2021 -2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනපති නම් කරයි

July 15, 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ.

ගෝලීය ප්‍රවනතාවනට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යායපත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.

නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේ දී මහජන අදහස් ද සැලකිල්ලට ගැනේ.

අනාගතයට යෝග්‍ය, තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයේ ලෝක නායකයන් බවට පත්වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයන් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උර දෙන පරපුරක් බිහි කිරීම සඳහා වූ ජනාධිපතිතුමාගේ අභිලාශය සාක්ෂාත් කරනු පිණිස අධ්‍යාපන, කර්මාන්ත හා ශ්‍රමික අංශවල සම්බන්ධීකරණයෙන් සැලැස්ම යතාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂිතය.

t

o

p