රැකියාවට ගොස් සිටියා. සුනාමි ව්‍යසනයෙන් දින 3 කට පසු මාගේ නැඟණියගේ ස්වාමිපුරුෂයා මාගේ පුතා රෝහලේ සිටින බව පැවැසුවා. මා එහි ගොස් බලන විට පුතා සිටියේ නැහැ.

කවුදෝ කැඳවා ගෙන ගොස් තිබෙනවා. මා හට දුක වාවගන්න බැරි වුණා. මම උත්සාහය අත්හැරියේ නැහැ. පුතාගේ ඡුායාරූපය රැුගෙන හැමෝටම පෙන්වනවා. සමහර අය කියූ ආකාරයට පුතාව සොයාගෙන ඔවුන් කියන ස්ථානවලට යනවා. පුතාගේ අතුරුදන්වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළා. පසුව මාධ්‍යවලට කතා කළා.

පසුගිය 2016 වසරේ මාගේ පුතා සිංහල පාසලක ඉගෙනුම ලබන බවට මාගේ සිංහල මිතුරියක් මා හට පැවසුවා. ඒ අනුව එම පාසලට ගොස් පුතා හමුවීමට උත්සාහ දැරුවා. නමුත් පාසලේ විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලය මාහට දරුවා පෙන්වූයේ නැහැ.

 සමහර අවස්ථාවල සිංහල කාන්තාවක් ලෙස වෙස්වලාගෙන ඔහු සිටිනවා යැයි කියූ ප‍්‍රදේශවල ගැවසුණා. අලෙවි නියෝජිතවරියක ලෙසත් රැකියා ලබාදෙන අයකු ලෙසත් යාචකයකු ලෙසත් වෙස්වලාගෙන ඇවිද්දා. මට විශ්වාසයක් තිබුණා කෙසේ හෝ දරුවා ලැබෙයි කියා.

නොයෙකුත් දුෂ්කරතාවයන්හට අවමානයන්හට මුහුණ දීමට සිදුවුණත් මම උත්සාහය අත්හැරියේ නැහැ. මාගේ ස්වාමිපුරුෂයා වෙන්වී ගොස් වෙනත් විවාහයක් කරගෙන සිටිනවා. නමුත් මා තනියම මාගේ පුතාව සෙව්වා.

දේශපාලනඥයන් ඇතුළුව ජනාධිපතිවරයා දක්වා මාගේ අවනඩුව පැවසුවා. ඵලක් වුණේ නැහැ. එක් ආයතනයක් මගින් පුතා ඉන්න තැන හඳුනා ගත්තා. මා එහි රැකියා ලබාදෙන අයකු ලෙස ගොස් මාගේ පුතාව හමුවුණා. එහිදී පුතා මාව හඳුනා ගත්තා. පසුව අප දුරකථනයෙන් කතා කළා.

මා දන්නා ඔහුගේ ශරීරයේ ඇති ලකුණු පිළිබඳව කතාකර මාගේ පුතා බවට තහවුරු කර ගත්තා. පසුව මාගේ පුතා කොළඹ රැකියාවකට යන බව පවසා එතෙක් ජීවත් වුණ සිංහල නිවසින් පිටවී මා සොයාගෙන පැමිණියා. මට දැන් මගේ පුතා යළි හමුවී තිබෙනවා.

මා පුතාව සොයාදෙන ලෙස මක්කමට ගොස් බාරවුණා. ඒ අනුව මට පුතා ලැබුණා. මා පුතා සමග මක්කමට ගොස් ඉස්ලාම් චාරිත‍්‍ර අනුව බාරය ඔප්පු කරනවා.

එසේ මෙතෙක් කාලයක් මාගේ දරුවාව හැදූ වැඩූ එම සිංහල සහෝදරියට මා හැකි පමණින් උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා.

t

o

p