අනුරපුර පුද බිමෙන් ඇසෙන ‘බලු නොවන’ කතාවක්

July 26, 2020

ලොව සෑම මිනිස් සමාජයක්ම අඩු වැඩි වශයෙන් ගැටුම් අර්බුද ආදියෙන් පිරී පවතී. ලොව සමාජ විද්‍යාඥයන් පවසන පරිදි විධිමත් සමාජ සංවිධානය නම් වන යාන්ත්‍රණය මගින් මෙම ගැටුම් අර්බුද යම් ප්‍රමාණයකට පාලනය කර ගත හැක. හුදෙක් මිනිසත් බව පාදක කොට ගත් මෙම ගැටුම් අර්බුද වලදී මිනිසත් බවෙහි අව ප්‍රමාණවීම දැක්වීම පිණිස ලොව පුරා යෙදෙන පොදු ව්‍යවහාරයක් තිබේ.

මිනිසුන් හට එල්ල කෙරෙන පරම නිග්‍රහයක් සේ සැලකෙන එම වදන ‘බලු’ යන්නය. වර්තමානයේ අප රටේ මෙම ‘බලු’ යන වදන එදිනෙදා ව්‍යවහාරික වදන් අතරින් ශීඝ්‍රයෙන් ඉදිරියට එමින් තිබේ. යම් යම් පුද්ගලයන්, තනතුරු, ප්‍රජාවන් සේම සමස්ත සමාජයම ‘බලු’ වී ඇති බවට පැන නැඟී ඇති පොදු ජන කතිකාවත ද සුළුවෙන් තැකීමට නොපුළුවන.

තත්වය මෙසේ තිබියදී මිනිසුන්ගේ අධම, පහත්, නීච, නින්දිත බව පළ කිරීම සඳහා යොදනු ලබන ‘බලු’ ආමන්ත්‍රණයට, ව්‍යවහාරයට මුල් වන සුනඛයාගේ තත්වය සෑම සමාජයකම ශීඝ්‍රයෙන් ඉහළ නැඟෙමින් පවතී. කෘතඥතාව පළ කිරීම වැනි මිනිසුන් කෙරෙන් අවප්‍රමාණ වන උතුම් ගුණධර්ම සුනඛයන් කෙරෙන් වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබීම මිනිසුන්ගේ අගය හා තුලනාත්මකව සුනඛ අගය වැඩි කරවන්නක් ලෙස සමාජ විද්‍යාඥයෝ හඳුන්වති.

මේ අතර අප රටේ ද වර්තමාන දේශපාලනික, ආර්ථික, සමාජ අවනතිය හමුවේ සුනඛයන්ගේ අගය වේගවත්ව ඉහළ නැංවෙන බව නොයෙකුත් සමාජ දර්ශක මගින් පෙන්නුම් කෙරේ. නමුදු ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සමාජ මනෝ විද්‍යාත්මක හෝ මානව විද්‍යාත්මක විග්‍රහයක් සිදුව ඇති බවක් නොපෙනේ. නමුදු අතීතයට සාපේක්‍ෂව පුද්ගල, ප්‍රජා සහ සමාජ සංවිධාන මට්ටමින් සුනඛයන් වෙනුවෙන් කැප වී ක්‍රියාකරන යාන්ත්‍රණයන් මේ වන විට අප සමාජය තුළ ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වෙමින් පවතී.

මෙවන් පසුබිමක් තුළ වත්මන් කොරෝනා වසංගතයත් සමඟ අනුරාධපුර පූජා නගරය වෙත වන්දනා කරුවන් ගේ පැමිණීම අඩු වීම, ඒ ආශ්‍රිතව ජීවත් වන හත්සියයකට ආසන්න නිවාස අහිමි සුනඛයන්ගේ පැවැත්මට පවා බරපතළ තර්ජනයක් වී ඇතැයි අනුරාධපුර, සුනඛ මිතුරු සංසදයේ සභාපති නීතිඥ හේරත් බණ්ඩා රත්නායක මහතා කියයි.

අනුරාධපුරයට පැමිණෙන වන්දනා කරුවන් ගෙන් සහ ඔවුනට ආහාර සැපයූ බොජුන් හල් වල ඉඳුල් වලින් යැපුණු එම සුනඛයන් අවසිහියෙන් යුතුව සාගින්දරින් ඒ මේ අත දිව යද්දී රථ වාහන වලට හැපී මිය යාමේ සම්භාවිතාවක් ද පැන නැඟී ඇතැයි ඒ මහතා වැඩි දුරටත් කියා සිටියි. මිනිස් ගුණධර්ම අවප්‍රමාණ වීමට සාපේක්‍ෂව තම උතුම් ගතිගුණ මිනිසුන් හමුවේ එළිදක්වන මිනිසාගේ සමීපතම හිත මිතුරන් වන සුනඛ ප්‍රජාව මුහුණ දී ඇති මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම පිණිස මම පසුගිය දිනවල අනුරාධපුර පූජා නගරයේ සංචාරය කළෙමි.

අනුරාධපුර සමාධි පිළිමය අද්දර ජීවත් වූ අවට කඩ හිමියන් ‘කොමලී’ නමින් හඳුන්වනු ලැබූ සුනඛ ධේනුව පසුගිය ජූලි 11වන සෙනසුරාදා එම ස්ථානයේ දීම මෝටර් රථයක හැපී බරපතළ තුවාල ලැබුවාය. එහෙත්, අවට කඩ හිමියන් ඒ වන විට පත්ව සිටි ආර්ථික දුෂ්කරතා නිසා කොමලී පශු වෛද්‍ය වරයකු වෙත රැගෙන යාමට කිසිවකුටත් නොහැකි විය.

පසුව ජූලි 14 වන සඳුදා උදෑසන එම ස්ථානයේ සේවයට වාර්තා කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියේ කම්කරු වෘත්තියක යෙදෙන ඩබ්ලිව්. පී. ධනවතී මහත්මිය, කොමලී තම මෝටර් සයිකලයේ නංවා ගෙන පශු වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් ඉන්පසු ගල්කඩවල පිහිටි තම නිවස වෙත රැගෙන ගියාය. දැන් කොමලී ධනවතී මහත්මිය ගේ රැකවරණ ලබමින් සිටියි. කොමලී සම්බන්ධයෙන් ‘අහිංසා ශ්‍රී ලංකා ෆේස් බුක්’ වෙබ් අඩවිය ඔස්සේ ලැබුණු ප්‍රසිද්ධිය මත දුරකථන මගින් විශාල පිරිසක් තමන් වෙතින් කොමලීගේ සුවදුක් විමසා සිටි බව ධනවතී මහත්මිය අප හා කීවාය.

අප රටේ සෙසු ප්‍රදේශ වලට සාපේක්‍ෂව අනුරාධපුර පූජා නගරය තුළ සුනඛ බහුලත්වයක් දක්නට ලැබීම සාමාන්‍ය තත්වයකි. ඉන් වන්දනාකරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන් යම් යම් අපහසුතාවයන්ට මුහුණ දෙන අවස්ථා ද නැත්තේ නොවේ. අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසනුයේ රුවන්වැලි මහ සෑ පරිශ්‍රය තුළ සුනඛයන් දක්නට ලැබීම ඇතැම් වන්දනාකරුවන්ගේ පිළිකුලට සහ අප්‍රසාදයට හේතු වී ඇති බවකි.

“ඔය කාරණය සම්බන්ධයෙන් අපිටත් වරින් වර පැමිණිලි ලැබෙනවා. ඒ නිසා අපි ඒ සතුන්ට රුවන්වැලි සෑයේ සලපතල මළුවට සහ වැලි මළුවට පිවිසීමට ඉඩ දෙන්නේ නැහැ. නමුත් පූජා භූමි පරිශ්‍රයේ ඔවුන්ට ජීවත් වීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට අපට බැහැ. මේ රුවන්වැලි සෑ ස්ථූපය නිමවා ඇත්තේ මීට අවුරුදු 2180කට ආසන්න කාලයක. නමුත් අපේ රටේ ජීවත් වන ගෘහස්ථ සුනඛයන් ගේ ඉතිහාසය මීට අවුරුදු දොළොස් දහසකටත් වැඩි අතීතයකට දිවයන බව 2004 වසරේ බෙල්ලන්බැඳි පැලැස්ස එළිමහන් මානව ජනාවාසයක කළ පුරාවිද්‍යා කැනීම් වලදී විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ රුවන්වැලි සෑ ස්ථූපය හදන භූමියෙත් මේ ස්ථූපය තැනීමට පෙර සිට සුනඛයන් ගැවසෙන්නට ඇති. ඒ නිසා බෞද්ධයන් වශයෙන් ඔවුන් සමූල ඝාතනය කිරීම හෝ අවතැන් කිරීම අපට කිසිසේත් කළ නොහැක්කක්. අපට මෙහිදී කළ හැක්කේ මිනිසුන්ගේ සේම ඒ සතුන්ගේ ද අයිතිය සුරැකෙන විධිමත් කළමනාකරණ වැඩපිළිවෙලකට පිවිසීම පමණයි.”

රුවන්වැලි මහ සෑ විහාරාධිති නාහිමියන් පැවසූ ශ්‍රී මහ බෝධිය, රුවන් වැලි සෑය, ථූපාරාමය ආශ්‍රිතව දිවි ගෙවන සුනඛයන්ට වඩා අභයගිරිය, සමාධි පිළිමය, කුට්ටම් පොකුණ සමීපයේ ජීවත් වන සුනඛයන් බරපතළ ආහාර අහේනියකින් පෙළන බව මෙහි දී අපට නිරීක්ෂණය විය. එමෙන්ම ජනාවාසකරණය අඩු බැවින් නිවාස වලින් මෙම ප්‍රදේශයට සුනඛ පැටවුන් ගෙනවුත් දැමීම බහුලව සිදුවන බව පැවසූ අභයගිරි ව්‍යාපෘති සේවකයන් පවසා හිඳිනුයේ එසේ ගෙනවුත් දමන ලද සුනඛ පැටවුන් නිරාහාරව දුබල වන අතරේ පණ පිටින්ම කපුටන්ට ගොදුරු වනු තමන් සියැසින්ම දකින බවකි.

මෙය එම ව්‍යාපෘතියේ සේවය කරන්නන් තුළ දැඩි මානසික කම්පනයක් ඇති කරන්නක් බව ද ඔවුහු කියති. මේ අතර පසුගිය 22 නි දා අභයගිරි දාගැබේ උතුරු ප්‍රාකාරය සමීපයට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සුනඛ පැටවුන් සය දෙනෙකු එහි දමා පලා ගොස් ඇත. ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වූ අභයගිරි ව්‍යාපෘතියේ සේවය කරන තරුණයන් දෙදෙනකු යතුරු පැදියකින් ඔවුන් ලුහු බැඳ ගොස් ඇතත් එම පුද්ගලයන් දෙදෙනා මඟ හැරී තිබේ.

පසුව එම සුනඛ පැටවුන් දාගැබ සමීපයේ ජීවත් වන සුනඛ ධේනුවකට තම මව යැයි රැවටී හඬා වැටෙමින් ඇගෙන් කිරි බීමට වෙර දැරූ බවත් ඇය තුළ ”මව් කිරි” නොතිබූ බවත් අභයගිරි ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් කියති. ඒ පිළිබඳ පුවත ”අහිංසා ශ්‍රී ලංකා’ ෆේස් බුක් පිටුවේ පළ වී පැය කිහිපයක් ඉක්ම යාමටත් පෙර එම රාත්‍රියේම අනුරාධපුර, ඉදිකිරීම් සමාගමක අධ්‍යක්ෂ මංජුල කාන්ගර මහතා සමඟ පැමිණි ඔහුගේ දියණිය අනුපි සේසධී (17) සහ පුතු සනුක් තේමිත (12) සුරතලයට ඇති දැඩි කිරීම පිණිස ඉන් පැටවුන් දෙදෙනකුම රැගෙන ගියහ.

අනුරාධපුර පුදබිම තුළ මෙලෙස සුනඛයන්ට අත්වන ඛේදනීය ඉරණම තවදුරටත් බලා සිටිය නොහැකි බව පවසන එම පුරාවිද්‍යා ව්‍යාපෘති සේවකයන් පවසනුයේ මින් මතු සුනඛ පැටවුන් එලෙස පූජා භූමියේ අතරමං කිරීමට රැගෙන එන පුද්ගලයන්ට එරෙහිව සංවිධානාත්මකව තම ”බාහු බලය” යෙදවීමට පවා සමහරුන් සූදානමින් සිටින බවය.

යමක් සම්බන්ධයෙන් නීත්‍යයානුකූල පියවර ගත හැකිව තිබියදී ඒ සම්බන්ධ අනීතික පියවර ගැනීම ද ‘බලු’ වැඩක් සේ යමෙකුට හැඟී යාමට පුළුවන. නමුත් යම් යම් පුද්ගල තරාතිරම්, දේශපාලනික බලපෑම් මුල් කොට නීතිය ‘වකගැසෙන’ අවස්ථාවන්හි දී විවිධ සමාජ අසාධාරණයන්ට එරෙහිව ජනතා නැඟීසිටීම් ‘බලු’ වැඩ සේ හැඳින්වීමට පෙර අප ඒ සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බැලිය යුතු යැයි මට සිතේ. මිනිසාගේ සමීපතම මිතුරන් වන සුනඛ ප්‍රජාව අනුරපුර තුළදී මුහුණ දෙන ඛේදනීය තත්වය පිළිබඳ මෙම සටහන සමාප්ත කරමින් මට කීමට ඇත්තේ එපමණකි.

තිලක් සේනාසිංහ

t

o

p