තම සිතුම් පැතුම් අරමුණු, ප්‍රාර්ථනා ඉටු කරගැනීම සඳහා කෙටි, පහසු, විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමු වීම නූතන සමාජ විලාසිතාවකි. පරිභෝජනවාදී සමාජ ආර්ථිකයේ දුර්දාන්ත ලක්‍ෂණයක් වන මෙය නූතන සමාජයේ අල්ලස, දූෂණය ආදී නීති විරෝධී ක්‍රියාවන් වඩාත් කුළුගැන්වීමට සමත් සාධකයක් වී තිබේ. තම පැතුම්, අරමුණු ඉටු කරගැනීම සඳහා මෙසේ කෙටි, පහසු විකල්ප ක්‍රම තෝරා ගැනීම ලෞකික සේම අධ්‍යාත්මික වශයෙන් ද සිදු කරන බවට ඉතා ප්‍රබල නිදසුනක් වත්මන් සමාජයෙන් සපයා ගත හැකිව තිබේ.
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ අසම සම වෘක්ෂය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ය. ඉන්පසුව එම බෝධි පරම්පරාවෙන් එන අෂ්ට ඵල, දෙතිස් ඵල ආදී වශයෙන් සැලකෙන බෝධීන් වහන්සේලාත් මෙරට බෞද්ධයන්ගේ ගෞරවාදරයට හිමිකම් කියති. එහෙත් බෝධි වංශය ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන් මගින් පැවසෙන එම බෝධි වෘක්ෂයන්ගෙන් වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු අද වන විට සැඟව පවතී.
ඒ හැරුණු කොට කළුතර, ගැටඹේ, මාතර ආදී මාර්ගාශ්‍රිත බෝධීන් ඇතුළු විවිධ විහාරාරාම ආශ්‍රිත තවත් බෝධීන් කිහිපයක් විශේෂ ආනුභාව සහිත බෝධීන් වශයෙන් මෙරට සාමාන්‍ය ජනතාව හඳුනාගෙන සිටිති. ‘කළුතර බෝ සමිඳුන්ගේ පිහිටයි’ ආදී පාඨ පෞද්ගලික බස්රථ ආදියේ පවා ප්‍රදර්ශනය වනුයේ එක් එක් බෝධී වෘක්ෂයන්ට ආවේණික වෙන වෙනම ආනුභාවයන් ඇතැයි යන විශ්වාසය නිසා විය හැක. එහෙත්, අප මේ කීමට යන්නේ ඒ පුරාතන හෝ ‘නූතන බෝධි වංශය’ පිළිබඳ නොවේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ බටහිර දොරටුව සමීපයේ වැලි මළුවේ පිහිටි බෝධියක් නොවන වෙනත් ‘හාස්කම් වෘක්ෂයක්’ පිළිබඳව ය.
මේ වන විට එය ප්‍රකටව ඇත්තේ ‘ප්‍රාර්ථනා ගස’ යනුවෙනි. දැනට සමාජයේ ශීඝ්‍රයෙන් පැතිර යන විශ්වාසයකට අනුව මෙය සඳුන් ගසකි. කිසියම් කෙනකු පැමිණ මෙහි කඳට අත තබා ගත් වනම යම් ප්‍රාර්ථනාවක් කළහොත් ඒකාන්ත වශයෙන්ම එය සඵල වෙයි. එමෙන්ම එසේ ඒ සඳුන් කඳ තදින් ස්පර්ශ කොට ඒ උණුසුමින් සිය මුහුණු තවා ගන්නා පිරිස් ද සිටිති. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය සමීපයට යන ඔබට නූතන බෞද්ධයන්ගේ ඒ සියලු ක්‍රියාකාරකම් මනාව දැක බලා ගත හැක.
තවද මෙම වෘක්ෂය හමුවේ විවිධ ප්‍රාර්ථනාවන් සිදු කරන සමහරකු එහි කඳෙහි ඇති පැලුම් අතරේ රුපියලේ, දෙකේ කාසි ද රඳවති. පසුගිය සමයේ වරින්වර මෙම වෘක්ෂය හා සම්බන්ධ පුද පිළිවෙත් සියුම් ලෙස නිරීක්ෂණය කළ අපට හොඳින් පැහැදිලි වූ එක් කරුණක් තිබිණ. එනම් එලෙස මෙම ප්‍රාර්ථනා ගස අබියසට පැමිණ පුද පිළිවෙත් කරන්නවුන් ගෙන් වැඩිම පිරිස වයස අවුරුදු පහළොවත්, තිහත් අතර තරුණ තරුණියන් බව ය. නමුදු බලහත්කාරයෙන් මෙන් තම කුඩා දරුවන්ගේ අත් සහ හිස් මෙම වෘක්ෂයට හේත්තු කරවන තරුණ මාපියවරුන් සේම බැරි බැරි ගාතේ පැමිණ මෙම රුක් කඳ අත්වාරුවට ගෙන මොන මොනවාදෝ මුමුණන වියපත් උවැසියන් සෑහෙන පිරිසක් ද මෙහි දී අපට නිරීක්ෂණය විය. එහෙත් මෙම ‘ප්‍රාර්ථනා ගස’ හා බුදු සසුන, ශ්‍රී මහා බෝධිය හෝ ලක් ඉතිහාසය අතර පවත්නා සබැඳියාව කුමක්ද? අප මේ පිළිබඳ විමසා සිටියේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී. ජී. කුලතුංග මහතා ගෙනි.
’පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ශාසනික වශයෙන් වැදගත් වෘක්ෂයක් අනුරාධපුරයට තියෙනවා නම් ඒ ශ්‍රී මහා බෝධිය විතරයි’ හෙතෙම කීය.
‘එතකොට ඔය ශ්‍රී මහා බෝධි වැලි මළුවේ තියෙන ප්‍රාර්ථනා ගහ වශයෙන් දවසකට දහස් ගණනකගේ ස්පර්ශය ලබන සඳුන් ගහ?’ එවිට මම ද ඇසීමි.
‘අපිට ඕනේ ගහකට ඕනේ නමක් දා ගන්න පුළුවන්නේ. එක ගහකට ප්‍රාර්ථනා ගහ කියන්න පුළුවන්, ඕනේ නම් තවත් ගහකට විරහ වේදනා ගහ කියන්නත් පුළුවන්. ඕවා ඔය ඊයේ පෙරේදා මිනිස්සු අතර පැතිරුණු මනස්ගාත. කොටින්ම ඕක සඳුන් ගහකුත් නෙවෙයි, දුම්මල ගහක්; වැඩිම වුණොත් අවුරුදු සීයක් හමාරක් වයස ඇති. කොහොම හරි ඕක වටේ මිනිස්සු රොක්වෙන්න පටන් අරන් නම් අවුරුදු විස්සකට වඩා නැහැ. අනූවේ දශකයේ මුල් හරියේ මම අනුරාධපුරේ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙනකොට ඕක නිකම් දුම්මල ගහක් විතරයි. කොහොම හරි දැන් නම් ඔන්න ඒක වටේට වැට ඉනි ගහලා. හෙට අනිද්දා වෙනකොට සංවිධාන මට්ටමින් ප්‍රාර්ථනා පූජා වගේ මොකක් හරි විහිළු සහගත නමක් දාලා කණ්ඩායම් වශයෙන් ඕකට පුද පූජා කරන්නත් පුළුවන්.’ මහාචාර්ය කුලතුංග වැඩි දුරටත් කීය.
මහාචාර්යවරයාගේ ප්‍රකාශයෙන් පසු මෙම වෘක්ෂය පිළිබඳව විමසුම් කළ අපට එය දකුණු ඇමෙරිකාව නිජබිම කොටගත් Fabaceae කුලයට අයත් Myroxylon balsamum යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ශාකයක් බව අනාවරණය විය.
ශ්‍රී ලංකාවේ නිවර්තන තෙත් කලාපයේ දැකිය හැකි මෙය සිංහලයෙන් ‘දුම්මල’ හෝ කට්ටකුමන්ජල් ගස් කියා හඳුන්වනු ලැබේ. ඒ එහි පොත්තෙන් ශ්‍රාවය වන කිරි හෝ ලාටුවලින් දුම්මල, කට්ටකුමන්ජල් ආදී සුවඳ ධූප නිපදවෙන බැවිනි. එනිසාම මෙම වෘක්ෂයේ කඳ ස්පර්ශ කොට අත්ල සිප ගැනීමෙන් නාසයට කුඩා කාලයේ සිට අපට හුරුපුරුදු ‘ආගමික සුවඳක්’ දැනෙනු ඇත. එය විශේෂ හාස්කමක් හෝ ආනුභාවයක් ලෙස යමකුට හැඟී යාමට එම සුවඳ ද හේතුවනු නියත ය.
‘ඕක දැන් ටික කාලෙක ඉඳලා හුඟ දෙනෙක් කරන විකාර වැඩක්, ඒක හරියට වදපු අම්මව පැත්තකට කරලා අම්මේ, අම්මේ කිය කියා පාරේ යන වෙන ගෑනු මනුස්සයකුගේ පස්සෙන් යනවාටත් වඩා මෝඩකමක්.’ මේ පිළිබඳ කළ විමසුමක දී අපට එසේ කියා සිටියේ ශ්‍රී මහා බෝධි ආරක්ෂක පරපුරකින් පැවතෙන බව කියන එච්. ජී. ගුණවර්ධන කපු මහතා ය. ඔහු ශ්‍රී මහා බෝධිය ආශ්‍රිතව බැතිමතුන් උදෙසා දේව කන්නලව් වල යෙදෙන්නෙකි.
‘අතීතයේ ඉඳලම අපේ මිනිස්සු ජය ශ්‍රී හාමුදුරුවන් ළඟට ඇවිත් මෙලොව පරලොව දියුණුව පැතුවා, ඒත් දැන් ඔය වැලි මළුවේ තියන දුම්මල ගහක් බදාගෙන කරන විකාරේ ජය ශ්‍රී හාමුදුරුවන්ට කරන නින්දාවක්, අපහාසයක්’ හෙතෙම කීයේ කිසියම් සංවේගයකින් මෙනි.
ශ්‍රී මහ බෝධියේ බටහිර වාසල් දොරකඩ අද්දර දේව කන්නලව් සිදුකෙරෙන ස්ථානයක් ද ඇත. ඒ පරම්පරා කිහිපයකට අයත් කපු පරපුරක් විසිනැයි කියනු ලැබේ. ශ්‍රී මහ බෝධියට අරක් ගත් කළු දේවතා බණඩාර නම් දෙවියන් උදෙසා සිදු කරන මෙම කන්නලව් භාරහාර වීම් මහනුවර යුගයේදී පමණ ඇරඹෙන්නට ඇතැයි විශ්වාස කළ හැක.
නමුත් ශ්‍රී මහ බෝධියේ බටහිර වාහල් දොරකඩ සිට කළු දේවතාවට කන්නලව් කිරීමට පැමිණෙන පිරිස් අනුව එම කන්ලව්වලට කන් දීමත් පිහිට වීමත් හැරුණු කොට ශ්‍රී මහ බෝධියට රැකවරණ දීමටවත් ඔහුට වේලාවක් ඉතිරි වේදැයි සැක සහිත ය. මෙවන් තත්වයක් තුළ ශ්‍රී මහ බෝධිය වැඳීමට සහ කළු දේවතාවුන්ට කන්නලව් කිරීමට එන පිරිස අතරට මෙම දුම්මල ගස අත පත ගෑමට හෝ එහි මුහුණ උලා ගැනීමට එන පිරිස් ශ්‍රිඝ්‍රයෙන් වැඩිවීම සමාජ විමර්ශකයන්ගේ සුවිශේෂ අවධානයට යොමු විය යුත්තකි.
‘මේ අධි පරිභෝජනවාදී සමාජය තුළ මිනිසුන්ගේ තෘෂ්ණාව, ආසාව. ඒ වගේම අසරණකම පුදුම විදිහට ඉහළ නැංවිලා තියනවා; ඒ වගේම ඒ ආශාවන් අසරණකම් මුල් කරගත්තු බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පහසු, කෙටි ක්‍රම සොයමින් දඟලන එක අද සාමාන්‍ය සමාජ ලක්ෂණයක්. මේ වගේ සාම්ප්‍රදායික නොවන අලුත් අලුත් ජන වන්දනා ජන අභිචාර සමාජයේ වර්ධනය වන්නේත් ඒ නිසයි.’ මේ සම්බන්ධයෙන් අප හා අදහස් දක්වමින් එසේ කීයේ පේරාදෙණි විශ්වවිද්‍යාලයීය සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා ය.
‘මේක බෞද්ධ සාරධර්ම නිසි පරිදි අපේ සමාජයට සම්ප්‍රේෂණය නොකිරීම පිළිබඳ ප්‍රශ්නයක්. එහි වරද ප්‍රධාන වශයෙන් පැටවෙන්නේ අපේ රටේ සංඝ සමාජයට.’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ විහාරාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය බමණුගම ශාන්ත විමල හිමියෝ එසේ කියති. ‘අද වෙන කොට ශ්‍රී ලාංකීය ජන සමාජයේ සදාචාරාත්මක පක්‍ෂය අව ප්‍රමාණ වී තිබෙන්නේ ලෞකිකත්වය පදනම් කර ගත් ඔවැනි ජන වන්දනා අභිචාර ශ්‍රිඝ්‍රයෙන් ඉහළ නැංවීම හින්දයි. බෞද්ධ ලේබලයෙන් යුතුව සමාජ ගත වුණත් මේවායේ කිසිදු බෞද්ධ දාර්ශනික අගයක් නැති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුයි. මෙවැනි නිසරු වත් පිළිවෙත් වලට බොහෝ දෙනෙක් යොමු වන්නේ තමන්ගේ අසරණ බව නිසයි. මේ අසරණ බව මිල මුදල් මතම පදනම් වන්නක් නොවේ.
අපේ සමාජය තුළ ජීවත් වන මහා ධන කුවේරයන් තුළ පවා විවිධාකාර අසරණකම් තිබිය හැකියි. අපිට ජීවත් වීමට වතුර අවශ්‍යයයි. නමුත් අපි බොන වතුරවල යම් ප්‍රමිතියක් බලාපොරොත්තු වෙනවා. නමුත් පිපාසය දැඩිවෙලා අපිව විජලනයෙන් මැරෙන්න ගියොත් අපි ප්‍රමිතිගත වතුර හම්බුවෙන කම් ඉන්නවද? නැතුව පාර අයිනේ තියෙන කුණු කානුවකින් හරි වතුර බීලා ජීවිතේ රැක ගන්න තමයි බලන්නේ, ඔය වෘක්ෂ වන්දනාවත් මම දකින්නේ ඒ වගේ වැඩක් හැටියට’.
ශ්‍රී මහ බෝධිය නැරඹීමට ලොව බොහෝ රටවලින් සංචාරකයෝ පැමිණෙති. එමෙන්ම ඔවුන් එසේ පැමිණෙනුයේ ශ්‍රී මහ බෝධිය හා සම්බන්ධ කිසියම් ආගමික හා ඓතිහාසික දැනුමකින් ද යුතුව ය. එසේ පැමිණෙන ඔවුන් හට ශ්‍රී මහ බෝධිය පසෙක තිබියදී කොහේවත් තිබෙන ගසක් මුල්කොට මෙවැනි අත පත ගෑම්, සිප වැළඳ ගැනීම් සිදුකරන ශ්‍රී ලාංකිකයන් දුටු විට ඇතිවිය හැකි හැඟීම කුමක් විය හැකි ද ?
මේ පිළිබඳව කිසිවක් නොපවසන මම ඒ පිළිබඳව වැඩිදුර සිතා බැලීම ඔබටම භාර කොට නිහඬ වෙමි.
තිලක් සේනාසිංහ