අතාවුල්ලාගේ ඇදුම හේතුවෙන් පාර්ලිමේන්තුව යළි උණුසුම්වේ

September 22, 2020

ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා මහතා පාර්ලිමේන්තුවට හැද සිටි ඇදුම සභාවට නොගැලපෙන ඇදුමක් බව පෙන්වා දෙමින් කෑ කෝ ගැසීම නිසා ඔහුට සභාවෙන් පිටව යාමට සිදුවිය.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විරෝධය පළකරමින් කෑ කෝ ගසා අවසන් වූ පසු අතාවුල්ලා මහතා සභාවට පැමිණි අතර එම අවස්ථාවේ නැගී සිටි නලීන් බණ්ඩාර මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් අතාවුල්ලා මන්ත්‍රීවරයා සභාවට නුසුදුසු ඇදුමකින් සැරසී පැමිණ ඇති බවට කතානායකවරයාගේ අවධානයට යොමු කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ඔහු ඔහුගේ ජාතිකත්වය අනුව නිසි ඇදුමක් හැද පැමිණ ඇති බවකි. නමුත් ස්ථාවර නියෝගවලට අවධානය යොමු කළ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග අනුව සභාවට පැමිණිය හැකි ඇදුම් පැලදුම් පෙන්වා දී ඇතත් අතාවුල්ලා මන්ත්‍රීවරයා හැද සිටින ඇදුම එහි නොමැති බව කීවේය.

ඉන්පසු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු හා සහකාර වේත්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්වරු එම ස්ථානයට ගොස් අතාවුල්ලා මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කරනු දක්නට ලැබුනි. පසුව කතානායකවරයා කියා සිටියේ ඔහු ඔවුන්ගේ ජාතික ඇදුමකින් සැරසි පැමිණියත් එහි කොටසක පමණක් ගැටළුවක් පවතින බවයි.

අනතුරුව නැගී සිටි එස්.එම් මරික්කාර් මහතා පකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ පාර්ලිමේන්තුවට එරට මන්ත්‍රීවරුන් පැමිණෙන පරිදි අතාවුල්ලා මන්ත්‍රීවරයා පැමිණ සිටින බවත් මෙය සභාවට නොගැලපෙන බවත් පෙන්වා දුන්නේය. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ අතාවුල්ලා මන්ත්‍රීවරයා සභාවෙන් පිට නොකරන්නේ නම් තමන්ගේ උඩ ඇදුම ගලවා දැමීමට සිදුවන බවයි.

පසුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතාවුල්ලා මන්ත්‍රීවරයා අසලට ගොස් සාකච්ඡා කරනු දක්නට ලැබුනි. ඉන් සුළු මොහොතකට පසු මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගියේය.

t

o

p