පුදුමයට මෙන් සෑහෙන කාලයකට පසු කොවිඩ් වසංගතය ගැන යුද හමුදාපති තුමාත්,
වෛද්‍ය පර්යේෂණ ආයාතනයේ අධ්‍යක්ෂක තුමාත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග
අංශ ප්‍රධාන වෛද්‍ය තුමාත් පසුගිය 02 වන දා රාත්‍රියේ රූපවාහිනී මාධ්‍ය
කිහිපයකින් කටවල් අරිනු මම මහත් උනන්දුවෙන් බලා සිටියෙමි.
එහි දී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.
“‘නිරෝධායන මධ්‍යස්ථාන 71ක් තුළ දැනට පුද්ගලයන් 7576ක් නිරෝධායනය වෙමින්
සිටිනවා. කිසිම ආකාරයකින් රෝගය සමාජගත නොවන ආකාරයෙන් රැකබලා ගැනීම කළ
යුතුයි.අපේ ජනතාව ඇත්තටම කොවිඩ් ශ්‍රී ලංකාවෙ දවසකටවත් තිබිච්ච නැති
විදිහට තමයි හැසිරෙන්නෙ.සමහර අයට අමතක වෙලා තියෙනව කොවිඩ් ආසාදිතයන්
රෝහල් ගත වෙලා මේ වන විටත් ඉන්නවා කියල.. අපි ගත්තු ආරක්ෂිත පියවරවල්
තවදුරටත් අනුගමනය කරන්න ඕන සමාජය තුළ කොවිඩ් නැති වුණාට. අපිට පිටරටින්
එන අපේ ජනතාව සීමා කරන්න වෙනවා. ගුවන් යානා තුළ එන අයටත් ගුවන් තොටුපොළේ
අයටත් බලපාන නිසා ගෙන්වන්න වෙන්නේ යම් ක්‍රමවේදයක් අනුවයි. පිටරටවල සිටින
අපේ මෙරට හා පිටරට සිටින ජනතාව මෙය තේරුම් ගනීවි. “
ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර
මහතා මෙසේ පැවසීය.
‘ලංකාව තුළ කොව්ඩ් පාලනය මේ වන තෙක් හොඳට තිබුණත් අපි තවම දන්නෙ නැහැ අපට
අහම්බෙන් හරි මග හැරුණු රෝගියෙකූ හෝ රෝගීන් කොටසක් හෝ පොකුරක් ලංකාව තුළ
තිබෙනවද කියල.ලංකාව කුඩා දූපතක් වුණත් අපේ රට ආරක්ෂිත නැහැ මේ රෝගය ලෝකය
පුරාම ව්‍යාප්ත වීමත් සමඟ. අපි සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කරන්න
ඕන.අපි අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු නැවත නැවතත් සිහිපත් කරමින් ඒ දේවල්
දිගෙන් දිගටම අනුගමනය කරන්න ඕන; මේ රට තුළ නැවත කොවිඩ් 19 රෝගය හිස
එසවීමක් හෝ නැවත පැතිරීමක් වලක්වන්න.
ජනතාව අපිට සහයෝගය දිගෙන් දිගටම ලබා දෙනවා නම් මේ නීති ලිහිල් කර යම්
සහනයක් ඉදිරියට ලබාදිය හැකිවෙයි.”
මේ තුන්දෙනා මාස කීපයකට පසුව කටවල් ඇරිය ද ,මා මින් පෙර මෙම වෙබ් අඩවියේ
සටහන් තැබුවේ මේ ගැන ය.
නමුත් අපේ මේ දේශනා අහන්නේ කවුද? පක්ෂ විපක්ෂ දේශපාලකයෝ මේවා”පයිසෙකට”
වත් ගණන් නොගනිති. පරිපාලකයෝ, කලා කරුවෝ, ගායකයෝ, පද රචකයෝ, නලු නිලියෝ
ද, මුදලාලිලා සෙසු සකල විධ ලොක්කෝ බක්කෝ ද එසේම ය.
නමුත් අපරාදේ කියන්නට දුප්පත් ජනතාව නම් යම් තරමින් හෝ මේවාට සවන් දෙති.
අපේ GMOA සහෝදර වරු මැතිවරණයෙන් පසු තවම රූපවාහිනියක් පැත්ත පලාතට ඇවිත්
නැත. ජාසිංහ මහතාගෙන් පසු නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කවුද කියා
මමවත් දන්නේ නැත.කොරෝනා තාක්ෂණික කමිටුව ද මංමුලාවී ඇත.
අනෙක් රටවල්පාසල් වහන විට අපි සාමාන්‍ය පරිදි අරී. ළමයි මුව වැසුම් පාසලෙන් එළියට
එන විටම ගලවති. පාරේ, බස් එකේ, කෝච්චියේ , බොහෝ අයට මුව වැසුම් තිබුණත්
කාර්වල යන මහත්වරුන්ට ඒවා නැත. පොලීසිය අල්ලන්නේත් නැත.දුරස්ථ භාවය එක
එක තැන් වල එක එක විදිහටය.සංගීත සැනකෙළි, ,වෙඩින්, මළ ගෙවල් වලසෞඛ්‍ය
නීති බල්ලාට දමා ඇත.සුපර්මාකට් වල ඇතුළට තිස් පහක් ගන්නා බව කීවද දැන්
ගණන් කිරීමක් නැත.සල්ලි ලාච්චු දෙස මිස මේවා දෙස බැලීමට කවුරුත් නැත. PHI
ලාත් වෙඩින් එකක මුව වැසුම් නැතුව අත් කරේ දමාගෙන නටනු මම බලා සිටියෙමි.
ඒ මුව වැසුම රාජකාරියට පමණක් අදාල දෙයක් සේ සිතා ගෙන දැයි මම නොදනිමි.
ආන්ඩුවේ ලොක්කෝ ද ජනතාවට වැරදි පූර්වාදර්ශ දෙමින් රූපවාහිනී ප්‍රවෘත්ති
වලින් බාගයකට ම අරක් ගෙන,ඒ පුරාම රැස්වීම් පෙන්වා මුව වැසුම් නොදා
සිටිමින් තම තමන්ගේ වීරත්වය ප්‍රදර්ශනය කරති.එයට ඔවුන් තුළ ඇති පුහු
වීරත්වය හැර වෙනත් හේතූවක් මා හට සොයාගත නොහැකි විය.
මන්ද; ලෝක සෞඛ්‍යසංවිධානයවත් කිසිම රටක්වත් , අප රටේ සෞඛ්‍ය බලධාරීන්වත් කිසිම ආකාරයකට
වැසුණු තැන්වලදී , ශාලාවල, හා විවෘත තැන්වල මුව වැසුම් නැතුව සිටීමට
මෙතෙක් කාටවත් කොළ එළියක් ලබා දී නැති බැවිනි.
සාමාන්‍ය ජනතාව තුළ සෞඛ්‍ය නීති ගැන තිබූ බිය නැතිකර දැමීමට සෑහෙන්න
වගකිව යුත්තේ ඔවුන් සියලු දෙනා ය.
අප කවුරුත් දන්නා පරිදි තෝර ගසක් අඩි තුන-හතරකට වඩා උසට නොවැඩෙයි.
නමුදු මේවා තුළ ද දිවියන් සැඟ වී සිටිය හැකි බැවින් පැරණි ගැමියන් තෝර
කැළයක් තුළට වුව පිවිසෙන ලද්දේ පූර්වාරක්ෂක ක්‍රම අනුගමනය කරමිනි. “තෝර
කැළෙත් කොටි ලගිතැ”යි යන පිරුළ ජනගත වන ලද්දේ ඒ අනුවය.මේ තත්වය යටතේ
අදටත් ශ්‍රී ලාංකීය ජනතාව වටා ඉව කරමින් හිඳින කොරෝනා රකුසා පළවා හැරීමට
මෙම ‘කොටි පිරුළ’ හෝ සිහියේ තබා ගැනීම අප කාගෙ කාගේත් යහපතට හේතු වන බව
මගේ වැටහීමය.
විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී රාජපක්ෂ