දෙවියන් උදෙසා ලිංගික පුද කෙළි!

September 10, 2020

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු මාතෘකාවක් බව පොදු
පිළිගැනීම ය.නමුදු යමකු තුළ කෝපය,ද්වේෂය වැනි අයහපත් ආවේග ඉස්මතු වන විට ලිංගිකත්වය මුල් කරගත් වදන් ඉබේම කියැවෙයි.ඒවා අතරේ ස්ත්‍රී,පුරුෂ ලිංගේන්ද්‍රියන් සඳහා යෙදෙන නම් ප්‍රමුඛ වෙයි.

ඊට හේතුව එවැනි ප්‍රසිද්ධියේ කිව නොහැකි ලිංගික කරුණු ‍යමකු හෝ යම් පිරිසක් එල්ල කොට පැවසීමෙන් ඔවුන් නින්දා අවමානයකට පත් කළ හැකි බවට පවත්නා ජන විශ්වාසයයි.නමුදු සුඛාස්වාදනය සහ ප්‍රජනන කටයුතු මුල් කොට ලිංගිකත්වය ක්‍රියාවේ යෙදවීමට අමතරව ආධ්‍යාත්මික භාවිතය සඳහා ද එය යොදා ගැනෙයි.

පුරාණ ඉන්දියාවේ මොහොන්දෝජාරෝ – හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවැති ස්ත්‍රී යෝනි වන්දනය සේම අදත් හින්දු ශිව ආගමේ ප්‍රධාන අභිචාර විධියක් වන පුරුෂ ලිංග වන්දනය ඒ සඳහා වන සරළ නිදසුන් දෙකකි.

දේශීය ජන සංස්කෘතිය තුළ මෙවැනි ලිංග වන්දනයක් නැත.නමුදු ඊට වඩා බහුරූපී සහ සංකීර්ණ බවක් පළ කරන ලිංගිකත්වය සංකේතනය කෙරෙන අංග රැසක් අප රටේ පැරණි ජන අභිචාරවල සහ ජන ක්‍රීඩාවල දැකිය හැකිය. ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය අපේක්ෂාවෙන් කරනු ලබන පූජා චාරිත්‍ර සහ ජන ක්‍රීඩාවල මෙම ලිංගික සංකේත නිරූපණය දැකිය හැක.

විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනසංස්කෘතියට අයත් ජන ආගම (Folk Religion) සහ ජන ක්‍රීඩා (Folk Play) මගින් ද ලිංගිකත්වය පිළිබඳ සංකේතාර්ථ මනාව එළිදැක්වෙයි.ඒ අනුව වත්මන් සමාජය තුළ වර්තමානයේ සංවාදයට ලක් වන “සභ්‍ය අසභ්‍ය වාදය” පිළිබඳව අතීත ගැමියා එතරම් සැළකිලිමත් වූ බවක්
නොපෙනේ.

දැන් අපි දේශීය ජන විඥානයේ ලිංගිකත්වය ආධ්‍යාත්මික පක්ෂය හා මුසුවන
අවස්ථා විමසා බලමු.සවිමත් දැව කඳක් පාමුල ‍පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ අංග ජාතයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනයේ වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය.

එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ නිරීක්ෂණය අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්වය ප්‍රකට කෙරෙන සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදු කෙරෙන දිය කපන මංගල්‍යයේදී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම දේව ඇදහීම මුල්කොට ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් සංකේතනය කෙරන බවට
සාධාරණ ලෙස අනුමාන කළ හැක.

වර්ෂාව,කෘෂිකර්මය,අස්වැන්න,ලිංගික ප්‍රබෝදය,දරුඵල ආදී මේ සියල්ල
සෞභාග්‍යයේ සංකේත ලෙස පැරණි භාරතීය සංස්කෘතියේ සඳහන් වෙයි.ලෝක ප්‍රකට භාරතීය වීර කාව්‍යයක් වන රාමායනයේ කතා නායිකා සීතා බිහි වනුයේ සීසෑමක ප්‍රතිඵලයක් ලෙසිනි.

අප ජන සංස්කෘතියට අනුව ද ලිංගික සම්භෝගයෙන් දරු පල සේම ලිංගික අභිචාර මඟින් වර්ෂාව, සශ්‍රීකත්වය ලැබීමටත් වසංගත රෝග ආදියෙන් අත්මිදීමටත් පුළුවන.එවන් ජන ක්‍රීඩාවක් වන අංකෙළිය හෙවත් අං ඇදීම ද ලිංගික සංකේත රැසක් සහිත කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහනයක් නොමැති ඉසව්වකදී සිදුකෙරුණු අභිචාරාත්මක ජන ක්‍රීඩාවකි.

පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව පතා සිදු කරනු ලැබූ මෙම අභිචාරාත්මක ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි.

“අංකෙළි උපත” නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවදියේදී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමඟ පඩි රජුගේ සපුමල් නෙලන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එම පුවතට අනුව විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේය.

පත්තිනිය ගස යට සිටියාය. අවසානයේ මෙම සපුමල් කැඩීමේදී ඔවුන් දෙදෙනාගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවාය.

මෙම “කෙකි පටලවා ගැනීම” ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝගයක් පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. එම සිද්ධිය මුල් කොට ගනිමින් කාන්තාවන්ට රහසින් අප්‍රකටව පිරිමින් විසින් පමණක් සිදු කරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලහාලවලින් අවසන් වූ බවක් කොටගම වාචිස්සර හිමියන්
විසින් රචිත ‘සරණංකර සංඝරාජ සමය’ කෘතියෙහි සඳහන් වෙයි.

දහහත්වන සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ ද මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බවය.

පත්තිනි දේවිය හමුවේ තම ලිංගික ශක්තිය සංකේතාත්මක ලෙස මුදාහළ පිරිමි තමන්ට අව්‍යශ්‍ය වෙර වීරිය සහ එමඟින් තම දිවි පෙවෙතට අවශ්‍ය සතුට,සැනසීම,සෞභාග්‍යය අයැද සිටි බව පෙනේ.

මෙය හුදෙක් විනෝදාස්වාදය ලැබිමට වඩා ගමට, රටට, සෙත ශාන්තිය පතා කරනු ලබන ජන ක්‍රීඩාවකි. එහෙත් රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.

“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත්
ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වකදීය.

මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.වැලමිටි හැඩයෙන් යුතු කරු
(හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකි`නෙක අමුණා පිරිස
දෙපිලට බෙදී ඉන් එකක් කැඩී යනතුරු අදිති.

මුදල් ඔට්ටුවක් නොමැති වුවද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල්ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්ලේච්ඡ තිරිසන් වෙසින් හැසිරෙන්නා තරඟයේ වීරයා බවටද පත්වෙයි.

මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අධිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.”
දහහත් වන සියවසේ අවසාන භාගයේ පැවැති මෙම තත්වය විසි වන සියවසේ දීද එලෙසින්ම දක්නට ලැබුණු බව සනාථ කරන හිඳෝගම පදිංචි විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමානන්ද කටුගම්පොළ මහතා පවසනුයේ මෙම ක්‍රීඩාවෙන් දිනූ කණ්ඩායම පරාජිතයන් හට තම සිරුරු වල පශ්චාත් භාග දිගු කොට අපහාස කිරීමක් තමන් කුඩා කාලයේ ද තිබූ බවය.

අපගේ ජන ආගම් සහ අභිචාර සම්බන්ධ ලිංගික සංකේත භාවිතය මින්
අවසන් නොවේ. වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවියේ දැඩි නියං සමයන්හි වැසි පතා කරනු ලබන ‘වැහි බලි යාගය’ නම් යාතු කර්මයේදී වැව් පිටියක නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකක් අඹා එම පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදා හැරීම මෙබඳු ලිංගික අභිචාර ක්‍රමවලින් එකක් පමණි.මෙය ද අද ද ඉතා කලාතුරකින් සිදුකෙරෙන යාතුකර්මයකැයි කියනු ලැබේ

මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් ‍පොදු ජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳුන් මුල් කොට අඹන ලද්දකි. මෙම වැහි බලි යාගයේදී ඔහු හඳුන්වනු ලබනුයේ ‘වැහිගම්පල මුත්තා’ යන නමිනි.

මෙලෙස නිසි කලට වැසි ලබා දීමට නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී බලියක් තැන්පත් කිරීම ලිංගික සංකේතාත්මක ඉදිරිපත් කිරීමකි.

මෙය වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල් නොයවාම ඒ ප්‍රදේශයට වැසි ලබා දෙතැයි එම ගැමියෝ විශ්වාස කරති.

නමුදු ලිංගිකත්වය සමාජ කරලියට ගෙනා මෙවන් ජන අභිවාර සහ ජන ක්‍රීඩා හුදු “නැහැදිච්ච කම්” සේ සළකන සදාචාර සම්මත නූතන සමාජය තුළ ඊට වඩා “හැදිච්ච කමක්” තිබේ දැ‍යි අප වෙනම විමසා බැලිය යුතුය.

තිලක් සේනාසිංහ

t

o

p