රාගයෙන් මුසපත් වූ වැන්දඹුවක්!

September 21, 2020

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් ලියයි.

එවර මා හමුවට පැමිණි කාන්තාවන් දෙදෙනා මැදි විය ගත කරන බව පෙනුණ ද ඔවුන් තම රුව රැක ගැනීම පිළිබඳ සැළකිය යුතු උනන්දුවක් පළ කරන බව ඔවුන් දුටු සැනින් මට වැටහිණ.එහෙත්,ඉන් එක් කාන්තාවකගේ මුහුණ අතිශයින් ශෝකාකූල බව ද ඒ සමඟම මට හොඳින් තේරුම් ගත හැකි විය.එසේම ඔවුන් දෙදෙනාගෙන් පළමුව මා හා කතාවට පිවිසෙන ලද්දේ ද දෙවන කාන්තාව ය.

“මෙයාගෙ දුව දැන් දවස් දෙක තුනක ඉඳලා පුදුම විදිහට මුරණ්ඩු වෙලා ඩොක්ටඊයෙ රෑ මෙයාගෙ මූණත් හූරලා"එම කාන්තාව කීයේ ශෝකාකූල බවින් යුතු කාන්තාවගේ මුහුණ වෙත අතක් දිගු කරමිනි."කෝ දැන් දුව?" එම කතුන් දෙදෙනා හැරුණු කොට අන් කිසිවකු පෙනෙන්නට නොසිටි බැවින් මම ඇසීමි. "එයාගෙ කිසි වරදක් නැහැ ඩොක්ට මගෙයි වරද” ශෝකී බවින් යුතුව සිටි කාන්තාව
කීයේ මගේ කුතුහලය පුබුදුවමිනි.”මෙයාගෙ එක වරදක් මෙයාගෙ දුව බඳින්න ඉන්න ළමයට ආරංචි වෙලා,ඒක මෙයාගෙ දුවගෙන් අහලා.

ඒක තමයි මෙයාගේ දුවට කේන්ති ගිහින් තියෙන්නෙ”ශෝකාකූල කාන්තාවගේ මිතුරිය කීවාය “ඒක තමයි ඩොක්ටඒ ළමයා අපිට හුඟක්ම හිතවත් පවුලක.දැන් ඒ ළමයා අපේ දුවව අතාරින්න යනවලු.මට දරා ගන්නම බැරි ඒකයි"එසේ කී සොවින් පසු වූ කාන්තාව ඉකිබිඳින්නට වූවා ය. "ඉතින් මොකක්ද ඔය කියන වරද?" රෝග විනිශ්චයක් තබා රෝගියකු වත් හඳුනා ගත නොහැකි වූ බැවින් මම ඇසීමි."ඒක ටිකක් දිග කතාවක් ඩොක්ට“සිය හැඬුම මඳක් නතර කළ එම කාන්තාව කීවා ය.”ඒකට කමක් නැහැ කියන්න”මම ඇ‍යව දිරිමත් කළෙමි.

“මගේ මහත්තයා නැති වුණේ මීට අවුරුදු පහකට කලින්;එයාට කැන්සර් එකක් හැදුණා.එතකොට මගෙ වයස අවුරුදු හතලිහයි,දුවට දාසයයි”එම කාන්තාව සිය කතාව එසේ ඇරඹුවා ය.”මහත්තයා නැති වෙන්න කිට්ටු කාලෙ ඉඳලම මගේ හිතේ උස මහත පිරිමින්ගෙ ඇඟපත වල් ගැන අමුතුම ආසාවක් ඇති වුණා,ඒත් මටම තේරුම් ගන්න බැරි වුණා ඒ ඇයි කියලත්.මගේ මහත්තයා එහෙම ලොකු ඇඟපතක් තිබුණු කෙනෙක් නෙවෙයි.

ඒත්, මට හිතුණා මගේ මේ ආසාව ඒ හින්දද කියලත්.කොහොම හරි ඔය කාලෙදි ඒ වගේ උස මහත හැඩි දැඩි පිරිමි කෙනෙකුගේ පින්තූරයක් දැක්කත් ඒක ළඟ තියාගෙන බල බල ඉන්න පුරුද්දක් මගේ තිබුණා.ඒත් මම ලජ්ජාවට ඒක අඩුම ගාණෙ මෙයාටවත් කිව්වෙ නැහැ”ඇ‍ය කීයේ තමන් සමඟ පැමිණි මිතුරිය දක්වමිනි.

ඉන්පසු ඇය කීයේ තම සැමියාගේ මරණයෙන් පසු එම තත්වයේ ඉහළ නැංවීමක් සිදු වූ බවය.”ඇත්තෙන්ම ඩොක්ටමට හිතාගන්න බැරි වුණා,මට මේ වෙන්න යන්නෙ මොකක්ද කියලා.කොටින්ම ඔය කාලෙදි මඟ තොටේ දි හරි හැඩි දැඩි පිරිමියෙක් දැක්කොත් ඒ මනුස්සයට හොරෙන් එයා දිහා බලාගෙන ඉන්නත් පුරුදු වුණා.ඒ විතරක් නෙවෙයි ;ඒ වගේ මිනිස්සුන්ට තුරුල් වෙලා ඉන්න හැටි ගැන මම හීන මැව්වා.ඒ අතරේ මම දන්න කියන අය වගේම උපන්තේකට දැකලා නැති හින්දි නළුවොත් හිටියා"ඇය කියා සිටියා ය.

"ඉතින් ඒ වගේ තත්වයක් යටතේ සුදුසු කෙනෙක් බලලා ආයිමත් විවාහයක් කර ගන්න හිතුණේ නැද්ද?එසැනින් මම ඇසීමි. "නැහැනෙ ඩොක්ට” මගේ සිත තුළට පිවිසි එම කාන්තාවගේ රෝගය පිළිබඳ අනුමානය තව දුරටත් තීව්‍ර කරමින් ඇය කීවාය.”ඇත්තෙන්ම මට දැනුණේ කසාද බැඳීමේ අවශ්‍යතාවයක් නෙවෙයි .මොකද කසාද ජීවිතයක් කියන්නෙ මොකක්ද කියලා මම ඒ වෙනකොට අත්දැකීමෙන්ම දැනගෙන නෙ හිටියේ. මට මෙතනදී ඕනෙ වුණේ මං කැමති පිරිමිත් එක්ක තනිවෙන්න විතරයි.

ඇත්තෙන්ම මගේ හිතේ ඒ උවමනාව ඉහළ නැංවෙනකොට මම කැමති හැඩ රුව තියන පිරිමි අයගේ යුග ජීවිත වල රහස් දැන ගන්නත් මට ඕනෙ වුණා”ඇය කීයේ ඇගේ රෝග විනිශ්චයට එළැඹීමට මට තවත් පහසු කරවමිනි.”ඔය කාලෙ වෙනකොට මෙයා අපේ යාළුවන් ගෙන් තරමක් අමුතු ප්‍රශ්න අහන බව මටත් දැන ගන්න ලැබුණා.

ඒක මෙයාගෙ හොඳ නමට ලොකු කැළලක් කියලත් මට තේරුණා.ඊට පස්සෙ තමයි මම මේ ගැන ඉස්සර වෙලාම මෙයාගෙන් ඇහුවේ,ඒ මීට අවුරුදු දෙකකට විතර කලින්”එම කාන්තාවගෙන් නොකියැවුණු එම කොටස කියන ලද්දේ ඇ‍ය සමඟ පැමිණි ඇගේ මිතුරිය විසිනි “කොහොම හරි මෙයා මගෙන් ඒ කාරණේ අහනකොට තමයි මට තේරුණේ මම කරලා තියෙන්නෙ
මොන තරම් කැත වැඩක් ද කියලා.

ඒත් මට ඊට පස්සෙත් යාළුවන්ගෙන් එහෙම නොඅහ ඉන්න හිත පාලනය කර ගන්න බැරි වුණා”එම කාන්තාව කීවාය.එමෙන්ම ඇගේ මිතුරිය ඒ
වන විට භාවනා පන්තියකට සහභාගී වෙමින් සිට ඇති අතර ඇය මෙම කාන්තාවට පවසා ඇත්තේ එම භාවනා පන්තියට නොකඩවා සහභාගී වුවහොත් ඇගේ සිතේ පවතින මෙම වල්මත් ස්වභාවය දුරු කර ගත හැකි බවය.”ඒ හින්දා මම පස්සෙ මෙයත් එක්ක ගිහින් ඒ භාවනා පන්තියටත් සම්බන්ධ වුණා.

ඒත් මගේ හිතට එන අර වගේ සිතුවිලි පාලනය කර ගන්න බැරි වුණා.මට කියන්නත් ලැජ්ජයි. අන්තිමේ මගේ හිතේ ඒ භාවනා පන්තිය කරන හාමුදුරුවරු ගැනත් අර වගේ නරක සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තා”එම
කාන්තාව කීයේ ඇය තුළ බලපවත්වන රෝගය තවදුරටත් මා හමුවේ පසක්
කරගනිමිනි.”අන්තිමට මම තීරණය කළා දැන් මම ඉවසුවා හොඳටම ඇති.මගේ හිතේ පැසවන ආසාවන් ඉටු කර ගන්න ඕනෙ කියලා.හැබැ‍යි මම ඒකට මුල පිරුවේ මෙයාටත් හොරෙන්”එම කාන්තාව කීයේ තමන් සමඟ පැමිණි මිතුරිය දක්වමිනි.

ඒ අනුව එම කාන්තාව මුල් වරට සබඳතා පවත්වා ඇත්තේ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු සමඟිනි.පසුව ඔහු හා හුදෙකලා වීමට ඇ‍ය නිතර නිතර කරන ඉල්ලීම් හමුවේ ඔහු පසුබා ඇත්තේ ඇගේ කාමුක ගති ස්වභාවයන් පිළිබඳ ව සිය මිතුරන්ට ද කියා දෙමිනි.එහි ප්‍රතිඵලය වී ඇත්තේ පසුව ඇය එම ප්‍රදේශයේ විවිධ තරාතිරම් වල පිරිමින් ගේ පොදු අවධානයට ලක් වීමය.ඒ අනුව තමන් තවත් පිරිමින් සැළකිය යුතු සංඛ්‍යාවක් සමඟ මේ වන විට සම්බන්ධතා පවත්වා ඇතත් ඉන් ඇති වන සමාජමය අපකීර්තිය හෝ සෞඛ්‍යමය තර්ජන පිළිබඳ තැකීමක් සිතට නොපිවිසි බවත් එම කාන්තාව මා හමුවේ පිළිගත්තා ය.

මෙම කාන්තාව විසින් කරන ලද විස්තරය නිරීක්ෂණය කළ මම ඇ‍ය නාරි කාමෝන්මාදය[ Nymphomania ] නම් රෝගයෙන් පෙළන බව නිගමනය කළෙමි.මිනිස් සමාජයේ ජීවත් වන ස්ත්‍රී පුරුෂයන් තුළ කාමෝද්දීපනය වීම එක හා සමාන නැත.එය කායික, මානසික ,මොළයේ ජෛව රසායනික ආදී හේතූන් මත පදනම් වෙයි.

නමුදු මිනිස් මනැසේ ඇති ලජ්ජා බය ඇතුළු සභ්‍යත්ව ව්‍යුහයන් බිඳ දමමින් යම් පිරිමියකු හෝ කාන්තාවක අධිකව ලිංගික ක්‍රියා වෙත යොමු වේ නම් එම තත්වය අධි කාමුකත්වය[Hypersexuality ]ලෙස විස්තර කෙරේ.

ඉහත නමින් හැඳින්වෙනුයේ ඉන් කාන්තාවන් හට බලපාන තත්වයයි.මොළයේ හට ගනු ලබන හෝමෝන විෂමතා මෙම තත්වයට හේතු වන බව පොදු පිළිගැනීමය. “දැන් මගේ දුවව බඳින්න ඉන්නෙ එයාගෙ ඉස්කෝලෙ කාලෙ හිටපු හොඳම යාළු ගෑනු ළමයගෙ අයියා.එයාලා හොඳ සමාජ පිළිගැනීමක් වගේම හොඳට සල්ලි එහෙමත් තියන අය.

මේ යෝජනාව ආපු වෙලාවෙත් මම දුවට කිව්වෙ දුවගෙ තාත්තා ඉන්න ලෝකෙක ඉඳලා දුවට පිහිට වෙනවා ඇති කියලයි”එසේ කී එම කාන්තාව වේගවත් සුසුමක් හෙළා නිහඬ වන ලද්දේ සිය කතාවේ ඉතිරි කොටසට පිවිසෙමිනි.”…..ඒත් ඩොක්ට,පහුගිය දවසක මං ගැන නරක ආරංචියක් ඒ ළමයට දැන ගන්න ලැබිලා කියලා තියනවා ඔයාගෙ අම්මා අහවල් ජාතියෙ ගෑනියෙක්.

එහෙම ගෑනියෙකුගෙ දුවෙක් මගෙ ගෑනි කරගන්න ඕනෙ නැහැ කියලා.මං හිතන්නෙ ඩොක්ට ඒක කවුරු හරි ප්ලෑන් කරලම කරපු වැඩක්.මොකද? දැන් මාත් එක්ක ආස්සරේ කරන පිරිමි කෙනෙක් මාත් එක්ක ලොකු තරහකින් ඉන්නෙ මම වෙන පිරිමි එක්කත් යනවා කියලා.

සමහර විට ඒ මහුස්සයම මේ වැඩේ කළා ද දන්නෙ නැහැ.කොහොමත් ඒ කතාව දැන ගත්තට පස්සෙ මගෙ දුව හැසිරුණු විදිහේ කිසි වැරැද්දක් නැහැ ඩොක්ට`සීයට සීයක්ම වැරැද්ද මගේ” එම කාන්තාව එසේ සිය කතාව නිමා කළා ය.

අප සමාජයේ මෙවන් අධිකාමුකත්වයක් පළ කරන පිරිමින් සේම කාන්තාවෝ ද සිටිති.එසේම ඔවුන්ගෙන් බොහොමයක් නීති,සමාජ සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට ද යොමු වන බව පෙනේ.

විශේෂයෙන් ගණිකා වෘත්තියට පිවිසි කතුන් අතරේ යම් කොටසක් ද මෙවන් රෝග තත්වයන් මත ඊට යොමු වූවෝ වෙති.නමුත්, මෙම කාන්තාව එවැනි අවිචාරවත් ලිංගික දිවියකට යොමු වන අතරේ සිය දි‍යණිය මුල් කොට ගත් මානසික ගැටුමක් මුල් කොට එය තම වරදක් සේ සිතීමට පෙළඹී තිබේ.

නමුදු අවසන් වශයෙන් කිව හැක්කේ අප සමාජයේ වැඩි දෙනකු “නැහැදිච්ච කම්”ලෙස හංවඩු ගසන මෙම රෝග තත්වයන් ද ඖෂධ ඇතුළු වෙනයම් මනෝ චිකිත්සක ක්‍රම මඟින් සුවපත් කළ හැකි බව ය.

t

o

p