අටමස්ථාන,සොලොස්මස්ථාන වශයෙන් හැඳින්වෙන පූජනීය ස්ථාන ඇතුළු අප රටේ ජනකාන්ත බෞද්ධ පුදබිම් වෙත වාර්ෂිකව විශාල පිරිස් ඇදී එති.ඒ වෙසක්,පසොන් ඇතුළු පුර පෝ දිනයන් සහ ඒ එක් එක් සිද්ධස්ථානය හා සම්බන්ධිත විශේෂ පෝ දිනයන් මුල් කර ගනිමිනි.
එහෙත්,මෑතක සිට මෙම තත්වයේ සැළකිය යුතු වෙනස් කමක් පෙන්නුම් කෙරේ. එනම් පුර පෝ දිනයන් නොවන වෙනත් දිනයන් හිදී ද එම සිද්ධස්ථාන වටා බැතිමතුන් දස දහස්,ඇතැම් විට ලක්ෂ ගණන් රොක් වීම ය. ඒ මෑතක සිට විවිධ පූජාවන් සඳහා ය. අතීතයේ ද මෙවැනි සංවිධානාත්මක පින්කම් නොතිබුණා නොවේ. එහෙත්, මෙවන් මහා පරිමානයේ
සංවිධානාත්මක පූජා චාරිත්‍ර සංස්කෘතියක් ඇරඹී නොතිබිණ. මෙම තත්වය ප්‍රවර්ධනය වීමට පටන් ගෙන තවම දශක කිහිපයකට වඩා ඉක්ම ගොස් නැත.
සිංහල බෞද්ධ සමාජය තුළින් පැන නැඟී ඇති මෙම ප්‍රවණතාව ඉහළ මධ්‍යම පාන්තික සමාජ විලාසිතාවක ලක්ෂණ ද පළ කරනු පෙනෙයි. ඒ එම පූජා චාරිත්‍ර සම්බන්ධ සංවිධානයන් හි විවිධ නිලතල, තනතුරු සඳහා යම් සමාජමය වටිනාකමක් සේම තරඟකාරී බවක් ද පවතින බැවිනි. එමෙන්ම එම පූජා චාරිත්‍ර මුල් කොට ඇතිවන සමාජ සබඳතා උත්සව සාද, විනෝද ගමන් වලින් ඇරඹී විවාහ මඟුල් දක්වා දුර-දිග ගිය අවස්ථා ද වරින් වර අසන්නට ලැබේ. ඒ අනුව මෙම නව මාදිලියේ සංවිධාත්මක පූජා චාරිත්‍ර සංස්කෘතිය සාධනීය සමාජ ප්‍රවණතාවක් ලෙස ද යමකුට හැඟී යා හැකිය.
එහෙත්, වත්මන් සමාජයේ පවතින මෙම ආගමික භක්තිය කුළු ගන්වා ගැනීම් පිළිබඳ උන්නතිකාමීත්වයට සාපේක්ෂව අප රටේ සිදුවන සාපරාධී ක්‍රියා ඇතුළු නීති, සමාජ සහ සදාචාර ක්‍රියා අවප්‍රමාණ වී තිබේ ද යන්න විමසුමට ලක් කරන්නෙකුට ලැබෙනුයේ සාධනීය පිළිතුරක් නම් නොවේ. ඒ ඉහත සඳහන් පූජා චාරිත්‍ර සේම වත්මන් සමාජයේ අපරාධ ඇතුළු නීති, සමාජ සහ සදාචාර ක්‍රියා ද ප්‍රවර්ධනයට සහ විවිධාංගීකරණයට ලක් ව ඇති බැවිනි. නමුදු මෙම විපරීතයට හේතු විමසා බැලෙන පුළුල් සමාජ කතිකාවක් මෙතෙක් දියත් වී නොමැත. ආගමික ප්‍රවර්ධනය සමාජයීය යහපැවැත්මට ඉවහල් වන බව පොදු පිළිගැනීමකි. එහෙත්, ප්‍රායෝගිකව විමසා බලන විට එය පූර්ණ සත්‍යයක් නොවේ. ඊට හේතුව ආගමික ඇදහීම් සහ ආගමික ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මහා පරිමානයේ මනුෂ්‍ය ඝාතන පවා ලොව පුරා අදටත් සිදුවීම ය.
ඕනෑම ආගමක බැලූ බැල්මටම දැකිය හැකි කොටස් දෙකක් තිබේ. ඒ ඇදහීම් සහ පිළිපැදීම් ය. නමුදු මෙහි වඩාත් ප්‍රබල පක්ෂය වනුයේ ඇදහීම් නොව පිළිපැදීම් ය. තමන්ටත් අනුන්ටත් අයහපතක් නොවන සහ යහපතක් වන සිතීම්; ප්‍රකාශ සහ ක්‍රියා ලෝකයේ සියළු ආගම් වලට පොදු පිළිපැදීම් හෙවත් සදාචාර ධර්ම පද්ධතීන් හි තේමාව වී තිබේ.
එහෙත්, ශාස්තෘ දේශනා සහ ඒ මත පදනම් වූ ආචාර විද්‍යාත්මක ශික්ෂණයන් අබිබවා යන ජනකාන්ත අංග ද සෑම ආගමක් තුළටම ගැබ් වී තිබේ. ඒ පූජා චාරිත්‍ර සහ ශාන්ති කර්ම මත පදනම් වන අභිචාරාත්මක පක්ෂයයි. එම ආගම් මගින් පැවසෙනුයේ ඉහත සඳහන් පිළිපැදීම් වල යෙදෙන්නවුන් හට පමණක් මෙම පූජා චාරිත්‍ර මඟින් මෙලොව සේම පරලොව යහපත උදා කර ගත හැකි බවකි.
බෞද්ධ අර්ථ කතන වලට අනුව ඉහත සඳහන් පිළිපැදීම් ප්‍රතිපත්ති පූජා ලෙස සැළකෙන අතර ඇදහීම් අයත් වනුයේ ආමිස පූජා ගණයටය. තවත් අයුරකින් මෙය විස්තර කළ හොත් ඇදහීම් පින් ගණයටත් පිළිපැදීම් කුසල් ගණයටත් එක් කළ හැක. ඒ අනුව බෞද්ධ පූජා චාරිත්‍ර වලින් අත්පත් කරගත හැකි පින් පිළිබඳව සඳහන් කළ හැක්කේ දහම පිළිපදින්නවුන් හට ලබා ගත හැකි ආගමික ප්‍රතිලාභයක් ලෙසින් හෙවත්”බෝන්ස්”එකක් ලෙසිනි. ඒ අනුව දහම පිළිනොපැද වර්තමානයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජනකාන්ත පූජා වලින් පමණක් යහපතක් පැතීම මට පෙනෙනුයේ”වැඩ නොකර බෝනස් පැතීමක්” ලෙසිනි.
හුදෙක් යහපත් සේම ඇතැම් විට අයහපත් ලෞකික අපේක්ෂා ද ඉටු කර ගැනීම මත පදනම් වූ සමාජ විද්‍යාත්මක ව සුදු අභිචාර[White Magic] වශයෙන් සැළකෙන මෙම ශාන්තිකර්ම ගණයේ ජනකාන්ත පූජා සඳහා යොදා ඇත්තේ ද අපභ්‍රංස ගණයේ නම් ය.”අධිෂ්ඨාන පූජා”යනු එවැනි එක් අපභ්‍රංසයකි. ඊට හේතුව මෙහි සඳහන්”අධිෂ්ඨානය” ද යන්නට නිශ්චිත පිළිතුරක් නොමැති වීම ය. එහෙත්, මෙම අධිෂ්ඨානය මතු බුදු බව, නිවන හෝ අඩුම තරමින් දෙව්ලොව සැප ලබා ගැනීම නොවන බවත් ධනය, ගේ දොර-ඉඩකඩම්, යාන-වාහන, තනතුරු, විභාග, නඩු-හබ ජය, පෙම් සබඳතා, මංගල පැතුම් සඵල කර ගැනීම්, උවමනා අය ළංකර ගැනීම්, එපා වූවන් දුරු කර ගැනීම්, නිරෝගීසුව, දිගාසිරි ලැබීම් ආදී ලෞකික අපේක්ෂාවන් සඵල කර ගනීම් බවත් පැහැදිලි ය.
ඒ අතර ‘මේ පින් බිමේ දහසක් රහතුන් පහළ වේවා” යනුවෙන් “අධිෂ්ඨාන” කෙරෙන අධිෂ්ඨාන පූජා ද ඇතැයි කියනු ලැබේ. එහෙත්, අධිෂ්ඨානය යනු තමන් විසින් අරඹනු ලබන කාරියක් මුල් කොට ඇති කර ගනු ලබන චිත්ත ස්ථාවරයයි. ඒ අනුව බලන විට මෙය හැඳින්විය යුත්තේ ප්‍රාර්ථනාවක් ලෙස මිස අධිෂ්ඨානයක් ලෙස නොවේ. නමුදු ප්‍රාර්ථනා මඟින් රහතුන් පහළ කරවීමේ ක්‍රමෝපායක් ඒවා සංවිධානය කරන භික්ෂුන්ම මිස බුදු හිමියන් නොදැන සිටි බවට ඔබ හමුවේ සහතික වන්නට මට පුළුවන.
දාගැබ් වටා රෙදි ඔතන “කප් රුක් පූජාව” ද එවැන්නකි. වරක් මම දාගැබක් වටා ඔතන රෙද්ද සහ කප් රුක අතර ඇති සබැඳියාව කුමක් දැයි එම පූජාවක් සංවිධානය කළ වියපත් නීතිඥ වරියකගෙන් ඇසුවෙමි. එයට පිළිතුරු ලෙස ඇය කියා සිටියේ එම පූජාවේ අනුහසින් කප් රුකක් පහළ වන්නාක් මෙන් සිතන පතන සෑම දෙයක්ම ඉටු වන බවකි. ඒ අනුව අපගේ පැරණි උපාසකම්මලා මරණයෙන් මතු දෙව් ලොව ගොස් එහි ඇතැයි කියන කප් රුක දැක ගන්නට සිහින මැවූ අතරේ එම කප් රුක තමන්ගේ ගෙවල් වලටම ගෙන්නා ගැනීමට අද කාලයේ”නවීන උපාසකම්මලාට ඕනෑ වී ඇති බවක් පෙනේ. ඒ අනුව මට හැඟී යන්නේ මෙම නවීන මහා පරිමාණයේ පූජා වලට යොදන නම් ද”දිව්‍ය ලෝක පරිප්පු ” මෙන් කිසිදු අරුතක් පළ නොකරන යෙදුම් බව ය
“යං අලෝභ පකතං කම්මං, අලෝභජං, අලෝභ සමුදයං, තං කම්මං කුසලං. තං කම්මං සුඛ විපාකං. තං කම්මං කම්ම නිරෝධාය සංවත්තති. [යම් ක්‍රියාවක් අලෝභය ප්‍රකෘතිය කොට අලෝභයෙන් උපදවා අලෝභයෙන් හට ගන්නේ ද එම ක්‍රියාව කුසල කර්මකි. ඉන් සැප විපාක ලැබේ. එමෙන්ම එම ක්‍රියාව කර්ම නිරුද්ධ වීම පිණිස පවතී]යන්න බුදු දහමෙහි කුසලය විස්තර කෙරෙන අන්දම ය. මෙලෙස ලෝභ, ද්වේෂ මෝහ යන අකුසල මූලයන්ගෙන් අත් මිදුණු ක්‍රියා බුදුන් වහන්සේ විසින් කුසල් ලෙස හඳුන්වා දී ඇති පසුබිමක ලෞකිකත්වය මත පදනම් වන දැඩි ලෝභය මත පදනම් වන මෙබඳු”නර නාටක”බුදු වදනට අනුව අකුසල් බව අමුතුවෙන් කිව යුතු නැත.
තම ජීවිතය හමුවෙහි පැන නඟින ගැටළු අර්බුද හමුවෙහි යථාර්ථවාදී විසඳුම් වලට අමතරව ගුප්තවාදී විසඳුම් සෙවීමට මිනිසා පෙළඹෙන ලද්දේ ලොව ආගම් පහළ වීමටත් බොහෝ කලකට ඉහත සිට ය. එකල මිනිසාගේ සහජ බුද්ධිය තුළින් මතු වූ ජීවාත්මවාදී[Animistic]සහ ආකර්ශනවාදී[ Fetishitic] සංකල්ප ලොව ප්‍රාථමික ආගම් බිහි වූ පසු ඒවා තුළට සම්ප්‍රේෂණය විය. නමුදු ඒ පැරණි අභිචාර ක්‍රම මිනිසා තම ජීවන යහ පැවැත්ම අපේක්ෂාවෙන් යොදා ගත්තා මිස අද මෙන් සිය තෘෂ්ණාව කුළු ගැන්වීම පිණිස යොදා ගෙන නැත. අතීත ජන සමාජය වර්තමාන සමාජය මෙන් තෘෂ්ණා භරිත නොවීම ඊට හේතුව ය.
ලොව බටහිර වැසියන්ට සාපේක්ෂව පෙරදිග වැසියන් තුළ ආධ්‍යාත්මික සංකල්ප සහිත සංස්කෘතික පසුබිමක් තිබේ. මෙය කෙතරම් ඔඩු දුවා තිබේ ද යත් මුළුමනින්ම ලෞකික කටයුත්තක් වන දේශපාලනයට පවා අප රටේ ගුප්ත, ආධ්‍යාත්මක සංකල්ප මුසු කොට ඇත. නමුදු පෞද්ගලික කටයුත්තක් සේ තිබිය යුතු ආගම් ඇදහීම දේශපාලන භාවිතයක් කොට ගැනීමෙන් පොදු මිනිස් සමාජයට සිදු වනුයේ යහපතකට වැඩි අයහපතකි.
සංවිධාන ව්‍යුහය පුළුල් වීම[වේපුල්ල මහන්තතා], භික්ෂුන් හට ලාභ සත්කාර බහුල වීම[ලාභග්ග මහන්තතා] විවිධ විෂයන් පිළිබඳ භික්ෂුන්ගේ කීර්තිය වැඩි වීම[යසග්ග මහන්තතා] භික්ෂූන් ගේ ශාස්ත්‍රීය දැනුම ඉහළ නැංවීම [බාහු සච්ච මහන්තතා] සහ භික්ෂුන් මාර්ග ඵලයන් හි නොපිහිටා බොහෝ කල් ඉකුත් වීම [රත්තඤ මහන්තතා] යන හේතු මත බුදු සසුනේ පිරිහීම සිදුවන බව බුදුන් වහන්සේ අවධාරණය කොට ඇත. මජ්ජිම නිකායේ භද්දාලි සූත්‍රයේ ඒ බව සඳහන් වෙයි. ඒ අනුව වර්තමානයේ පවත්නා ජනකාන්ත පූජාවන් සමඟ මෙම ශාසනික පරිහානිය කෙතරම් බද්ධ වී තිබේ දැයි සිතා බැලීම ඔබට භාර කරමි.
මෙම ජනප්‍රිය පූජා සංවිධානය කරන භික්ෂුන් ඔවුන් ගේ අන්ධ භක්තිකයන් විසින් “අති පූජනීය” යනුවෙන් හඳුන්වන අවස්ථා නිතර අත්දැකීමට පුළුවන. එමඟින් ඔවුන් තමා ආදර ගෞරවය දිනා ගත් භික්ෂුව සෙසු භික්ෂුන් අතරින් ඉහළට ඔසවා තැබීමට වෙර දරනු පෙනෙයි. එහෙත්, එවන් පදනම් විරහිත ගෞරව නාම පොදු සමාජමය පිළි ගැනීමට ලක් නොවනුයේ එය ඇතැම් විට එම භික්ෂුන් ගේ ද අනුදැනුම මත ඔවුන්ගේ අනුගාමිකයන් ගන්නා “මෝඩ ආතල් එකක්” බව පැහැදිලිවම පෙනෙන නිසාය. අරක්කු වර්ග අතරින් “අති විශේෂ” යන හැඳින්වුමට ලක් වනුයේ ද ලාබම සහ බාලම අරක්කු බව ද මෙහි දී සිහිපත් කළ යුතුය.
ශ්‍රී ලාංකීය සිංහල බෞද්ධ මධ්‍යම පාන්තික සමාජය කේන්ද්‍ර කරගත් මෙම මහා පරිමාණ සංවිධානාත්මක පූජා ජාලය ප්‍රවර්ධනය වෙත්ම එහි පවත්නා අලෙවි වටිනාකම වටහාගත් ව්‍යාපාරික ප්‍රජාව ද ඒ සඳහා අනුග්‍රහය දැක්වීමෙන්’; ගරිල්ලා මාකටින්’ව්‍යාපෘති පවා අරඹා ඇති බව පෙනේ. එමෙන්ම ඒ තුළින් සංසරණය වන මුදල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම ද අතිශය ස්වභාවික ය. මීට අමතරව මෙවන් පූජා චාරිත්‍ර මුල් කොට අතිවිශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වන අතර බොහෝ විට ඒවා සම්බන්ධ විගණනයන් පවා නොවිධිමත් බවක් පළ කරනු පෙනෙයි. එමෙන්ම මෙම පූජාවන්ට අනුග්‍රහය දක්වන්නා මොනතරම් “පව්කාර දණ්ඩෙකු” වුව ද සෙසු දුප්පත් බැතිමතුන් පසු කොට එම පූජාබිමට පිවිසිය හැකි පරිදි ඔහු සඳහා VIP වාහන ලේබල් ද නිකුත් කෙරේ. ඉන්පසු එම පූජාව නිමා වී සති මාස ගණනක් යන තුරු එය ඔහුගේ වාහනයෙන් ඉවත් නොවනුයේ වත්මන් සමාජය හමුවේ “අනේ පිඬු සිටු වරයකු” ලෙස පෙනී සිටීමට එය ඔහුට මගඟු පිටිවහලක් වන බැවිනි.
මෙම ජනකාන්ත පූජාවන්ට එක් වන්නවුන් ගෙන් 2/3 කටත් වැඩි පිරිස කාන්තාවෝ ය. ඔවුන් අතරින් විශේෂිත ධනවත්කම් සහිත කාන්තාවන් එම ජනකාන්ත භික්ෂුන්ගේ සිත් දිනා ගැනීම පිණිස කළ කී දේ සහ ඔවුන් ඒවායින් ලභාගත් අනේක විධ ප්‍රතිලාභ පිළිබඳව එම අනුගාමික කණ්ඩායම් වලින් බිදී යන කාන්තාවෝ නම්, ගම් සහිතවම හෙළි කරති. එහෙත්, එවිට එම භික්ෂුවගේ සෙසු අනුගාමිකයන් එක් ව සමාජ ජාල ආදියන් පවා ඇයට සෘජු හා අනියම් ලෙස පහර හෙළනුයේ ඇයට “රෙද්ද්ක් ඇඳ පාරට බැසීමට වත් බැරි තත්වයක්” උදා කරමිනි.
විසි වන සියවසේ ඉන්දියාවේ විසූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු සේ සැළැකෙන ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති සූරීන් වරෙක මෙසේ කියා තිබේ.”ආගම් තුළින් පූජා චාරිත්‍ර මුල් කොට ගත් සමාජ සංස්ථා ව්‍යුහයන් ඉස්මතු වන විට පළමුව ඉන් ගනුදෙනු ද දෙවනුව ව්‍යාපාර ද දෙවනුව ජාවාරම් ද බිහිවනු මිස සමාජ සදාචාර සංවර්ධනය සඳහා අවැඩක් මිස කිසිදු යහපතක් සිදු නොවේ” විවිධ පූජා නමින් අප සමාජයේ දිනෙන් දින ප්‍රවර්ධනය වන සුදු අභිචාර ශාන්ති කර්ම මඟින් වත්මන් සමාජයට මුහුණ දීමට සිදු වී ඇත්තේ ඒ “සන්තෑසියටම” නොවේද?
තිලක් සේනාසිංහ