මිනිසා තිරිසනා ගෙන් වෙන් කෙරෙන ප්‍රධානතම කඩ ඉම් අතරට ඇඳුම්-පැළඳුම් අයත් වෙයි. ‘පැළඳුම්’ යනුවෙන් අදහස් කරනුයේ ඇඳුම් ඇඳීමෙන් පසුව ඒවාට හෝ සිය සිරුරට සෘජුවම සම්බන්ධ කර ගනු ලබන ද්විතීයික උපකරණ විශේෂයකි.
විලි වසා ගැනීම, ශරීරය අලංකාරවත් කරගැනීම, උණුසුම ආරක්ෂා කර ගැනීම ආදී ඇඳුම් වලින් සිදුකෙරෙන මූලික අංගවලට අයත් නොවන මෙම ආභරණ යන්න ද සැලකිල්ලට ගත් විට සමස්ත ඇඳුම් ඇඳීමේ කාර්යය ‘වස්ත්‍රාභරණ වලින් සැරසීම’ වශයෙන් හුවා දක්වනු ලැබේ.
ඇඳුම් ඇඳීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයට පොදු වුවද මෙම ආභරණ පැළදීමේ දී කාන්තාව පිරිමියා අභිබවන බව ලොව පුරා දක්නට ලැබෙන පොදු තත්වයකි. නමුත් යුරෝපා, ඇමරිකා ආදී රටවලට සාපේක්‍ෂව කාන්තාවන් තුළ පවතින මෙම සුවිශේෂත්වය වඩාත් පැහැදිලිවම දැක ගත හැක්කේ ආසියානු සහ අප්‍රිකානු ජන සමාජයන් තුළිනි.
ආභරණ ඇතුළු අනේක විධ පළඳනා මගින් අපේක්‍ෂා කරන කරුණු කිහිපයක් තිබේ. අලංකාරය, සුන්දරත්වය තම සමාජ, ආර්ථික තත්වය, තේජස සමාජය හමුවේ නිරූපණය කිරීම ඉන් ප්‍රධාන වෙයි.
පවුම් කිහිපයක රන් මාලයක් පැළඳ සිටින කාන්තාවක කෙරෙන් යම් අතිරේක සුන්දරත්වයක් පළ විය හැක. එමෙන්ම ඇඳ සිටින කමිසයේ කොළරයට එතරම් ආර්ථිකමය වටිනාකමක් නොමැති වුවත් ටයි පටියක් සම්බන්ධ කරගෙන සිටින පිරිමියකු තුළින් විශේෂ වැදගත් බවක්, සමාජ තත්වයක් නිරූපණය වෙයි.
මීට අමතරව පොලිස් සහ ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු නිල ඇඳුම් කාර්යය මණ්ඩලවල තනතුරු, මට්ටම පෙන්වීම ද හුදෙක් නිල ලාංඡන සහ පදක්කම් මගින් සිදු කෙරේ. මේ අතර ඇතැම්හු අන්‍යයන් කෙරෙන් සුවිශේෂ අවධානයක් දිනා ගනු පිණිස ද අතිප්‍රාමාණික ලෙස ආභරණ පැළඳීම කරති.
පසුගිය කාලය තුළ එක්තරා මාධ්‍ය ආයතනයක් මගින් ව්‍යාජ ජනප්‍රියත්වයක් ආරෝපණය කරන ලද ‘ගාල්තැන්නේ කපුවා’ නම් කුප්‍රකට පුද්ගලයා රත්ත්‍රරන් කිලෝ ගණනක් ශරීරයේ රඳවාගෙන හිඳීම ද එක් නිදසුනකි.
මේ අතර මෙම ආභරණ පැළඳීමේ තවත් අරමුණක් ලෙස ගුප්ත ආරක්ෂාවක් ලබා ගැනීම ද සඳහන් කළ හැක. ඉංග්‍රීසි බසින් Amulets නමින් හැඳින්වෙන මේවා එක් එක් සමාජයන් හි ඒ ඒ සමාජ සංස්කෘතික පසුබිම හා බැඳී පවතී.
ලෝක නායකයන් ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රාජ්‍ය නායකයන් ද විවිධාකාර ගුප්ත ආරක්‍ෂක ක්‍රමෝපායන් අනුගමනය නොකරතැයි සිතීමට අපට නොපුළුවන. විවිධාකාර රෝග පීඩා, අමනුෂ්‍ය උපද්‍රව ඇතුළු විශ්වයේ ඇතැයි ජන විඥානයේ පවතින නපුරු, පාපී, දුෂ්ඨ බලවේග සහ අනේක විධ සතුරු කරදර ආදියෙන් අත් මිදීම පිණිසත්, ආයුෂ, වර්ණය, සැපය, බලය වන ප්‍රධාන ලෞකික අවශ්‍යතා, අරමුණු ශාක්ෂාත් කරගැනීම පිණිසත් මෙම ආරක්‍ෂක පළඳනා ඉවහල් වන බවට ලොව බොහෝ දෙනෙක් විශ්වාස කරති.
අප රටේ ජන සංස්කෘතිය අනුව විවිධ පුද්ගලයන් තුළ පවතින මෙම මානසික අවශ්‍යතාව සංතෘප්ත වනුයේ ‘සුර පැළඳීම’ මගිනි. එහෙත්, බොහෝ විට පෞද්ගලික රහසිගත මට්ටමින් සිදුකරන එම ආරක්ෂක පළඳනා ප්‍රසිද්ධියේ සමාජ කරලිය වෙත ගෙන ඒම අතින් අප රටේ ඇතැම් දේශපාලනඥයෝ ලෝක නායකයන් ද අභිබවා සිටිති.
මගේ පෞද්ගලික වැටහීම අනුව ඒ අතින් නූතන දේශපාලන කරලියේ සුවිශේෂ භූමිකාව වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වෙයි. ‘වශී බෝලය’ යන ජනප්‍රිය නමින් හැඳින්වෙන ‘වජ්‍රය’ නම් වන ගුප්ත ආරක්ෂක මෙවලමක් සුරතෙහි රඳවා ගනිමින් ඔහු ජාතිය ඇමතූ අවස්ථාවන් සේම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වලට සම්බන්ධ වූ අවස්ථා පිළිබඳව ද විද්‍යුත් සාක්ෂි තිබේ.
නමුදු අගමැතිවරයා ගේ දේශපාලන දිවියේ මුල් අවදියේ සිට ඔහු හා උරෙන් උර ගැටී කටයුතු කළ බොහෝ දෙනකු පවසනුයේ අතීතයේ සිට මහින්ද රාජපක්‍ෂ මහතා ගුප්ත විශ්වාස කෙරෙහි ඇලී ගැලී ජීවත් වූවකු වුව ද ඔහු ඒ බව එළිපිට ප්‍රකාශ කිරීමට පටන් ගන්නා ලද්දේ 1993 වසරේ බලයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයෙන් ඔහු වෙත දරුණු කෙනෙහිලිකම් එල්ල වීමෙන් පසුව බවය.
ඒ කෙසේ වුව අගමැතිවරයා තම තරුණ වියේදී සමාජය හමුවේ ප්‍රසිද්ධියේ හෙලි දක්වනු නොලැබූ මෙම ගුප්ත ලෝලීත්වය ඔහුගේ දෙටු පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තම දිවියේ තුන් වන දශකයේදීම ප්‍රදර්ශනය කරන බව ඔහු එම වජ්‍රයක් හෙවත් වශී බෝලයක් සුරතේ රඳවා ගෙන හිඳින ඡායාරූප වලින් පෙනෙයි.
එහෙත් මෙම ප්‍රදර්ශනාත්මක ගුප්ත ලෝලීත්වය කිසිදු සිවිල් සාමාජීය සහ ප්‍රජාතන්ත්‍රීය අර්ථ කථනයක් දීමට නොහැකි මුත් එම පවුලේ සාමාජිකයන් ගේ මුවින් නිතර ප්‍රකාශ කරන ‘රාජපක්ෂ වරුන්’ ගේ පවුල් පරාසයෙන් බැහැරව ද ව්‍යාප්ත වී තිබේ.
ඊට හොඳම නිදසුන වනුයේ 2015 වසරේ දී පසුගිය ජනාධිපතිවරණ සටනට පිවිසි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද තම ප්‍රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන මහින්ද රාජපක්‍ෂ මහතා අනුගමනය කරමින් එවැනිම ‘වජ්‍රයක්’ රැගෙන සිය මංගල දේශපාලන රැලිවලට එක්වීමය.
එසේම එම සමයේ සමාජගත කළ ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ගීතයක ‘සුරත දරා ජය කුන්තා’ යන වදනක් ද සඳහන් විය. එහෙත් ඒ කාලයේ ඔහුගේ බුද්ධිමත් සමීපතමයකු විසින් එය ‘අල්ලා කහල ගොඩකට විසි කර දැමීම’ නිසාදෝ ඊට පසුව හිටපු ජනාධිපතිවරයා ගේ සුරතේ එවැන්නක් දක්නට නොතිබිණ.
ඒ කෙසේ හෝ එම ජනාධිපතිවරණ සමයේ තමන් සතු ඒ වජ්‍රය නම් වන ආරක්ෂක මෙවලම අතින් බිම නොතැබූ රාජපක්ෂ මහතා පරදවා එවන් වජ්‍රයක් නොමැතිව ජනාධිපතිවරණ සටනට පිවිසි සිරිසේන මහතාට 2015 වසරේ එම සටනින් ජය අත්විය.
නමුදු ඉන් පාඩමක් ඉගෙන නොගත් රාජපක්‍ෂ මහතා සිය සුපුරුදු වජ්‍රය යළි සුරතට ගෙන තිබේ. සුර ආදී ගුප්ත ආරක්ෂක පළඳනා සිරුරේ කිනම් හෝ ස්ථානයක පළඳවා ගත යුතුය. ඒ අනුව ‘සුර’ ගෙලෙහි පැළඳිය යුතු වන අතර මැණික් වර්ග නවයක් සිරුරේ ස්පර්ශ කර ගැනීමෙන් නව ග්‍රහයන් ගේ ආරක්ෂාව සැලසේය යන ගුප්ත සංකල්පය මත නිමැවුණු ‘නව රත්න මුද්ද’ අතැඟිල්ලක පැළඳිය යුත්තකි.
එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා ගේ සුරතේ නිතර දක්නට ලැබෙන කොටි ඇස නම් පාෂාණමය වළල්ල (tiger eye bracelet) ද එවැනි ආරක්‍ෂක පළඳනාවකි. නමුත් ඊට සාපේක්‍ෂව මෙම වජ්‍රය නම් වන ආරක්ෂක මෙවලම පළඳනාවක් නොවන්නේ එය හුදෙක් සුරතේ තබා ගත යුත්තක් වශයෙන් භාවිත කෙරෙන නිසාය. නමුදු ඇතැම්හු මේවා ගෙල පළඳනා ලෙස ද යොදා ගනිති.
මෙවන් ආරක්ෂක පළඳනා සහ මෙවලම් භාවිතය ආගමික සංකල්ප හා මුසුවන අවස්ථා ද තිබේ. එහෙත් මේවා පිළිබඳව මානව විද්‍යාත්මකව සිදුකරනු ලබන විමසුම් වලදී තහවුරු වනුයේ මෙම ගුප්ත විශ්වාස ලොව ආගම් ආරම්භ වීමටත් පෙර සිටම මිනිස් සිත් සතන් තුළ පැවැති බවකි. එමෙන්ම ඒවා මගින් ලොව මූලික ආගම් සඳහා අවශ්‍ය සමාජ මනෝ විද්‍යාත්මක පසුතලය නිර්මාණය වූ බව ද මානව විද්‍යාත්මකව පිළිගැනීමට ලක්ව තිබේ.
විශ්වයෙන් තමන් වෙත එල්ල වන නපුර, අයහපත දුරු වී, සතුට, සැපත, සෞභාග්‍යය හිමි කර ගැනීමට අප ජීවත් වන පරිසරයේ ඇති යම් යම් සත්ව, ශාඛ, පාෂාණ සහ ලෝහ වර්ග මගින් පිටිවහලක් ලද හැකිය යන ආදිතම මානව චිත්තාවලිය මුල්කොටගත් ආකර්ශනවාදය (fetishism) මෙවැනි විශ්වාස සිත තුළ රෝපණය කෙරෙන සමාජ මනෝ විද්‍යාත්මක සාධකයයි. කාන්තාවන් පරිහරණය කළ යට ඇඳුම් හොරකම් කරගෙන ඒවා තමන් සතුව තබා ගැනීම මුල් කොට පුරුෂ පක්ෂයට වැළඳෙන ලිංගික අවවර්තනය ද එනමින් හැඳින්වෙනුයේ ඉහත සඳහන් සමාජ මනෝ විද්‍යාත්මක මූලය පදනම් කර ගෙනය.
මිනිසා තුළ පවතින ගුප්ත ලෝලීත්වය සහජයෙන්ම උරුම වූවක් මිස පසුව ආරෝපණය වූවක් නොවේ. එහෙත් මෙලොව සෑම පුද්ගලයකු තුළම ඇති ගුප්ත ලෝලීත්වය එක සමාන නැත. එය ඒ ඒ පුද්ගලයා සතු ප්‍රවේණිගත සාධක, මොළයේ පවත්නා ජෛව රසායනික තත්වයන් සහ ඒ පුද්ගලයා ජීවත් වන සමාජ, සංස්කෘතික පදනම මත වෙනස් වේ. ආගමික සහ එසේ නොවන අභිචාර සහ ශාන්තිකර්ම වෙත මිනිසුන් යොමු වනුයේ එම තත්වය පදනම් කර ගනිමිනි.
මෙහිදී තමන් හට අත්වන දැඩි මානසික ආතතියක් හෝ මානසික කාංසාත්මක තත්වයක් යටතේ මෙබඳු ආරක්ෂක පළඳනා සහ මෙවලම් කෙරෙහි යොමු වීමේ ස්වභාවික නැඹුරුවක් මිනිසා තුළ පවතී. එමෙන්ම එම නැඹුරුව තුළින් තමන් එතෙක් අත්විඳි දැඩි මානසික ආතතිය සහ කාංසාත්මක තත්වය අවප්‍රමාණ වන බවක් ද ඔහුට හැඟී යන්නට පුළුවන. ඒ තත්වය තුළ ඒ පුද්ගලයා ඊට වඩ වඩාත් නැඹුරු වීමේ සහ අවසානයේ ඊටම ඇබ්බැහි වීමේ සම්භාවිතාවක් පවතී.
නිෂේධනාත්මක ප්‍රතිස්ථම්භනය (Negative Reinforcement) නමින් හඳුන්වනු ලැබූ මෙම තත්වය මිනිසුන් හට සේම තිරිසනුන් හට ද එක සමාන බව ලෝක ප්‍රකට රුසියානු මනෝ විද්‍යාඥයකු වන අයිවන් පැබ්ලෝ (1849-1936) සුනඛයන් ඇසුරින් සිදු කරනු ලැබූ පර්යේෂණ මගින් පවා තහවුරු කොට ඇත. ඒ අනුව සමාජයේ ජීවත් වන පුද්ගලයන් පවුල්, ප්‍රජා, සමාජ ආදී වශයෙන් තමන් මුහුණ දෙන ගැටලු අර්බුද වලින් සේම තම සිත තුළ තෙරපවා ගත් වරදකාරී හැඟීම් (guilty feeling) වලින් මානසික අත්මිදීමක් ලෙස මෙබඳු ආරක්ෂක පළඳනා සහ මෙවලම් භාවිතා කිරීම අතිශය ස්වභාවික කරුණකැයි ලොව පුරා සමාජ මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරති. ඒ අනුව අද මහින්ද රාජපක්‍ෂ මහතා ගේ සුරතේ දක්නට ලැබෙන කොටි ඇස් පළඳනාව සහ වජ්‍රය නුදුරේදීම අප රටේ දේශපාලන ක්ෂේත්‍රයේ බහුතරය වෙතින් දක්නට ලැබුණ හොත් එය පුදුම විය යුත්තක් නොවේ.
අපගේ ආගමික සහ සංස්කෘතික පදනම අනුව ශක්‍ර දේවේන්ද්‍රයා විසින් තම බලය සහ ආධිපත්‍යය පතුරුවනු ලබන්නේ විදුරු හෙවත් දියමන්ති වලින් තනන ලද වජ්‍රායුධයෙනි. බෞද්ධ සාහිත්‍යට ශක්‍ර දේවේන්ද්‍රයාගේ සේම මෙම වජ්‍රයේ කතාව ද හින්දු ආගමික ආභාෂයෙන් සම්ප්‍රේෂණය වූවකි. එහි දැක්වෙන අන්දමට ඉන්ද්‍ර නම් අසමසම දෙවියා ගේ නොපැරදවිය හැකි බලය නියෝජනය වනුයේ ඔහු සතු වජ්‍රායුධය නම් වන ලොව අසම සම අවියේ බලයෙනි.
එහෙත් එවැනි අවියක් හෝ බලයක් මෙලොව නොමැති බවත් මිථ්‍යා පුරාණෝක්තියක් සංකේතනය කෙරෙන එවැනි යමක් දවසේ පැය විසි හතරේම ‘මිරික මිරිකා හිටියත්’ ඉන් මායාකාරී මානසික අස්වැසුමකට වඩා දෙයක් හිමි නොවන බව අප රටේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය මගින් අපට මැනැවින් සනාථ කොට ඇත.
එවන් පසුබිමක් යටතේ අනාගතයේ අප රටේ ආණ්ඩු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ට නැතිවම බැරි ‘ආධ්‍යාත්මික සැරයටියක්’ වූ මෙවැනි ආරක්ෂක පළඳනා, මෙවලම් දේශපාලන ක්‍ෂේත්‍රයෙන් තුරන් කළ හැකි එකම එක මඟක් තිබේ.
එනම් මානසික බිඳවැටීම් වලට ලක් වී මිථ්‍යා විශ්වාසවල සරණ යන බංකොලොත් දේශපාලන ප්‍රජාව වෙනුවට දැඩි ආත්ම විශ්වාසයක් සහ අධිෂ්ඨානයකින් යුත් පරපුරකට අප රටේ අනාගත දේශපාලන බලය පැවරීමය.
තිලක් සේනාසිංහ