ආණ්ඩුව 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දි විපක්ෂයේ විරෝධතා, සභාව උණුසුම්වේ

September 22, 2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පළමුවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු කලු පටි පැලැඳ, පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභා ගැබ මැදට පැමිණ කෑ කෝ ගසමින් පැයක පමණ කාලයක් විරෝධතාවයක නිරතවූහ.

20 එපා… 20 එපා කියමින් මෙම පිරිස සභාව මැදට පැමිණ කෑ කෝ ගසද්දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද විපක්ෂ මන්ත්‍රීවරු අසලට පැමිණ 20 ඕනා… 20 ඕනා… කියමින් කෑ කෝ ගසද්දී සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තු කටයුතු අද (22) පෙ.ව 10.00 ට ආරම්භ විය. මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමෙන් පසු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවිම සදහා අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

එම අවස්ථාවේදි රීති ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා” උත්තරීතර සභාවට උත්තරීතර නොවන සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කරද්දී කතානායකවරයා එය රීති ප්‍රශ්නයක් නොවන බව සදහන් කළේය.

ඒත් සමග නැගී සිටි විපක්ෂ මන්ත්‍රීවරු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් එපා… එපා…. 20 එපා…. යනුවෙන් කෑ ගසමින් සභාව මැදට පැමිණියහ. සභාව මැදට පැමිණ කතානායක ආසනය අසලට පැමිණි මන්ත්‍රීරු මෙලස කෑ කෝ ගසද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ද එම ස්ථානයට පැමිණිමත් සමග සභාව එකම කාල ගෝට්ටියක් බවට පත්විය.

මෙම අවස්ථාවේදි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, සහකාර වේත්‍රධාරි කුෂාන් ජයරත්න යන මහත්වරුන් හා පාර්ලිමේන්තු සේවකයන් එම සෙංකෝලය අසලට පැමිණ එය ආරක්ෂා කරන්නට වූහ. විපක්ෂ මන්ත්‍රීවරු කතානායක ආසනය අසලට පැමිණෙද්දි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුද ඒ අසලට පැමිණි අතර එම අවස්ථාවේදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කතානායක අසුන අසලට යාමට සැරසෙද්දි තේනුක විදානගමගේ මන්ත්‍රීවරයා ඔහු වැලැක්වූ අතර එහිදි ඔවුන් දෙදෙනා අතර උණුසුම් වාදයක් ඇතිවිය. මහින්දානන්ද අලුත්ගමගේ අතුළු මන්ත්‍රීවරු මැදිහත්ව එය වැලැක්වූහ.

දෙපාර්ශවය පැයකට අධික කාලයක් කෑ ගසමින් සිටි අතර කෑ ගැසීම ආරම්භ වී සුළු මොහොතක් ගතවන විට කෑ කෝ ගැසීම විනෝදයක් කරගෙන සිටින අයුරු දක්නට ලැබුනි. කෑ කෝ ගැසීම් අතරම බදු පනත් පිළිබද විවාදය ආරම්භ වූ අතර වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන හා සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුදූමුල්‍ය හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා කෑ කෝ ගැසිම් හමුවේ විවාදයට එක්ව අදහස් පළ කළහ. පැයක ඝෝෂාවකින් පසුව විවාදය සුපුරුදු පරිදි පැවැත්විනි.

t

o

p