බල්ලට යන” “බල්ලට දමන” කතාවලටත් හොඳ අගයක්!

September 17, 2020

“ඡන්ද පොරොන්දු බල්ලට දාලා ඔය වැඩ පටන් අරන් තියෙන්නෙ.අනික දැන් රටේ නීතියත් බල්ලට ගිහින්නෙ තියෙන්නෙ”අප රටේ ශීඝ්‍රයෙන් හිස ඔසවන පාරිසරික සංහාර පිළිබඳව අදහස් දක්වමින් මගේ පරිසරවේදී මිතුරෙක් කීය.එහත්,මා දැන් සැරසෙනුයේ ඔහුගේ දේශපාලන මතය හෝ පාරිසරික විනාශය පිළිබඳ ව යමක් කීමට නොවේ.

ඔහු කී බල්ලට දැමීම සහ බල්ලට යාම පිළිබඳ විමසුමක් කිරීමටය.මක් නිසා
ද යත්  මෙම  බල්ලට දැමීම සහ බල්ලට යාම යන වදන අතීතයේ,වර්තමානයේ සේම අනාගතයේ ද නිතර භාවිතා වීමේ හැකියාවක් පෙන්නුම් කෙරෙන බැවිනි.

බල්ලා යන්න ,වෙනත් බසකින් ආ බවක් නොපෙනෙන සිංහල භාෂාවෙන්ම උපන් “නිෂ්පණ්ණ” ගණයට වැටෙන වදනක් බව භාෂා ශාස්ත්‍රඥ මතයයි.මෙහි ප්‍රකෘතිය වනුයේ’බලු” යන්නය.මෙය බල+උ= බලු ලෙසින් විවරණය කළ හැක.

මේ සම්බන්ධ මානව හා පුරාවිද්‍යාත්මක සාක්ෂි ද එමට තිබේ.සඟ සතු දේ පරිහරණය කරන්නවුන් බල්ලන් හා කපුටන්ව උපදින බවට අනුරාධපුර අග භාගයේ සිට ශිලා ලේඛන වල දක්නට ලැබීමෙන් මෙම “බලු වීමේ කතාව”ට අප රට තුළ වසර දහසකට ඉතිහාසයක් ඇති බව පෙනී යයි.

දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලිය,පසලොස් වන සියවසේ ලියැවුණු රුවන් මල් නිඝණ්ඩුව ආදී කෘතීන් වල පවා මෙම “බලු”  වදන සඳහන් වෙයි.ඒ අනුව මෙය අලුත් වදනක් නොවන බව පෙනෙයි.

සිංහල ජන වහරට අනුව බලු යන්න පහත්,එහෙ අධම බව හඟවන වදනකි.එහෙත්,මිනිස් හා සුනඛ ක්‍රියාකාරකම් තුළනාත්මකව සංසන්දනය කරන විට සුනඛයන් මිනිසුන්ට වඩා උතුම් ගති ලක්ෂණ පළ කළ අවස්ථා අතිවිශාල සංඛ්‍යාවක් මානව ඉතිහාසය තුළින් සොයා ගත හැක.

එහෙත්,මනුෂ්‍යත්වයේ පහත්,අධම බව පැවසීම පිණිස තවමත් මෙම
‘බලු’ව්‍යවහාරය යෙදෙයි.

කෙසේ හෝ මෙම කතාව සිංහලයට පමණක් සීමා වූවක් නොවේ. Go to the Dogs යන පිරුළක් ඉංග්‍රීසියේ ද ඇත.ප්‍රධාන ඉංග්‍රීසි ශබ්ද කෝෂ මඟින් එය විස්තර කෙරෙනුයේ”රටක් හෝ සංවිධානයක් අතීතයට සාපේක්ෂව බෙහෙවින් අඩු සාර්ථකත්වයක් පළ කිරීම” Go to the Dogs යනුවෙන් හැඟවෙන බවකි.

ඒ හැරුණු කොට යම් ව්‍යුහයක්,ආයතනයක්,සම්ප්‍රදායක්,පුරුෂාර්ථයක්,පුද්ගල හෝ සමාජ චර්යාවක් ශීඝ්‍ර පිරිහීමකට,අවනතියකට හෝ පසුබෑමකට ලක්වීම හැඳින්වීම පිණිස ද ජාත්‍යන්තර වශයෙන් මෙම පිරුළ යොදා ගැනෙයි.මෙම භාවිතය අනුව මෙම බල්ලට දැමීමේ සහ බල්ලට යාමේ පිරුළට අප සමාජය තුළ දිගු කාලීන පැවැත්මක් ඇතැ‍යි මට සිතේ.

මානව වංශ විද්‍යාවට අනුව මිනිසා විසින් දුරාතීතයේ සිට ඇසුරු කරන ලද
සමීපතම මිතුරා සුනඛයා ය.ඒ අනුව අනේක විධ සත්ව චර්යාවන් අතුරින් මිනිසාට මනා අවබෝධයක් ඇත්තේ සුනඛ චර්යාවන් පිළිබඳව බව ද නොරහසකි.එහෙත්,සුනඛයා මිනිසා තරම් උසස් නොවන බව ද පොදු පිළි ගැනීමකි.මිනිසුන් ඉවත ලන ඉඳුළින් යැපීම,මිනිසුන්ට සිතීමට වත් නොහැකි දේවල් ආහාරයට ගැනීම,ආදී කරුණු මෙම ජන ආකල්ප වලට හේතු වී තිබේ.

 බෞද්ධ සාහිත්‍යයේ අති මානේන කුක්කුරෝ[අධිමානයෙන් පෙළන්නා
සුනඛයෙක් යනුවෙන්  පැවසෙන කතාව ද මෙම”බලු වීම” හා සම්බන්ධය.බුදුන්
වහන්සේට විවිධ අකටයුතුකම් කළ තෝදෙයිය බ්‍රාහ්මණයා තුළ පැවැති මාන්නාධික බව හේතුවෙන් තම නිවසේ ම බල්ලෙකු වී උපන් බව ධම්මපදට්‌ඨ කථාවේ සඳහන් වේ.

නමුදු මෙම බල්ලට යාම සහ බල්ලට දැමීම සම්බන්ධයෙන් සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක දී පෙනී යන්නේ මෙය ශිෂ්ටත්වය ඉක්මවා අශිෂ්ටත්වය වෙත යාම මුල් කොට සමාජ ගත වූ පිරුළක් බවය.

වනචාරී දිවියක් ගත කළ ආදි මානවයා කෙමන් ශිෂ්ටත්වය කරා පි‍ය මැන පසුව ශිෂ්ටාචාර ගත විය.එහි දී මිනිසා කෙරෙන් දක්නට ලැබුණු ප්‍රධානතම  ශිෂ්ටාචාර ලක්ෂණය වූයේ විළි බිය කෙරෙහි දැක් වූ සංවේදිතාවයි.

නමුදු මෙම බල්ලට යාම සහ බල්ලට දැමීම සම්බන්ධයෙන් සමාජ මනෝ විද්‍යාත්මක විමසුමක දී පෙනී යන්නේ මෙය ශිෂ්ටත්වය ඉක්මවා අශිෂ්ටත්වය වෙත යාම මුල් කොට සමාජ ගත වූ පිරුළක් බවය.වනචාරී දිවියක් ගත කළ ආදි මානවයා කෙමන් ශිෂ්ටත්වය කරා පි‍ය මැන පසුව ශිෂ්ටාචාර ගත විය.එහි දී මිනිසා කෙරෙන් දක්නට ලැබුණු ප්‍රධානතම  ශිෂ්ටාචාර ලක්ෂණය වූයේ විළි බිය කෙරෙහි දැක් වූ සංවේදිතාවයි.

මානව පරිනාමයේ දී අතීත මානවයා සතුව තිබූ පටු නළල් තලය කෙමෙන්
පුළුල් වීමත් සමඟ ලජ්ජාව මුල් කොට ගත් ශිෂ්ටත්වය,සදාචාරය රඳවා තැබෙන මිනිස් මොළයේ ඉදිරිපස කොටස හෙවත් ලලාට පිණ්ඩිකය[Frontal lobe]  සංවර්ධනය සහ පරිණාමය වූ බවත් එය ශිෂ්ටාචාරය,සභ්‍යත්වය පදනම් කර ගත් මානව සංවර්ධනයේ ජෛවමය පදනම වූ  බවත්
මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී තිබේ.

නමුදු එම පරිනාමීය වාසනා ගුණය අනාදිමත් කාලයක සිට මිනිසාගේ සමීපතම කලණ මිතුරා වන සුනඛයාට ලැබී නැත.ඒ මිනිස් මොළය මෙන් සුනඛ මොළය පරිනාමීය සංවර්ධනයක් සිදු වී නොමැති බැවිනි.සුනඛයන්ට මිනිසුන්ට මෙන් පුළුල් නළල් තලයක්  හිමි නොවීමෙන් ඒ බව තහවුරු වනු ඇත.මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවන් සහ සුනඛ බුද්ධිමය හැකියාවන්
අතර සුවිසල් වෙනස් කම් තිබේ.

පොලිස් නිල සුනඛයකුට පොලිස්පති රාජකාරිය කළ නොහැකි  සේම පොලිස් පති වරයාට  නිල සුනඛ රාජකාරිය කළ නොහැකි වීමෙන් ඒ බව
සනාථ වෙයි.නමුදු අන් කවර බුද්ධිමය හැකියාවන් සහ කෘතවේදීත්වය ආදී බොහෝ මිනිසුන් තුළ නොමැති උතුම් ගුණධර්ම සුනඛයන් තුළ පැවතියද ලජ්ජාව පදනම් කොට ගත් ශිෂ්ටත්වයක් ඔවුන් තුළ නැත.”කච්චිය පිච්චියට ගියත් බල්ලා හෙළුවෙන්”‘
යන පිරුළට පදනම් ව ඇත්තේ ද එම ජීව විද්‍යාත්මක සාධකයයි.

මෙම තත්වය යටතේ මිනිසුන් විසින් ක්‍රමයෙන් ගොඩනඟා ගත් ශිෂ්ටාචාර ගත ලක්ෂණ මත පදනම් වූ නීතිය,යුක්තිය,සාධාරණත්වය,සදාචාරය වැනි මානව ධර්මතා  බිඳ හෙළීම සහ බිඳ වැටීම බල්ලට යාම සහ බල්ලට දැමීම වශයෙන් සැළකේ නම් එළඹ ඇති වත්මන් තත්වය යටතේ මෙම පිරුළු අදටත් වඩා උදාවන හෙට දිනයේ ව්‍යවහාර වීමේ පහසු ඉඩ කඩක් තිබේ.

තිලක් සේනාසිංහ

t

o

p