“කුලියට කහින” හොර පරිසර සංවිධාන

September 17, 2020

  වත්මන් රජය යටතේ සිදුවන මහා වන සංහාරයට එරෙහි වන පරිසර සංවිධාන ඇතුළු ජනතා ක්‍රියාකාරිත්වයන් මැඩලීම පිණිස කුලී පදනම මත පුද්ගලයන් ඒකරාශී කර ගනිමින් ව්‍යාජ පරිසර සහ ජනතා සංවිධාන ජාලයක් ගොඩ නැඟීම කෙරෙහි ආණ්ඩු පක්ෂ දේශපාලඥයන් ගේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.

දැනට සිදුවන මහා පරිමාණයේ පරිසර සංහාර වලට පක්ෂව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට එම දේශපාලඥයන් විසින් කරන ලද ඉල්ලීම ඔවුන්ගේ අනුගාමිකයන් වැඩි දෙනෙකු ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ සඳහා මුදල් ගෙවා පුද්ගලයන් යෙදවීම කෙරෙහි  එම දේශපාලඥයන් ගේ අවධානය යොමු වී  තිබේ.

ඒ අතර එම ව්‍යාජ පරිසර සහ ජනතා සංවිධාන වල සාමාජිකයන් උදෙසා මුදල් ගෙවීම පිණිස ඔවුන් එම පරිසර සංහාර වලට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගේ  සහාය ඉල්ලා ඇති බව ද  වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය අගෝස්තු 29 වන දා සිංහරාජ ලෝක උරුම රක්ෂිතයේ ලංකාගමට කඩිමුඩියේ කැපෙන පාර පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ ඔහු ඉදිරියට පැමිණි ගම්වාසියකු වශයෙන් පෙනී සිටිමින්”පරිසර වේදීන් රටේ සංවර්ධනයට බාධාවක්” බව කියා සිටි සුමිත් චමින්ද නමැත්තා සිංහරාජයේ ප්‍රධාන වල්ල පට්ට ජාවාරම් කරුවකු බව පසුව හෙළි විය.

එහි දී ඔහු හා පැමිණි වල්ලපට්ට සැපයුම් කරුවන් සහ ඔහුගේ අනුගාමිකයන් ද පරිසරවේදීන් විසින් පහසුවෙන්ම හඳුනා ගන්නා ලද්දේ එම කණ්ඩායම පිළිබඳ ව පැවැති පූර්ව දැනුවත් කම ද උපයෝගී කර ගනිමිනි

අදහස් දැක් වූ දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ මෙසේ කීය.

“දැන් සොබා දහමත් ඉවසලා ඉවරයි වගේ. මොකද? මිනිස්සුන්ට දඬුවම් කරන්න පටන් අරගෙන.සොබා දහම මෙහෙම වින කරගෙන ගියොත් කොරෝනා ඇවිල්ලා අමෙරිකාවේ, චීනයේ මිය ගිය වගේ මුළු ලෝකෙම මිනිස්සුන්ට එකම දවසක් තුළ වුණත් මැරන්නත් සිද්ද වෙයි.

ඒ හින්දා මේ තණ්හාව නතර කරගෙන,ගහ කොළ,පරිසරය ආරක්ෂා කරගන්න.

කෑලෑ කපලා ලොරිවල පටවගෙන යනවා. ඒත් අල්ල ගන්නේ වාහනේ යන මනුස්සයව විතරයි. මේවා   කපන්නේ, සල්ලිවලට ගන්නේ  කවුද කියන කියලා හොයන්නෙ නෑ .

ඇත්තටම ආණ්ඩුව එහෙම කවුරු හරි අහුවුණාම අග ඉදන් මුලටම යන්න ඕන . එහෙම  නැතුව එක තැනක එක්කෙනෙක් අල්ල ගත්තට වැඩක් නෑ”

මෙම තත්වය යටතේ දේශපාලන,මුදල් සහ මැර යන තුන් ඈදුණු බලය මුල්කොට සැබෑ පරිසර සංවිධාන වල හඬ යටපත් කිරීම පිණිස කළ එළි බසින ගම්පස දිස්ත්‍රක්කයේ හොර පරිසර සංවිධාන ඒවා ආරම්භ කොට පවත්වා ගෙන යන්නවුන් සහ ඒවාට විවිධ අයුරින් සහාය දක්වන්නවුන් පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසු වන මෙන් පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

රේණුකා දමයන්ති

t

o

p