පැරණි පත්තිනි දේවාල ජලයට කිට්ටුවෙන් ඉදිවුණේ ඇයි?

September 16, 2020

ශ්‍රි ලංකාවේ සිංහල මෙන්ම ජනයා මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන
ප්‍රධානතම දේවතාවිය පත්තිනි දේවිය යි. ද්‍රවිඩ ජනයා විසින් කන්නකී
අම්මාන් නමින් හඳුන්වන පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව
පාරමිතාව පුරන්නියකි.

හින්දු සම්ප්‍රදායට අනුව පත්තිනි දේවිය පාර්වතියගේ අවතාරයයි..දේශීය ජනශ්‍රැතියට අනුව පතිභක්තිය පිළිබඳ පරමාදර්ශය ද වන පත්තිනිදේවිය ගෘහජීවිතයක යහ පැවැත්ම උදාකර දෙන ප්‍රමුඛතම දේවතාවිය ද
වන්නීය. එබැවින් පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයිම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි.මහනුවර යුගයේ ලියැවුණු “පත්තිනි හැල්ල”ගැන නොදත් සිංහලයකු නොමැති තරම්ය .

ක්‍රි.පූ වන සියවසේ ඉන්දියාවේ ලියැවුණු”සිලප්පදිකාරම්” [සළඹේ පුවත]නම්
දෙමළ කාව්‍ය ග්‍රන්ථයට අනුව දකුණු ඉන්දියාවේ පත්තිනි දේවාලයක උළෙලකට අප රටේ රජ කළ ගජබා රජු[ක්‍රි.ව113-135] සහභාගි වී තිබේ.ඔහු ආපසු පැමිණෙන අවස්‌ථාවේ පත්තිනි දේවියගේ සළඹ සමග පත්තිනි ඇදහිල්ල හා සම්බන්ධ දෙමළ කාව්‍ය ග්‍රන්ථ රැගෙන ආ බව ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

නමුත් අපගේ ප්‍රධාන ඓතිහාසික මූලාශ්‍රය වන මහා වංශයේ වත් නොමැති මෙම පුවත 18 වන සියවසේ රචිත “ගජබා පුවත” ග්‍රන්ථයෙහි අඩංගු වේ. . එහෙත් ගජබා යුගයට අයත් කාව්‍ය ග්‍රන්ථ කිසිවක්‌ හමුවී නොමැති පසුබිමක 18 වන සියවසේ රචිත ග්‍රන්ථයක සඳහන් වූ පමණින් එවැනි අතීත පුවතක්‌ විශ්වාස කිරීම ද අසීරුය.

කෙසේ හෝ අප රටේ පත්තිනි ඇදහීම ව්‍යාප්ත වී ඇත්තේ කෝට්ටේ යුගයේදී[ක්‍රි:ව1412-1597 ] බව ඒ පිළිබඳව හැදෑරිම් කළ මහාචාර්ය ගණනාථ ඔබේසේකර ඇතුළු විද්වතුන්ගේ මතය වී තිබේ.

කෝට්ටේ යුගයේ දී පත්තිනි ඇදහීම ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව අතරේ ව්‍යාප්ත වන ලද්දේ කෙසේ දැයි අප විමසා බැලිය යුතුය. නමුදු ඒ බුදු දහම අප රටට පැමිණි ආකාරය වංශ කතා සාහිත්‍යයෙන් පැවසෙන්නාක් මෙන්
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නොවේ.ඉන්දියානු සංක්‍රමණිකයන් වෙතින් මෙරට
සාමාන්‍ය අතරේ පැතිර යාමෙනි.

පසුව එළඹි මහනුවර යුගයේ දී රාජ්‍යත්වය සමඟ සම්බන්ධ වූ මෙම පත්තිනි ඇදහීම මුලින්ම මෙරට පතුරුවා ලීමේ “ගෞරවය”ආඬින් සහ සන්නාසින් ලෙසින් මෙරට දී හඳුන්වනු ලැබූ දකුණු ඉන්දියාවෙන් පැමිණි ගිහි පූජකයන්ට හිමි වෙයි.

නවගමුව පත්තිනි දේවාලයේ ආරම්භක පූජක පදවිය හෙබවූ නීල පෙරුමාල් ද කෝට්ටේ යුගයේ මෙරට විසූ දකුණු ඉන්දියානු පණ්ඩාරම් වංශික පූජකයෙකි. පණ්ඩාරම් සහ බණ්ඩාර යන වචන දෙකද එක හා සමාන වචන දෙකකි. ද්‍රවිඩ භාෂාවන් හි “බ” ශබ්දය වෙනුවට, ප ශබ්දය වර නැඟීම නිසා පණ්ඩාරම් යන්න සිංහලයෙන් බණ්ඩාර වූ බව පෙනෙයි.

මෙසේ දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ ගිහි පූජකයන් ප්‍රධාන
වශයෙන් දකුණු ඉන්දියාවේ කේරලය නිජ බිම කොට ගත් පිරිසක් බව පෙනේ.මලයාලම් බස කතා කළ ඔව්හු යන්ත්‍ර ,මන්ත්‍ර, ගුරුකම් ආදියෙන් මෙහිදී ජීවනෝපාය සළසා ගත් අතර ඔවුන්ගෙන් සමහරකු සන්‍යාසි වේෂයෙන් පැමිණි බව ද පෙනෙයි.

ගමක් ගාණේ යමින් ගෘහමය ශාන්ති කර්ම කිරීමෙන් ජීවනෝපාය සළසා ගත් මොවුන් අප රට තුළ දී ඔරු,පාරු වැනි ජලජ යාත්‍රා වලින් ගමන් කිරීමටත්,ජලය හා සම්බන්ධ පූජා චාරිත්‍ර වලටත් නැඹුරු වූ බවක් ද පෙනෙයි.එමෙන්ම ඔවුන්ගේ අත්වල නිතර පැන් කෙණ්ඩියක් දක්නට තිබූ බව ද පැවසෙයි.ඔවුන් ගේ නිජ බිම වන කේරලය ජලජ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් නම් දරා තිබීම ද මීට හේතු වන්නට ඇත.

මේ අතර තෙලිඟු බස කතා කළ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි සංක්‍රමණිකයන් ද මේ අතර සිටි අතර ඔවුන් කතා කළ තෙලිඟු බස අප රටේ ජනයාට කිසිදු අයුරකින් නොවැටහීම මත ඔවුහු ඊට අණ්ඩර දෙමළ යැයි කීහ.අදටත් නොවැටහෙන යමක් පිළිබඳව කීමේ දී”අණ්ඩර දෙමළ වගේ”යන පිර්‍රුළ යෙදෙනුයේ ඒ අනුවය.මෙහි අණ්ඩර යන්න ආන්ද්‍රා යන්නෙහි දේශීය උච්චාරණ ස්වරූපයක් විය යුතුය.

අප රටේ පැරණි පත්තිනි දේවාල බොහොමයක් ගංගාවන් ආශ්‍රිතව තිබීමෙන් අතීතයේ මේවා එම ඉන්දීය පූජකයන් ගේ පාලනය යටතේ තිබූ බව සනාථ වෙයි.මේ සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණයට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයන් ද ඒ සඳහා නිදසුන් සපයා ගත හැකි විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරට වන්නට පිහිටි මදුරුපිටිය,කෙටේවත්ත
පුරාණ පත්තිනි දේවාලය පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ද ලියාපදිංචි කොට
තිබේ.එය බස්නාහිර සහ වයඹ මායිමේ පිහිටි මා ඔය සමීපයේ පිහිටා ඇත.

වේයන්ගොඩ මොට්ටුන්නේ පිහිටා ඇති පුරාණ පත්තිනි දේවාලය වේයන්ගොඩ නගර මධ්‍යයෙන් ද ගලනා දීඇල්ලේ ඔය අසබඩ පිහිටා තිබේ.ගම්පහ නගරයට තරමක් නොදුරින් පිහිටි නුගේ දේවාලය නමින් හැඳින්වෙන පුරාණ පත්තිනි දේවාලය ද ඌරුවල් ඔය සමීපයේ
පිහිටා ඇත.

අතීතයේ බහුල ලෙස ඔරු-පාරු ගමන් කළ ඌරුවල් ඔයේ තිබූ පැරණි
තොටුපළක් මුල් කොට ඒ ආසන්නත්ම ගමට ඔරුතොට නම ද ඒ ආශ්‍රිතව තිබූ රැකවල් පළක් හෙවත් “මුර ගොඩැල්ලක්” මුල් කොට එම දෙවොල පිහිටි ගමට මුරගොඩ යන නම පටබැඳී පසුව එය මොරගොඩ ලෙස ව්‍යවහාර වූ බව කියනු ලැබේ.

ඉහත සඳහන් පසුබිම යටතේ අප රටට පත්තිනි ඇදහීම හඳුන්වා දුන් එම දකුණු ඉන්දීය පූජකයන්ට කුමක් වූයේ ද යන්න ද අප විමසා බැලිය යුතුය.පසුව අප සමාජයේ සාමාන්‍ය ජනතාව අතුරින් ඉහළට මතු වූ ඔවුහු සීතාවක,මහනුවර ආදී යුගවල දී මෙරට රාජ්‍ය පාලනයට පවා එක් වූ බවට ඓතිහාසික සාක්ෂි තිබේ.

ආඬින් නමින් හඳුන්වනු ලැබූ මෙම දකුණු ඉන්දීය ජන කොටස ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉහළම ස්ථානයකට පිවිසෙනුයේ සීතාවක රාජසිංහ (ක්‍රි.ව. 1581-1593) සමයේදීය. එහිදී රජතුමන්ගේ ප්‍රධානතම ආධ්‍යාත්මික සේම යුද උපදේශකයා ද වූ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් එවක පවා වඩාත් ප්‍රචලිත වූයේද ‘ආඬිගුරු’යනුවෙනි.

දාහත් වන සියවසේ ලියැවුණු රාජාවලියේ සඳහන් අන්දමට සොළී රටින් පැමිණියකු වන ඔහුට රජතුමා මාන්නප්පෙරුම මොහොට්ටාල යන කුලවන්නම ලබාදී තිබේ.අතීතයේ ‘සොළී රට’ යනුවෙන් හැඳින්වුණු දේශ සීමාවට වත්මන් ආන්ද්‍රා ප්‍රදේශය ඇතුළත්ව තිබීම නිසා ඔහු සොලී රටින් ආ බව පැවසෙන රාජාවලි ප්‍රකාශය අසත්‍යයක් සේ නොහැඟේ.

ඒ කෙසේ හෝ සීතාවක රාජසිංහයන්ගේ මරණයෙන් පසු අරිට්ඨ කී වෙණ්ඩු
සීතාවක රාජ්‍යය අත්පත් කර ගැනීමට දැක්වූ ප්‍රබල වෑයම සහ එය ව්‍යර්ථ වූ
පසු එවක කොළඹ කොටුව පාලනය කළ පෘතුගීසීන් වෙතට පලා ගොස් ඔවුන්ගෙන් ගරු නම්බු තාන්න මාන්න හිමිකර ගත් බව ඉතිහාසයේ සඳහන්ය.

මෙම ඉන්දීය පූජක පරපුරට අයත් විල්බාවේ ගණින්නාන්සේ
නමින් ප්‍රකටව සිටි ආඬි යකැදුරකු විසින් එවකට රාජ්‍යය අත්පත් කර ගැනීම පිණිස ප්‍රබල කුමන්ත්‍රණයක් දියත් කළ බවක් දහසය වන සියවසේ දී ලියවැණු ‘ආඬි මාලය’ නම් පද්‍ය සංග්‍රහයෙහි ඇතුළත්ය.

නමුදු එම පරපුරෙන් පැවත එන පිරීස් අද වන විට සිංහල ජන සමාජයට අවශෝෂණය වී හිඳින අතරේ ඔවුන් සමහරකුගේ ගේ අතීත පෙරුමාල් නාමය අද වන විට”පෙරුම”වශයෙන් සිංහලයට හැරී තිබේ.

ඒ කෙසේ හෝ ඌරුවල් ඔය ඉවුරේ පිහිටි ගණේමුල්ල තිබ්බටුගොඩ සහ හොරගොල්ල යන ගම්මානවල වෙසෙන අදටත් ආඬිගේ වශයෙන් ව්‍යවහාර වන සහ සන්‍යාසිගේ,සේනාසිගේ,සේනාසිංහගේ ආදී වශයෙන් පරිණාමය වූ පෙළපත් නම් සහිත ජනතාව මෙම ඉන්දීය පූජකවරුන් ගෙන් පැවත එන බව පහසුවෙන් හඳුනාගත හැකිය.

අතීතයේ මෙම ඉන්දීය පූජකයන් මෙම ප්‍රදේශය හරහා ගලා බසින ඌරුවල්ඔය ඔස්සේ පාරු මගින් පැමිණ පුද පූජා පැවැත්වූ භූමිය අදටත් ‘පත්තිනි පිටිය’ යන
නමින් හැඳින්වෙයි. ඔවුන් පුද පූජා පැවැත්වූ එම පැරණි පත්තිනි දෙවොල අදටත් දක්නට ලැබේ.

එහෙත්,තිබ්බටුගොඩ ග්‍රාමයේ කෙළවරක පිහිටි එය ඉංග්‍රීසි යුගයේදී ඊට යාබද කුඩාබොල්ලත නම් ගම්මානයට එක්ව තිබේ. එමෙන්ම ‘ශුද්ධ ජලය’
යන සංකල්පය පදනම් කරගෙන ඔවුන් දිය සෙම්බු ආදියෙන් පූජා චාරිත්‍ර පැවැත්වූ තවත් ස්ථානයක් හොරගොල්ල ග්‍රාමයේ ඇති අතර එය මේ වන විට හැඳින්වෙනුයේ සෙම්බුදෙණිය නමින් බිඳීගත් සෙම්බදෙණිය යන නමිනි.

තිබ්බටුගොඩ යන ග්‍රාම නාමය පිළිබඳව විමසීමේ දී බැලූ බැල්මට පෙනී යන්නේ
තිබ්බටු නම් බෝග වර්ගය බහුල නිසා ඊට ඒ නම ලැබී ඇති බවය. එහෙත් ඉහත සඳහන් ගම්මානය සම්බන්ධ සමස්ථ සංසිද්ධීන් තුලනාත්මකව විමසීමේ දී එම තිබ්බටුගොඩ ග්‍රාම නාමය තුළින් ඊට වඩා ප්‍රබල අරුතක් මතු කර ගත හැක.

එනම් පූජකයන් හෙවත් තීර්ථකයන් ගොඩ බසින ලද ගොඩැල්ල හෙවත් තිත් + බට + ගොඩ පසුව තිබ්බටුගොඩ යනුවෙන් ව්‍යවහාරයට පත්ව ඇති බවය.නමුදු ඔවුන් සතුව පැවැති එම පූජා චාරිත්‍ර සහ මන්ත්‍ර ගුරුකම් හැකියාව අද වන විට මුළුමනින් අභාවයට ගොසිනි.

තිලක් සේනාසිංහ

t

o

p