ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු මායිම ඔස්සේ ගලා බසින මා ඔය ආශ්‍රිතව මහා
පරිමාණයෙන් සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සමඟම සිදුවන ලිංගික
ජාවාරමක් පිළිබඳ ව ද ලංකා ඊ නිවුස් වෙත තොරතුරු වාර්තා වෙයි.මේ පිළිබඳව මුල් වරට කරුණු අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජ විද්‍යා සිසුන් පිරිසක් විසින් කරන ලද මූලික කරුණු විමසීමක දීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම,දිවුලපිටිය,කටාන,මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මායිමෙන් ගලා බසිනා මාඔය අසබඩ පිහිටි කොටදෙණියාව,මැල්ලවගෙදර,බඩල්ගම,ගොඩිගමුව,බෝලගල ඇතුළු ප්‍රදේශ කිහිපයක් මුල් කොට සිදු කරනු ලැබූ මූලික විමර්ශන වලදී හෙළි වි ඇත්තේ එම නීති විරෝධී වැලි ජාවාරම් වලට සම්බන්ධ බලවතුන් එම කටයුතු සඳහා කම්කරුවන් ලෙස යොදා ගනු ලබන පුද්ගලයන්ගේ පවුල් වල කාන්තාවන් ,තරුණියන් සේම කුඩා දැරියන් ද මෙලෙස දූෂණයට හෝ අපයෝජනයට ලක් කරන බවයි.
“මේක ඉතාම අහඹු විදිහට අනාවරණය වුණු සිද්ධි දාමයක්.නමුත් තොරතුරක් විදිහට තවම මේක තියෙන්නේ මූලික අදියරේ. ඒ කියන්නේ මේක මේ ප්‍රදේශයට විතරක් සීමා වුණු තත්වයක් ද එහෙම නැතුව මා ඔය දෙපැත්තේ අනික් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත වුණු තත්වයක් ද එහෙමත් නැතුව මේ වගේ නීති විරෝධී වැලි ජාවාරම් එක්ක සම්බන්ධ වුණු පොදු තත්වයක් ද යන්නත් තවම නිශ්චිත නැහැ” මේ සම්බන්ධයෙන් අප හා කරුණු අනාවරණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මානව විද්‍යා අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා කීය.
එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලිංගික සූරාකෑම යනු සමාජ ආර්ථික ස්ථාවර සහ අස්ථායී භාවයන් මත පදනම් ව ලොව පුරා අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන තත්වයක් වුව ද එය සාමාජ ආර්ථික සාධක මත ආකෘතිකරණයකට ලක් වීම සමාජ විද්‍යාත්මකව විමසා බැලිය යුත්තක් බවය.
ඒ අනුව තම දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් නීති විරෝධී ලෙස මහා පරිමාණයේ වැලි ජාවාරම් කරන්නවුන් එම ප්‍රදේශ වල ජීවත් වන දුගී බවින් පීඩිතවූවන් එම කටයුතු සම්බන්ධ කම්කරුවන් ලෙසත් ඔවුන්ගේ පවුල් වල කාන්තාවන් මුදල් හෝ මැර බලය පදනම් කරගනිමින්
ලිංගික වහලියන් ලෙස යොදාගන්නා බවත් මෙම විමසුමේ දී මූලිකව අනාවරණය වී තිබේ
වැලි ගොඩ දැමීම මේ ප්‍රදේශවල ජීවත් වන දිළිඳු අහිංසක ජනතාවට අතිශය හුරු පුරුදු රැකියාවකි. ඔවුන් පාරම්පරිකව රැකුණේ දිය යට කිමිදී වැලි ගොඩ
දැමීමෙනි.
නමුත් දීර්ඝ කාලීනව වැලි ගොඩ දැමීම නිසා මොව්හු ශරීර සෞඛ්‍යයෙන් පිරිහී සිටිති. දිනකට සිය වතාවකටත් වඩා ජලයේ කිමිදීම නිසා ඔවුන් අතර ශ්‍රවණාබාධ සහ චර්ම රෝග ද බහුල ය. එහෙත්, තව දුරටත් ඔවුනට එම වෘත්තියේ යෙදිය නොහැකි වී ඇත. ඒ අදවන විට එම අහිංසක වෘත්තිය මහා පරිමාණයේ ජාවාරමක් බවට පත්ව එය ප්‍රදේශයේ දේශපාලනඥයන් අතර හා දේශපාලන හිතවතුන් අතට පත් ව තිබීම නිසාය.
ඒ අනුව අද එම අසරණයන් ජනතාවට සිදුව ඇත්තේ එම බලවතුන්ගේ වහලුන් බවට පත් වීමටය. ඔවුන්ගේ අඹු දරුවන් මිල මුදලට හෝ මැර බලයට යටත් ව එම බලවතුන් ගේත් ඔවුන්ගේ යාළු මිත්‍රාදීන්ගේත් කාමාහ්නිය නිවන ලිංගික මෙවලම් බවට පත් වන්නේ එම ක්‍රියාවලියේම දිගුවක් ලෙසිනි.
මේ සම්බන්ධයෙන් මූලික විමසුම් කළ එම ශිෂ්‍ය කණ්ඩායම නිගමනය කොට ඇත්තේ මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් හෝ පොලිස් වාර්තා මට්ටමින් තොරතුරු අධ්‍යයනය කළ නොහැකි බවය.”එහෙම කරන්නේ කොහොමද දේශපාලනයයි,සල්ලි බලයයි, මැර බලයයි එකතු වෙලා නීතියයි,සිවිල් පරිපාලනයයි යට ගහලා තියන කොට,ඇයි මතක නැද්ද රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා දිවුලපිටියේ අකරගම මහා පරිමාණයේ පස් කැපීමක් ගැන ඒ පස් කපන තැනටම ගිහින් ටෙලිෆෝන් එකෙන් හිටපු ප්‍රාදේශීය ලේකම් නෝනාගෙන් අහපු වෙලාවේ ඒ නෝනා දීපු උත්තරේ?.එහෙම දෙයක් තියනවා නම් ලිඛිතව ඉදිරිපත් කරන්න කියලනේ එතුමිය කිව්වේ.
එතකොටනේ රන්ජන් මන්ත්‍රී තුමා ඇහුවේ කවුරු හරි ඇවිත් ඔබ තුමියගෙ
හොම්බට ඇන්නත් ඔබතුමිය ඒකත් ලිඛිතව ඉල්ලනවද කියලා,අන්තිමට මොකද වුණේ එතුමියට උසස් වීමක් ලැබුණා,රන්ජන් මන්ත්‍රී තුමාව දිවුලපිටිය ආසන සංවිධායක කමෙනුත් ඇදලා දැම්මා එහෙම තමයි මෙහේ වැඩ සිද්ධ වෙන්නේ” අප හා එසේ කියා සිටියේ දිවුලපිටිය පාදේශීය සභා මන්ත්‍රී[ජවිපෙ]ඩයස් සමරක්කොඩි මහතාය.
එමෙන්ම ඔහු වැඩි දුරටත් කියා සිටියේ පොහොට්ටු, අලි,ටෙලිෆෝන් ආදී වශයෙන් සමාජය ඉදිරියේ කටයුතු කළ ද ඔවුන් බොහෝ දෙනා පෞද්ගලික මට්ටමින් කන,බොන හා තවත් දේවල් එකට කරන ගජ මිතුරන් බවය.එමෙන්ම ඒ අතර විවිධ ව්‍යාපාර සඳහා සමූහ ආයෝජන කරන්නවුන් ද ඔවුන් අතර සිටින බව කී සමරක්කොඩි මහතා ඒ ව්‍යාපාර අතරේ ගණිකා නිවාස ආදිය ද ඇති බවට තොරතුරු ඇතැයි කීය.”ඉස්සර මේ ගම්වල
දුටු ගැමුණු කතාව පෙන්නන ටීටර් තියනවා.
ඒවයේ දී වේදිකාව උඩ දුටු ගැමුණු එලාර යුද්දෙ යනකොට මිනිස්සු කටවලුත් ඇරගෙන බලාගෙන ඉන්නවා.අන්තිමේ ගැමුණු කුමාරයා එලාර රජ්ජුරුවන්ව මරන කොට බලාගෙන ඉන්න අය සන්තෝසෙට කෑගහලා ගිරිය
කඩාගන්න හදනවා;ඒත් ටික වෙලාවකින් කවුරු හරි ස්ටේජ් එක යටට එබිකම් කළොත් තමයි පේන්නේ ,දෙන්නා මාරුවෙන් මාරුවට එකම අඬු කෝප්පෙන් ගල් බෝතලයක් හිස් කරන බව.අන්න ඒ වගේ තමයි මෙහේ දේශපාලනෙත්’ඔහු වැඩිදුරටත් කීය.
මීට වසර කිහිපයකට ඉහත “පස් පාතාලය” යන නම සමාජ ගත වන ලද්දේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි.එම පාතාලය පස් යනුවෙන් හැඳින්වෙනුයේ වැලි, බොරළු, පස් සහ මැටි යන පාංශු කොටස් මුල් කරගනිමිනි.කෙසේ හෝ ගම්පහ දිසාවේ පස් පාතාලය මුල් කොට මේ වන විට සිදු වී ඇති මිනී මැරුම් සංඛ්‍යාව පනස් තුනකි.
ඒ අනුව මා ඔය අසබඩ වැලි කොල්ලය සමඟ සිදුවන ලිංගික කොල්ලය මුල් කොට ස්ථානීය ගවේෂණයක් කිරීමට සරසවි සිසුන් යොමු කරවීමට පෙර සරසවි ඇදුරන් ඒ පිළිබඳ ව වෙසෙසින් සිතා බැලිය යුතුය.එහෙත්,ඕනෑම නරකාදියකට බැස එතුළින් සමාජයට ඵලදායක යමක් රැගෙන මතුවීමේ කලාව දත් හැකි බොහීමියානු කුලයේ මාධ්‍ය කාරයකුට නම් එය ද එතරම් අසීරුවක් නොවනු ඇත.
තිලක් සේනාසිංහ