එ.ජා.පයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම කෙනා රනිල්

August 19, 2020

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිවිශිෂ්ට දැනුම ,අත්දැකීම් ,පළපුරුද්ද සහ භාවිතය සමග සම කරන්නට  ලංකා පාර්ලිමේන්තුවේ කිසිවකුත් නැතැයි ද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැකෙන සලකුණක් වූ එතුමා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කණගාටුවට පත්වන්නේ යැයිද සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය .

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට  සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ බව කී නලින් බණ්ඩාර මහතා ඉදිරි වසර පහේ ද එතුමාගේ භාවිතය තිබුණා නම් එය ලොකු වාසියක් බවද සඳහන් කළේය.


ඇතුල් කෝට්ටේ සමගි ජන බලවෙිග කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවේ දී ” රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී  දණ නමනු ඇතිදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  වැඩිදුරටත් අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා මෙසේද කීය.එතුමා දණ ගැසිය යුතු නැහැ.එමෙන්ම එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක්.රනිල් වික්‍රමසිංහ මහතා වැනි කෙනෙක් පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන මම අදටත් කම්පා වෙනවා .

ඔහු සිටිය යුතුම කෙනෙක්.එතුමාගේ තිබෙන  අත්දැකීම් දැනුම පළපුරුද්ද  අපත් ලබා තිබෙනවා.මේ වසර පහෙත් ඒ භාවිතාව තිබුණා නම් එය අපටත් ලොකු හයියක්.එමෙන්ම අපේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු වාසියක් .රනිල් යනු මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නොමැකෙන සලකුණක් .ඒ සලකුණ අද පාර්ලිමේන්තුවේ නැහැ.ඒ ගැන මා කණගාටු වෙනවා.එතුමා පාර්ලිමේන්තුවේ සිටියා නම් මා බොහෝ සතුටු වෙනවා.එතුමාගේ දැනුම අත්දැකීම් පළපුරුද්ද මෙන්ම භාවිතය අති විශිෂ්ටයි.

ඔහු සමඟ සම කරන්න අපේ පාර්ලිමේන්තුවේ කිසිවකුත් නැහැ .එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසුම පුද්ගලයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි.පාර්ලිමේන්තුවේ කාර්යභාරය දන්න සුදුසුම කෙනා එතුමායි.එතුමා පත් කරන්නැයි  අත්සන් කර ලියුමක් යවන්නට මට පුලුවන්නම් මම ඒක යවනවා යැයි නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

t

o

p