පූසෙකු ලවා හිර ගෙදරට කුඩු අද්දවන්න හදලා!

August 3, 2020

මත් කුඩු ග්‍රෑම් 1.7ක්,සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි කාඩ් පතක් සහිත කුඩා පාර්සලයක් ගෙලෙහි බැඳ තිබියදී කොළඹ මැගසින් බන්ධනාගරයට පිවිසෙමින් සිටි බළලෙකු අගෝස්තු 01 දා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගේ භාරයට පත්ව ඇත.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත්ව සිටින මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු ගේ ඉල්ලීම පරිදි බන්ධනාගාරයට නුදුරු තැනක සිට රිමාන්ඩ් බන්ධනාගාර පරිශ්‍රයේ දිවි ගෙවන මෙම බළලා ලවා මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කරන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු සැක පළ කරති.

මීට ප්‍රථම බන්ධනාගාර රැඳවියන් ඉලක්ක කොට බන්ධනාගාර තාප්පයට ඉහළින් යම් යම් නීති විරෝධී දේ වීසි කිරීම් පිළිබඳ ව වාර්තා වුවද සතකු මුල් කොට එවැනි නීති විරෝධී ක්‍රියාවක් වාර්තා වූ මුල්ම අවස්ථාව මෙය බව ද බන්ධනාගාර නිලධාරීහු කියති.මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම පාර්සලය සහ බළලා බොරැල්ල පොලීසිය වෙත භාර දුන් බව බන්ධනාගාර කොමසාරිස් [පාලන] චන්දන ඒකනායක මහතා කියයි.

මේ අතර මීගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී පොලිස් භාරයට පත් මත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන ඇලි කුස මුහුදු රාජාලි වර්ගයට අයත් උකුස්සා ද අධිකරණ නියෝග මත මේ වන විට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දී තිබේ.

මිනිසුන්ගේ ආහාර-පාන,වස්ත්‍රාභරණ,විනෝදාංශ සහ පර්යේෂණ සඳහා සතුන් යෙදවීමට එරෙහිව විරෝධය පළ කරන සත්ව අවිහිංසාවාදීන්ට සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන්ට මින් ඉදිරියට නීති විරෝධී කටයුතු වෙනුවෙන් සතුන් යෙදවීමට එරෙහිව ද නැඟී සිටීමට සිදු වීම වත්මන් සමාජ අපගමනය මැනැවින් විදහා දක්වන්නකැයි සමාජ විද්‍යා මහාචාර්ය දයා අමරසේකර මහතා කියයි

තිලක් සේනාසිංහ

t

o

p