අනුරපුර සමාධි පිළිම වහන්සේ ඉදිරිපිට දුක් වේදනාවෙන් හඬා වැටෙන කොමලී

July 15, 2020

කොමලී යනු ලෝක ප්‍රකට අනුරාධපුර සමාධි පිළිම වහන්සේ අබියස දිවි ගෙවන නිවාස අහිමි සුනඛයන් කිහිප දෙනා අතුරින් එක් සාමාජිකාවකි.දුඹුරු පැහැති සුනඛ ධේනුවක වන ඇය තමන්ට ආදරය, කරුණාව පළ කරන්නවුන් ඉදිරියේ ඒ මේ අත ඇඹරෙමින් ‘කොමල පෑම’ නිසා සමාධි පිළිමය අද්දර සේවයේ නියුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියට අයත් කාර්ය මණ්ඩලය ඇයට කොමලී යනුවෙන් නම් තබා ඇත.

පසුගිය ජූලි 11 වන සෙනසුරාදා සමාධි පිළිම වහන්සේ වන්දනා කිරීමට පැමිණි පිරිසක් රැගත් සුඛෝපභෝගී මෝටර් රථයක කොමලී හදිසියේ ගැටෙන ලද්දේ, හුදෙක් එහි රියැදුරාගේ නොසැලකිලිමත්කම නිසා මිස කොමලී ගේ වරදකින් නොවේ.

මක්නිසා ද මෙම කොරෝනා වසංගතයට කලින් දිනකට වාහන සිය දහස් ගණනක් පැමිණෙන සමාධි පිළිමය අද්දර රථ ගාල ඇයට හොඳින් හුරු පුරුදු තැනක් බැවිනි. ඒ අනුව රථ වාහන වලින් බේරී සිටීමට කොමලී තුළ පැවැති දැනුම සහ හැකියාව බොහෝ මිනිසුන් තුළ පවා නොමැති බව තතු දත්තෝ කියති.


එහෙත්, බොහෝ විට ‘බෞද්ධ ලේබලයෙන්’ යුතු ධනවත් අයකු වන කොමලී අනතුරට පත් කළ වාහනයේ රියැදුරා ඇය වාහනයේ ගැටී මර හඬ දෙන අතරේ ද ඒ පිළිබඳ වගේ වගක් නොමැතිව රිය පදවා ගෙන එතැනින් ඉක්ම ගොස් තිබේ.

ඔහුගේ මෙම පව්කාර ක්‍රියාවෙන් ජීවිතය අනූ නවයෙන් බේරුණ ද එම අනතුරින් බරපතල ලෙස තුවාල සිදු වූ කොමලීට සමාධි පිළිම වහන්සේ අබියසට වී විලාප නඟමින් තම දරුණු වේදනාව පළ කිරීම හැරුණු කොට කළ හැකි අන් කිසිවක් නොවිණි.

එම අසරණියට අත් වූ මෙම විපත දෙස බලා නිකටේ රඳවා ගත් සුරතින් යුතුව ‘අනේ අපොයි’ කියා සුසුම් හෙලීම හැරුණු කොට එහි රැස්ව සිටි වන්දනා කරුවන්ට කළ හැකි අන් කිසිවක් නොවිණ.

එමෙන්ම ඒ අවට සිටි ප්‍රදේශවාසීන් කොමලීට අත් වූ විපත මුල්කොට දුක් සුසුම් හෙළුව ද ඇය පශු වෛද්‍යවරයකු වෙත රැගෙන යාමට තරම් ආර්ථිකයක් සතු අයකු ඒ මොහොතේ ඒ අද්දරක සිට නැත. ඊට හේතුව වත්මන් කොරෝනා අර්බුදය හමුවේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ජන ජීවිතය බෙහෙවින් අඩාලව ඔවුන්ගේ ආර්ථිකය ද ඉතා දුක් මුසු තත්වයකට පත්ව තිබූ බැවිනි.

අනුරාධපුර, ගල්කඩවල, කරඹෑවේ පදිංචි ඩබ්ලිව්. පී. ධනවතී මහත්මිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරි ව්‍යාපෘතියේ කම්කරු වෘත්තියක යෙදෙන්නියකි. ඇගේ වත්මන් සේවා ස්ථානය වනුයේ සමාධි ප්‍රතිමා පරිශ්‍රයයි .සුපුරුදු පරිදි පසුගිය ජූලි 13 සඳුදා උදෑසන තම සේවා ස්ථානයට පැමිණි ධනවතී මහත්මියට දක්නට ලැබුණේ සමාධි පිළිම වහන්සේ ආසන්නයේ බිම වැතිර ඒ වන විටත් විලාප නඟමින් හිඳින කොමලිය.

තමන් දුටු සැනින් ඒ වේදනාව අමතක කොට වෙනදා මෙන් නැඟී සිට තමන් වෙතට දුව ගෙන ඒමට සැරසුණු කොමලී එය නොහැකි වීමෙන් මහා හඬින් හඬා වැටුණු බව ධනවතී මහත්මිය අප හා කීවාය. ඒ සමඟම ඇය පවසන ලද්දේ “ඒ වෙලාවේ මටත් හාට් ඇටෑක් එකක් නොහැදුණු එක පුදුමයක්” යනුවෙනි.

කෙසේ හෝ කොමලී පශු වෛද්‍යවරයකු වෙතට රැගෙන යාමට තමන්ට ඇති හැකියාව පිළිබඳ මඳක් වත් නොසිතූ ධනවතී මහත්මිය ඒ මොහොතේම කොමලී දෝතින්ම ඔසවා තම මෝටර් සයිකලයේ තබා ගෙන අනුරාධපුර පශු වෛද්‍යවරයෙකු සොයා ඉගිලුණා ය. එහිදී කොමලීට එන්නත් දෙකක් ලබා දුන් පශු වෛද්‍යවරයා; ඇය සඳහා ඖෂධ ද නියම කළේය.

මේ අතර අනුරාධපුර සමාධි පිළිමය අද්දර රිය අනතුරකට පත් සුනඛයකු වේදනාවෙන් කෑ ගසමින් සිටින බවට උදය විජේසිංහ මහතාගේ ෆේස්බුක් පිටුවෙන් දුටු අනුරාධපුර, රුවන්වැලි සෑ විහාරයේ කැපකරුවෙකු වන  පෙරිමියන්කුලමේ මුතුබණ්ඩා දසනායක මහතා ද එම ස්ථානයට ළඟා විය.

“කොරෝනා වසංගතය හින්දා මේ කාලේ අනුරාධපුරයට විදේශිකයෝ එනවා හුඟක් අඩුයි. නමුත් සංචාරකයෝ බහුල කාලෙක බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව ලෝකයට ප්‍රකාශ කරන ලෝක පූජිත සමාධි පිළිමය ළඟ හදිසි අනතුරකට පත් වුණු සතෙක් කිසිම කෙනෙකුගේ කරුණාවක්, හව්හරණක් නැතුව මේ විදිහට කෑගහ ගහ ඉන්නවා විදේශිකයෝ දැක්කොත් මොනවද ඒ මිනිස්සු අපි ගැන නොහිතන්නේ.

අනික අනුරාධපුර පූජා නගරයේ ඉන්න නිවාස අහිමි සුනඛයොයි යුරෝපීය සංචාරකයොයි අතරේ තියන සුහද බැඳීම අපිත් හොඳට තේරුම් අරගෙනයි ඉන්නේ; අපේ සමාජයේ බොහෝ දෙනෙක් සමේ රෝග ආදිය නිසා පිළිකුල් කරන සුනඛයන්ව යුරෝපීය සුදු ජාතික යුවතියන් පවා බොහෝ ආදරයෙන් සුරතල් කරන හැටි අපි නිතර දෙවේලේ දකිනවා.” දසනායක මහතා කීය.


කෙසේ හෝ මේ වන විට ද මූලික ප්‍රතිකාර වලින් පසු ‘කොමලී’ අනුරාධපුර සමාධි පිළිමය පරිශ්‍රයේ ශිලා පවුරක් අබියස අසරණව වැතිර හිඳියි. ඇයට ප්‍රතිකාර කළ පශු වෛද්‍යවරයා පවසා ඇති අන්දමට කොමලිගේ කොඳු නාරටිය බිඳී ඇති බවක් නොපෙනේ.

නමුදු එම පාපතර රියැදුරුගේ නොසැලකිලිමත් කම නිසා සිදු වූ අනතුරින් ඇගේ ශරීරයට යම් අභ්‍යන්තර හානියක් සිදුව ඇති අතර ඒවා නිවැරදිව හඳුනා ගෙන යම් කාලයක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඇය ප්‍රකෘති තත්වයට පත් කළ හැකි බව ද එම පශු වෛද්‍යවරයා පවසා තිබේ.


අනුරාධපුර සමාධි පිළිම වහන්සේගේ කරුණා භරිත නේත්‍රා යුග්මය ඉදිරියේ වැතිර හිඳින කොමලිගේ මෙම අසරණ බවට පිළිසරණක් වීමට සමාධි පිළිම වහන්සේට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත.

නමුත් උන්වහන්සේ ගේ මහා කරුණා ගුණයෙන් අංශු මාත්‍රික හෝ කරුණා ගුණයක් ‘බුදුන්ගේ දේශය’ යනුවෙන් නාම පුවරු පවා ප්‍රදර්ශනය කෙරෙන අප රටේ ජනතාව තුළ රැඳී තිබේ නම් දැනට අනුරාධපුර, සමාධි පිළිම වහන්සේට ‘ඇසෙන පෙනෙන මානයේ’ දුක් වේදනා සුසුම් හෙළන මෙම ‘කොමලි’ ගේ මතු යහපැවැත්ම පිළිබඳ ගැටළුවක් ඇති නොවෙතැයි මට සිතේ.


කොමලී පිළිබඳ වැඩිදුර තොරතුරු 076-6145920 හෝ 076-7000250 යන දුරකථන අංක ඔස්සේ දැන ගත හැකිය.

තිලක් සේනාසිංහ                                                                                         

ඡායාරූප – අමිත් උදයංග

t

o

p