ලංකාගමින් යළි මතුවන රුදුරු කැකිල්ලේ පරපුර

August 31, 2020

 1989 වසරේ යුනෙස්කෝව මඟින් ශ්‍රී ලංකාවේ පළමු ලෝක  උරුම වැසි වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කරන ලද සිංහරාජය පිළිබඳ ව යළි උණුසුම් සමාජ කතිකාවක් ඇති වී තිබේ.

ඒ යුද හමුදාව යොදවා සිංහරාජය ආශ්‍රිත ලංකාගම ඔස්සේ දෙනියාය තෙක් මාර්ගයක් තැනීමට රජය දරණ කඩිනම් උත්සාහයක් මුල් කරගනිමිනි.මෙය එම ගම්මාන ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක් බව රජයේ ස්ථාවර‍යයි.එහෙත්, එවන් ලොව විශිෂ්ඨතම වන රජ දහනක් මුල් කොට සිදු කරනු ලබන භෞතික සංවර්ධන කටයුතු එසේ “ආවාට ගියාට” කළ නොහැකි බව පරිසරවේදීන් ගේ පොදු ස්ථාවරය වී තිබේ .

නමුදු මෙම පාර කැපීමේ හදිසි අවශ්‍යතාව පැන නැඟී ඇත්තේ ජනතා අවශ්‍යතාවයන් මත නොව සිංහරාජය මුල් කොට ඇරඹීමට යෝජිත මහා පරිමාන පරිසර සංචාර ව්‍යාපෘතීන් සඳහා ගත වූ දශක තුන ඇතුළත මහජන මුදලින් මහා ධන කුවේරයන් බවට පත් “පවුලක් දෙකක්” රුපියල් ප්‍රකෝටි ගණනක ධන ආයෝජනයක් කිරීම මුල් කොට යැයි පැවසෙන කතාවක් ද දැන් සමාජ ගත වෙමින් තිබේ.ඔවුන් ගේ පෞද්ගලික නම් වලින් කෙසේ වුව ද වෙනයම් පාර්ශවයන් ලවා සිදු කොට ඇති එම ආයෝජන පිළිබඳ විවිධ තොරතුරු දැන් පරිසරවේදීන් වෙත ගොනු වෙමින් ඇතැ‍යි ද කියනු ලැබේ.


මේ අතර සිංහරාජය මැදිකොට මෙසේ මාර්ග තැනීමෙන් සිදුවිය හැකි පාරිසරික විනාශය සම්බන්ධයෙන් පරිසරවේදීන් නඟන චෝදනා පිළිබඳව විමසා බැලීමට ජනාධිපති වරයා පසුගිය 29 වන දා ඒ ආශ්‍රිත ගම්මාන වල සංචාරය කොට තිබේ.එහි දී එම ගම්වාසීන් විසින් සිදු කරනු  ලැබූ බිහිසුණු ප්‍රකාශයක් පිළිබඳ රූප රාමු  මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.

එහි දී ඔවුන් ජනපති වරයා හමුවේ පවසා ඇත්තේ”ඔය පරිසරවේදීන් හිටියොත් මේ රට කවදාවත් දියුණු කරන්න හම්බු වෙන්නෙ නැහැ.[උන්] විනාශ කරනවා මේ රට”යනුවෙනි.  බලයට පත් දේශපාලන ප්‍රවාහය නියෝජනය කෙරෙමින් පසු ගිය දිනයෙක ඇසුණු ” අපිට ඔක්සිජන් මොකටද?” යන ඓතිහාසික ප්‍රකාශයේම දිගුවක් වන මෙම කතාව හමුවේ ජනපතිවරයා සළිත වීම කෙසේ වෙතත් ඒ අදහස ප්‍රතික්ෂේප නොකිරීම ද බරපතල ගැටළුවකැයි මට සිතේ.ඒ වෙනුවට ඔහු සිනාසෙමින් ඊට කන් දී හිඳිනු දක්නා ලදී


සිංහරාජයේ පරිවාර වනාන්තරය වන ඉලුඹකන්ද මැදින් කලවානේ සිට  මෝනිං සයිඩ් හරහා සූරීයකන්ද දක්වා කාපට් ඇතුරූ මාර්ගයක් ඉදි කිරීම පිළිබඳව මට මුල් වරට දැන ගැනීමට ලැබුණේ 2011 වසරේ ජනවාරි මාසයේ ය.  සිංහරාජ වනයට මායිම් වූ ඉතා සංවේදී පරිසර කලාපයක් වන මෙම කොටස හරහා මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත්වීම මත සිදුවෙන්නක් බව ද මට දැනගත හැකි විය.

රජයේ ප්‍රබලයකුගේ නිවාඩු නිකේතනයක් වෙත ගමන් සහසුව සළසා ගැනීම මේ මාර්ගය ඉදිකිරීමේ මූලික අරමුණ බව ද මට දැනගත හැකි විය එබැවින්, මම ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම පිණිස කලවානේ වෙසෙන මගේ හිතවතකුට කතා කළෙමි.කලවානේ වලව් පරපුරකට අයත් ඔහු මහනුවර යුගය පිළිබඳ ඉතිහාස ගවේෂකයකු සේම කෞතුක භාණ්ඩ ලෝලියෙක් ද විය “ඔය ඉලුඹ කන්ද කියන්නේ.ඉස්සර රජවරු අපේ මීමුත්තන්ට දීපු නින්දගම්.පස්සේ සුද්දෝ ඒවා වතු වගාවට ගත්තා.මම හිතන්නෙ 1970 ගණන් වලදී ඕවා එල්.ආර් සී එකට පවරා ගත්තා.කෝකටත් වෙලාවක එන්න.අපි ඒ පැත්තෙ ගිහින් ඔය පාර කපන එක ගැන හොයලා බලමු”හෙතෙම කීය.


කෙසේ හෝ ඊට ආසන්නතම දිනයෙක හිමිදිරියේ පිටකොටුවෙන් පිටත් වූ ලංගම බසයක නැඟී කලවානට ගිය මම මගේ එම හිතවතාගේ නිවසට සේන්දු වීමි.එහෙත්,පාසල් ගුරුවරියක වන ඔහුගේ බිරිඳ දහවල් නිවසට පැමිණීමට පමා වීම මත අප දෙදෙනා මෙම ගමන අරඹන විට පස්වරු තුන ද ඉක්ම තිබිණ.වසර විසි පහක් පමණ වියපත් බවක් පළ කළ ඔහුගේ මෝටර් රථයේ ඉබි ගමනින් මගේ “තදියමට” විසඳුමක් නොලැබුණු බැවින් අප අපගේ ගමනාන්තය තෙක් වැටී ගත් මඟ අද්දර පිහිටි පොතුපිටිය නම් ප්‍රදේශයට එන විට සැඳෑ ගොම්මනට ද ළංව තිබිණ.

මගේ හිතවතාගේ මිතුරෙකු පොතුපිටියේ සිටින බැවින් එදින රාත්‍රියේ එහි නතර වී පසු දා හිමිදිරියේ ඔහු ද කැටුව ඉලුඹකන්ද බලා පිටත් වීම අපගේ අරමුණ විය.පොතුපිටියේ හිතවතා සතු ව්‍යාපාරික ගොඩනැඟිල්ලක් ඔහුගේ නිවස අද්දර මහ පාර සමීපයේ ඇත..මගේ කලවානේ මිතුරාගේ ඉල්ලීම පරිදි අපට එදින රාත්‍රියේ එහි නවාතැන් සැපයෙන ලද්දේ රාත්‍රී කෑමට පෙර අප කෙරෙන් පැන නැඟිය හැකි “දොඩමළු බව” පොතුපිටියේ හිතවතගේ බිරිඳට සහ දරුවන්ට හිසරදයක් විය හැකි ව තිබූ බැවිනි.


කෙසේ හෝ රාත්‍රී හත අට වන විට අපේ නවාතැනට අසල් වාසියෙකු දෙදෙනකු පැමිණි අතර  මා ඉලුඹකන්ද ගැන ලිවීමට කොළඹින් ආ “පත්තර කාරයෙකු” බව ඉන් එකෙකුගේ කණ වැකෙන්නට ඇත.ඉන්පසු විවිධ කරුණු දක්වමින් හත් අට දෙනකුම එහි පැමිණි අතර ඔවුන්ගේ ඉලක්කය මා බව මට කෙමෙන් වැටහිණ.”මහත්තයා ඔය අළුත් පාර ගැන ලියනවා නම් අපෙන් විස්තර අහගන්න.මොකද මෙහේ මේ වැඩේටත් අංචි අදින්න බලාගෙන ඉන්න හාල් පාරුවෝ සෙට් එකක් ඉන්නවා.

මහත්තයලා හෙට ඉලුඹකන්දෙ යනව නම් අනිවාර්යෙන් අපිත් එක්ක යන්න ඕනෙ”ඉන් එකෙක් කීය.”මේ වැඩේ කෙරෙන්න ඕනෙ අපිට ඕනෙ විදිහට මිසක් ඔය කොළඹින් එන පරිසර වේදීන් ද මොක්කුන් ද කියන …..පුතාලට ඕනෙ විදිහට නෙවෙයි.මේ පාර හදනවට විරුද්ධ ව එකෙක් කටක් ඇරියොත් උගේ දත් වහල්ල බඩට යවලා තමයි අපි පස්ස බලන්නෙ”එලෙස පැමිණි තවත් අයෙක් කීය.

එදින රාත්‍රී නවයට පමණ පොතුපිටියේ හිතවතාගේ මාමා කෙනෙකු බව පැවැසුණු අවුරුදු හැත්තෑවක, හැත්තෑ පහක පමණ වන ගැමියකු පැමිණ අපගේ “සතුටු සාදයට” එක් විය. නමුත් ඔහු ද මෙහි කලින් පැමිණි නගරං කාරයන්ගේ ඔත්තු කාරයකු විය හැකි බැවින් ඒ මොහොත වන විට මගේ මුවින් දෝරේ ගලා යාමට සැරසෙමින් තිබූ “දොඩමළු කම”මම හැකි තාක් පාලනය කර ගතිමි.”ඇත්තෙන්ම මම මෙහේ ආවේ ඔය අළුත් පාර ගැනම ලියනවට වඩා මේ පැත්තෙ තියන ඔය පරණ ගැමි කතා ගැන එහෙම ලියන්නයි” ඒ කතාව අතරේ මා කීයේ එමඟින් හෝ යම් ගොදුරක් ඩැහැ ගත හැකි වේදැයි විමසා බැලීමට ය        

                                                                     
   .”ඉතින් එහෙනම් ලියන්නකො අර කැකිල්ලේ රජ්ජුරුවන්ගේ මාලිගාව ගැන.ඒක තිබුණෙත් ඔය ඉලුඹ කන්දෙම නේ’ හෙතෙම කීයේ මා අන්ද මන්ද කරවමිනි.ඔහුගේ වියපත් බව හා මෙම පාන වර්ගය සහ එහි පදම නොගැලපීම මත මේ වියපත් මිනිසා නන් දොඩවතැයි ද මට එසැනින් සිතිණ.ඒ සමඟම මගේ මෙම ගමනේ අරමුණ අවඥාවට ලක් කරනු පිණිස ඔහු මට ඉලුඹකන්දෙන් කැකිල්ලේ රජු ගැන තොරතුරු විමසන ලෙස කියන්නට ඇතැ‍යි ද මම ඒ සමඟම සිතුවෙමි.”එතකොට ඒ මාලිගාවේ නටබුන් එහෙම තවම තියනවද?”අනතුරුව මම වැඩි තැකීමක් නොමැතිව ඇසීමි.                                                                                                                                                              
“දැන් ඕකට ඉලුඹකන්ද කියන්නෙ ගිල්ම කන්ද කියන නම වෙනස් වෙලා,ඉස්සර කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ මාලිගාව එක්ක මුළු රාජධානියම ගිල්මකට අහුවෙලා ගිලා බැහැලා තියනවා”හෙතෙම කීයේ මා තුළ උපන් කුතුහලය ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන අතරේ ය. ඉතින් මොනවද ඒකෙ කැකිල්ලේ රාජ මාලිගාව තිබුණු බවට ලැබෙන සාක්ෂි?මම යළි ඇසුවෙමි                                                                                                                                                                                                                                
 “ඇයි මේ කිට්ටුව තියන කැකිල්ල පිටිය කියන ගම.එතකොට කැකිල්ලපිටිය කියන වාසගම.අනික ගාලෙවත්ත කියන ගම.ඒක තමයි කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ ඇත් ගාල තිබුණු වත්ත”ඔහු කීයේ මා තුළ විස්මය මුසු උද්දාමයක් පුබුදුවමිනි.


“මිනිහෙක් වෙරි මරගාතෙ දොඩවපු දෙයක් අල්ලා ගෙන වැඩිදුර කරුණු හොයන්න යන්න ලැජ්ජා නැද්ද?”එම වැඩිහිටියා නික්ම ගිය පසු මගේ කලවානේ මිතුරා මට දොස් පවරන්නට විය.”අනික මේ කලවානෙ රජ පෙළපතක් තිබුණු බවට මොනවද තියන සාක්ෂි?මම නම් කවදාවත්  මූලාශ්‍ර මත පදනම් නොවුණු ඔය වගේ විකාර පිළි ගන්නේ නැහැ”ඔහු එසේ කියන ලද්දේ තම මීමුත්තන් සතු නින්දගමකින් හිටිහැටියේ කැකිල්ලේ රජතුමා මතු වීම තමන් ද ඉබේටම කැකිල්ලේ පරම්පරාව තුළෑමෙන්ට තල්ලුවීමක්  සේ සළකා විය හැකි යැ‍යි ද මට සිතිණ. එමෙන්ම පසුදින උදෑසන පොතුපිටියේ හිතවතා කී අන්දමට අප දැන් ඉලුඹකන්දට ගියහොත් අප එම අළුත් පාර තැනීමට එකඟ පාර්ශවයේ ග්‍රහණයට නතු වනු ඇත.

එමෙන්ම එය එම ප්‍රදේශය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ තරුණ මන්ත්‍රී වරයකුගේ ව්‍යාපෘතියක් බව පැවසූ ඔහු එය”අප රටේ ඉහළ දේශපාලන පවුලක කොන්තරාත්තුවක් ඉටු කිරීමක් බවට තොරතුරු ලැබෙමින් පවතින බව ද කීය.”ඔය ඉලුඹකන්ද හරහා පාර කැපුවට පස්සේ ඔය කැළෑව අක්කර දෙකහමාර ගාණෙ කෑලි කඩලා මිනිස්සුන්ට බෙදලා දෙනවා කියලත් පොරොන්දු වෙලා හින්දා දැන් මේ පැත්තෙ වැඩි දෙනෙක් ඔය පාර කපනවට කැමතියි.

අනික පිටින් ඇවිත් ඔය පරිසර විනාසෙ ගැන හොයන අය වගේම ඒ අයට තොරතුරු දෙන අය ගැන හොයන්නත් දැන් වෙනම කට්ටියක් පත් කරලා.ඒ හින්දා අද ඉලුඹකන්ද පැත්තට නොයනවා නම් තමයි මම කැමති”පොතුපිටියේ හිතවතා පසු දා උදේ
 එසේ පවසන ලද්දේ තම මතු ආරක්ෂාව ගැන ද සිතා බව වටහා ගත් මමත් කලවානේ හිතවතාත් ඔහුගේ වියපත් මොටෝ රියෙන් ආපසු ආවෙමු.
  මෙවන් පසුබිමක් යටතේ සිංහරාජය ආශ්‍රිතව සිදුවන මෙම පාරිසරික සංහාරය පිළිබඳ ව පරිසරවේදීන් ගේ අවධානය යොමු වනු ලදුව සමහරුන්ට රාජ්‍ය නිලධාරීන් ලෙස වෙස් වලාගෙන ඒ සම්බන්ධ නිරීක්ෂණ චාරිකා වල යෙදීමට සිදුවන ලද්දේ එහිදී ඔවුන්ට ජීවිත තර්ජන පවා එල්ල වන පසුබිමක් නිර්මාණය වී තිබූ බැවිනි

.ඒ කෙසේ හෝ ඉලුඹකන්දෙන් මතුවන කැකිල්ලේ පුරාවෘත්තය පිළිබඳව වැඩි දුරටත් විමසුම් කළ මට එය හුදෙක් කල්පිතයක් නොවන බව තහවුරු කර ගත හැකි විය.කලක් රත්නපුර දිසාපති පදවිය හෙබ වූ සුනිල් කන්නන්ගර මහතා කියා සිටියේ 1880  දශකයේ උපන් තම පියාගේ මව ගේ උපන් ගම ඉලුඹකන්ද වන අතර තමන් කුඩා කාලයේ ඉලුඹකන්ද පිළිබඳ ප්‍රවාද රැසක් අසා ඇති බවකි.එමෙන්ම අද දක්වා ව්‍යවහාර වන එහි වැසියන් හඳුන්වන “කරසිංහ ආරච්චිගේ’ යන පෙළපත් නාමය එම ප්‍රදේශයේ රජ කෙනෙකුන් විසින් ප්‍රදානය කරන ලද්දක් බවට ප්‍රවාද අදත් එම ප්‍රදේශයේ පවතින බවය.ඒ අනුව සිරිලක පරසිඳු කැකිල්ලේ රජතුමා අතීතයේ  ඉලුඹකන්ද පාලනය කළ ප්‍රාදේශීය පාලකයකු බව පෙනෙයි


 අප රටේ වන ආවරණය ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වීම මත නුදුරු අනාගතයේ දීම අපට මුහුණ දීමට සිදුවන විපත්තිකර තත්වයන් පිළිබඳ ව අදාල පාර්ශවයන් වෙතින් දැනුවත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විශ්‍රාම ගැනීමට පෙර ඉලුඹකන්ද ඇතුළු සිංහරාජයට මායිම් වනාන්තර අක්කර හයදහස් එකසිය හතලිස් පහක් සිංහරාජ ලෝක උරුමයට එක් කිරීම පිළිබඳ ගැසට් පත්‍රයට අත්සන් තැබීය.සැබැවින්ම එය මෙරට රාජ්‍ය පාලකයකු සරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ගත් ඓතිහාසික ක්‍රියා මාර්ගයකි. නමුත් අද වන විට එළැඹී ඇති තත්වය කුමක්ද?


 හිටපු ජනපති වරයා විසින් අත්සන් තබන ලද එම ගැසට් පත්‍රය මේ දක්වා නිකුත් නොකොට එය අතුරුදන් කොට තිබේ  .එමෙන්ම තම තීරණයක් එලෙස කසල ගොඩට ඇද දැමූ රජයක වලිගයේ එම ජනාධිපති වරයා තවමත් එල්ලී හිඳියි


 එහෙත්, මෙහි මා දකින බිහිසුණුම තත්වය එය නොවේ.එදා පොතුපිටියේ දී මට හමු වූ “ජනතාව” බඳුම “ජනතාවක්’ ලංකාගම දී ජනපති වරයා හමුවට පැමිණ පරිසර වේදීන් හට ප්‍රසිද්ධියේ “රතු එළියක්” දැල්වීම සහ එය අනුමත කරන්නාක් මෙන්  ජනපති වරයා ද සිනා මුසුව එදෙස බලාසිටීමය.

ඒ අනුව සිංහරාජය අද්දරින් අතීතයේ ගිලී ගිය කැකිල්ලේ පරපුර ඊට ඉඳුරාම වෙනස් රෞද්‍ර ලෙසකින් යළි මතු වීමේ අවදානමක් දැන් අප හමුවට පැමිණ ඇතැයි මට සිතේ.  

තිලක් සේනාසිංහ

t

o

p