ධර්මපාලතුමා සහ ජේ.ආර්.

September 18, 2020

සැප්තැම්බර් 17 දින අනගාරික ධර්මපාල තුමාගේ සහ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ උපන් දිනය යෙදෙන දිනයයි. පසුගිය සියවසේ ශ්‍රී ලංකා ඉතිහාසයට මේ දෙදෙනාගේම දායකත්වය සුවිශාලය.

ධර්මපාල තුමාගේ දිනපොත ඇසුරෙන් විධිමත් ජීවිත විවරණයක් ආචාර්ය සරත් අමුණුගම විසින් සිදුකර ඇත. ජේ.ආර්.ගේ චරිතාපදානය ලියූ හාවඩ් හිඟින්ස් හා කේ.එම්.ඩී. සිල්වා එමගින් 20 වැනි සියවසේ ලාංකේය ප්‍රභූ දේශපාලනය මැනෙවින් විග්‍රහ කර ඇත.

ධර්මපාල තුමා එක්තරා අතකින් ඉංග්‍රීසි යුගයේ මේ රටේ බලවත් වූ ප්‍රභූ පන්තියේ සාමාජිකයෙකු වුවද ඔහුගේ සේවය හා නායකත්වය ලැබුණේ මාධ්‍යමික හා සාමාන්‍ය සිංහල ජනයාටය.

සිංහල භාෂාව හා සිංහල අධ්‍යාපනය, සිංහල සංස්කෘතිය හා බුද්ධ ශාසනය සංවිධානාත්මකව ඉදිරියට ගෙනයෑම සඳහා 19 වැනි සියවසේ අග භාගයේ හා 20 වැනි සියවසේ මුල් දශකයේ වැඩිම මෙහෙවරක් සිදුකළ තනි පුද්ගලයා අනගාරික ධර්මපාල තුමාය. ඒ නිසාම එතුමන්ට ඉංග්‍රීසි උගත්, පවුම් ඉපැයූ ප්‍රභූ ධනපතීන්ගේ ප්‍රහාරයට ලක්වීමට පවා සිදුවිය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිංහල ජනයා ලබාගත යුතු නවීනත්වය හා වෙළඳ දියුණුව පිළිබඳව ජපානය ආදර්ශයට ගනිමින් එතුමන් යෝජනා කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පන්තිය හා ප්‍රභූවරැ අසමත් වූහ. ඔහුගේ නිසග දේශපාලන අනුප්‍රාප්තිකයා වූ ඩී.බී. ජයතිලකට අත්වූයේද එම ඉරණමමය.

එනම්, ප්‍රභූවාදයේ සිරකරැවෙක්ව මිය යාමය. අද බොහෝ දැනුවත් සිංහලයින් ධර්මපාලතුමා සැමරුවද එතුමා ශ්‍රී ලංකාව හැර ගියේත්, භික්ෂුවක ලෙස අපවත් වූයේත්, හුදෙකලා වූ ලංකාව ගැන කලකිරුණු පුද්ගලයෙකු ලෙසය. ඔහුට එරෙහිව නැගුණු මූල්‍ය වංචා චෝදනා හා ව්‍යාජ නඩු ආදිය විසින් ඇතිකළ කම්පණය එතුමන් මිය යන තෙක්ම පැවති බව පෙනීයයි.

ජේ.ආර්. ජයවර්ධන වනාහී 20 වැනි සියවසේ ලංකාවේ බිහිවූ තමන් කරන්නේ කුමක්දැයි දත්, උගත්, උපායශීලී, නවීන රාජ්‍යතාන්ත්‍රිකයෙකි. එමෙන්ම ප්‍රායෝගික වාදියෙකි. නිදහසට පෙර එක්සත් ජාතික පක්ෂය බිහිවීමේදී හා එහි පළමු සමුළුවේදීම ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ රාජ්‍ය ආයතන මුල් කරගත් සංවර්ධනයක් හා නිදහස් සමාජයක් බවයි. එහිදී, ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරය සමග වුව නිදහස සඳහා අත්වැල් බැඳගත යුතු බව ඔහු යෝජනා කළේය. (1947)

පසුව ඔහුගේ න්‍යාය පත්‍රය සමාජවාදය නමින් ක්‍රියාත්මක කළේ ජාතිකවාදී බණ්ඩාරනායක මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. (1956-77)

ජේ.ආර්. ලංකාවේ ආර්ථිකය ප්‍රායෝගිකව විවෘත කළේය. ආනයන ආදේශක හා වැසුණු ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට, අපනයන අභිමුඛ (නිදහස් වෙළඳ කලාප) හා ලංකාව ඉන්දියානු සාගරයේ වාණිජ කේන්ද්‍රස්ථානයක් හා නාගරික කේන්ද්‍රස්ථානයක් කිරීමේ උපාය මාර්ගය ගෙන ආවේය.

බටහිර වෙළඳ පොල ඉලක්ක කර ගැනීම සඳහා ඔහු සිතින් ගතින් දෙකෙන්ම බටහිර මිනිසෙක් විය. (ඔහුගේ මේ ගුණාංග ගැන මාග්‍රට් තැචර් හා ජේ.එන්. ඩික්සිත් සිය ජීවන කෘතිවල අගය කර ඇත.

එයාර්ලංකා, වරාය අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය ආදී ජේ.ආර්. ඇතිකළ ආයතන බොහොමයක දල පිටපත තිබුණේ සිංගප්පූරුවේය. ජේ.ආර්.ගේ කටුනායක – බියගම දල පිටපත පසුව චීනයේ ෂෙන්ෂෙන් වැනි යෝධ නිදහස් නව-උත්පාදන කලාප වලට මං පෑදුවේය. (1979)

එක්සත් ජාතික පක්ෂය බිහිවූයේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ප්‍රභූ පන්තියේ පක්ෂය ලෙසය. ඩී.එස්. සිය ගොවි ජනපද ව්‍යාපාර (එයට ඔහුට ආභාෂය ඊශ්‍රායලයේ කිබුට්සු ගම්මාන වලින් ලැබිණි.) හරහා රට එතෙක් අමතක කර තිබූ වියළි කලාපය කරා ගියේය.

නමුත් එජාපයට වාමාංශිකයන් හා සිංහල – දෙමළ සංස්කෘතික ජාතිකවාදය වෙතින් එල්ල වූ ප්‍රහාරය මුහුණ දිය නොහැකි විය. කොතලාවල හා පොන්නම්බලම් පරදා බණ්ඩාරනායක හා චෙල්වනායගම් මතුවිය (1956).

එජාපය දේශපාලන වශයෙන් අතුගෑවී යන්නට තිබුණේ එදාය. එහෙත් ජේ.ආර්. එජාපය වෙනස් කළේය. ඔහු නිර්භයව ජාතික ඇදුම ඇන්දේය. ජාතිවාදී ලේබල් වලට බිය නොවී බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව පාරට බැස්සේය. රණසිංහ ප්‍රේමදාස වැනි පීඩිත ජනයාගේ නියෝජිතයන් පක්ෂයට ගත්තේය.

ලලිත්, ගාමිනී, රොනී වැනි වෘත්තීයවේදීන් මුලට ගත්තේය. (මේ සියළු දෙනා ඩඩ්ලි නිසා මතුවූවෝ වෙති.) කෙටියෙන්ම කිවහොත් ඔහු වාමාංශිකයන්ට පිළිතුරක් ලෙස නාගරික හා ග්‍රාමීය දුගියන්ද, ගැටුමට කැමති නැති කම්කරුවන්ද (ජාතික සේවක සංගමය) සංවිධානය කළේය. නැත්නම් එයට ඉඩ දුන්නේය.

1977 න් පසු ජේ.ආර්. රාජ්‍ය තන්ත්‍රය හා ආණ්ඩුව එකක් කළේය. ග්‍රාම සේවක හා සංවර්ධන නිලධාරී පත්වීම් පක්ෂයේ ප්‍රාදේශීය නායකයින්ට ලබාදීම මෙන්ම ජාතික සේවක සංගමය හරහා රාජ්‍ය ආයතන පාලනය කිරීම සිදුකළේය.

ඉන්පසු කලක් එස්.බී. දිසානායකද, පසුව බැසිල් රාජපක්ෂද සමෘද්ධිය හා ග්‍රාමීය සංවර්ධන කොන්ත්‍රාත් හරහා රජයේ අරමුදල්වලින් පක්ෂය ගොඩනැගීමට ආදර්ශය ගත්තේ ජේ.ආර්. ගෙනි. ඔහුට අත පොවන්නට බැරිවුණේ ශිෂ්‍ය ව්‍යාපාරය හා මතවාදී භික්ෂූන් වහන්සේ වෙත පමණි. ඔවුන්ගේ දැවැන්ත ප්‍රතිවිරෝධයට මුහුණ දීමට ඔහුට සිදුවිය.

ජේ.ආර්.ගේ දැවැන්ත ආර්ථික සමාජයීය පරිවර්තනය (1977-88) කෙලවර වූයේ දැවැන්ත කැරළි දෙකකින් හා දැවැන්ත සංස්කෘතික ප්‍රති ප්‍රහාරයකිනි.

ඩී.එස්. ගොවියන් අතරට ගියද, ජේ.ආර්. ආර්ථිකය පරිවර්තනය කළද, ප්‍රේමදාස නාගරික – ග්‍රාමීය දුගියන්ගේ වීරයා වුවද එජාපයට උගත් සිංහල සංස්කෘතිය ජය ගැනීමට නොහැකි විය.

උදාහරණයක් ලෙස ඔවුනගේ ගායක දෙපළ වූයේ ජෝතිපාල හා ලතා වල්පොලය. උගත් සිංහල මධ්‍යම පන්තිකයන්ගේ තේරීම වූයේ අමරදේව හා නන්දා මාලිනීය. අදටත් එජාප යාන්ත්‍රණයට උගත් සිංහල භික්ෂුව හා උගත් ජනයාගේ සංස්කෘතික වීරයින් හඳුනා ගැනීමට නොහැකි වී ඇත්තේ ඩී.එස්. හා ජේ.ආර්. දෙදෙනාම ආර්ථික ඌනිතවාදීන් වුණු නිසාය.

එජාපය රනිල් වික්‍රමසිංහ යටතේ ඩී.එස්., ඩඩ්ලි, ජේ.ආර්., ප්‍රේමදාස ගොඩනැගූ සියල්ල බිඳදමා ගත්තේය. එනයින් නොනැවතී එය මධ්‍යමික සිංහල ගමෙන් මෙන්ම නගරයෙන්ද ප්‍රතික්ෂේප විය. එක්සත් ජාතික පක්ෂය, එක්සත් සුළු ජාතික පක්ෂයක් වී (1994), පසුව දේශපාලන මළකඳක් විය (2020). රනිල් වික්‍රමසිංහද ආර්ථික ඌනිතවාදියෙක් විය.

ඔහු එජාපයට කළ වෙනස නම් ආර්ථිකයෙන් ලිබරල් දක්ෂිණාංශික ප්‍රතිපත්ති අනුගමනය කරන අතර දේශපාලන ප්‍රශ්ණවලදී වාමාංශික ලිබරල් මතවාද වලට ඉඩදීමය. මේ නිසා එජාපය ඉතා සුළු පිටස්තර වාමාංශික ලිබරල්වාදී කල්ලියක හා නාගරික හා ග්‍රාමීය දුගී හා සුළු ජන කොටස්වල පක්ෂයක් බවට පත්වී දේශපාලන මහා ප්‍රවාහයෙන් ඉවතට විසිවිය.

එජාපයේ ඉතිරිව ඇති ක්‍රියාකාරී සාමාජිකයන්ගේ පක්ෂය සමගි ජන බලවේගය යි, එහි අභියෝගය නම් රනිල් නැති එජාපයක් බවට පත් නොවී අඩුම තරමින් ජේ.ආර්. 1956 දී කළ ලෙස තම පසමිතුරු දේශපාලනය හඳුනා ගනිමින් ඒ අනුව වෙනස්වෙන ජනතාවට පිළිගත හැකි රට පාලනය කිරීමට සුදුසුකම් සහිත නවීන විපක්ෂයක් බවට පත්වීමයි.

පාඨලී චම්පික රණවක

t

o

p