“ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ ජේෂ්ඨතමයකු වන මෙම ලේඛකයා මේ වසරේ විශ්‍රාම ගන්නා ලද්දේ කොළඹ මහ දිසාපති වරයා වශයෙනි”
රටක් පාලනය කිරීම හැම විටම නීති රීති වලට අනුකූලව විය යුතු වේ. සාමාන්‍ය ව්‍යවහාරයේ එය හඳුන්වන්නේ, නීතියේ පාලනය, යනුවෙනි. නිදහස ලබන විට ශ්‍රී ලංකාව මේ නීතියේ පාලනය මැනවින් පවත්වා ගෙන ගිය රාජ්‍යයකි. පාලනයට අදාළව යම් නීතියක් උල්ලංඝනය වූයේ නම් ඒ පිළිබඳව ක්‍රියාකාරී වීමට යම් යම් ආයතන ස්ථාපිත කර තිබුණි. පොලීසිය නීතිය පවත්වා ගෙන යාමේ වගකීම දැරූ ප්‍රධානතම ආයතනයයි. බ්‍රිතාන්‍යයන් මේ රට පාලනය කළ යුගයේ ඉතා දියුණු නීති පද්ධතියක් මෙරට ස්ථාපිතව තිබිණ. නීති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය ව්‍යවහාරයක් ද ස්ථාපිත කළ අතර එම නීතිය පිළිබඳව වූ ගැටළු යුක්ති ගරුකව විසඳූ අධිකරණ පද්ධතියක් ද ස්ථාපිත කර පවත්වා ගෙන ගොස් තිබුණි.
1948 නිදහස ලැබීමේදී මේ නීති සකස් කිරීමේ කාර්යය බ්‍රිතාන්‍යය මහ රැජිනගේ නාමයෙන් ඉටු කිරීම ලංකා පාර්ලිමේන්තුවට පැවරිණ. නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය ව්‍යුහය පාලනය අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයකට ද නීති ක්‍රියාත්මක කිරීමේ ගැටළු විසඳීම පාර්ලිමේන්තුව මගින් හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කළ අධිකරණ පද්ධතියෙන් ද ඉටුකර ගැනීමේ බලය ද මෙරටටම හිමි විය. නීති ක්‍රියාත්මක කිරීමේ ගැටළු විසඳීමේදී බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය අවසාන අධිකාරය ලෙස තබා ගැනීමත්, සමස්ත රාජ්‍ය පාලනය පිළිබඳ බ්‍රිතාන්‍ය මහා රාජිනියගේ ඇති සම්බන්ධය නිරූපණය කරන අග්‍රාණ්ඩුකාර වරයෙක් වීමත් හැරුණු කොට රාජ්‍ය පාලනය මුළුමනින්ම මෙරට ජනතාව භාරයේ ක්‍රියාත්මක විය. ඒ නීති සකස් කරන පාර්ලිමේන්තුව මහජනතාවගේ නිදහස් ඡන්දයෙන් පත්කර ගත හැකිවීම නිසාය.
මේ අන්දමින් නිදහස ලබන විට අපි ආර්ථික හා සමාජීය වශයෙන් දිළිඳු රාජ්‍යයක් ලෙස සිටිය ද රාජ්‍ය පාලනයේ නීතියේ පාලනය පැත්තෙන් දියුණු රාජ්‍යයක ලක්ෂණ පෙන්නුම් කරමින් සිටියෙමු. මේ තත්වය බරපතල ගැටළුවක් ඇති නොවන පරිද්දෙන් 1970 දක්වා පවත්වා ගෙන ඒමට අප සමත් වූවත් ඒ අතරතුරදී යම් යම් අවස්ථාවල බලවත් පුද්ගලයින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තම අභිලාෂයන් අනුව කිරීමට ගත් උත්සාහයන් ද නැත්තේ නොවේ. මෙහිදී අමාත්‍යංශ ස්ථිර ලේකම් ලෙස සිවිල් සේවාවට බැහැරින් පුද්ගලයින් පත් කිරීම, අසාර්ථක වූ 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය, 1956 ජාතිවාදී කෝලාහල ආදිය එවකට පැවති නීතියේ පාලනයට එරෙහිව ක්‍රියාත්මක වූ සිද්ධීන් ලෙස හඳුනා ගත හැකිවේ. එසේ වුවත් ඒවා ඒ සිද්ධීන් වලට සීමා වූ අතර ඒවා රාජ්‍ය පද්ධතිය තුළ ව්‍යාප්ත වීමක් පැහැදිලිව විද්‍යමාන නොවිණි.
මේ අතර 1956 පෙරලිය ලෙස හඳුන්වන මහජන එක්සත් පෙරමුණේ බලයට පත්වීමට සමගාමීව රටේ ගුරුවරුන්, ගොවීන්, කම්කරුවන්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැනි එතෙක් රාජ්‍ය පාලනයට සම්බන්ධතාවයක් නොතිබූ කොටස් රාජ්‍ය පාලනයේ දේශපාලනමය අංශවලට දැඩිව සම්බන්ධ වී තිබීම දක්නට ලැබුණි. මේ නිසාම දේශපාලනික අංශ වල රජ්‍ය පාලනය වෙනුවෙන් වූ තරඟකාරීත්වය තීව්‍ර වීමක් පෙන්නුම් කෙරිණ. මේ තීව්‍ර තරඟකාරිත්වය තුළ වුව ද 1970 දී සමගි පෙරමුණු රජය බලයට පත්වූයේ තුනෙන් දෙකක බහුතර බලයක් සහිතවය.
එසේම එවක මෙරට සමාජවාදී දේශපාලනයේ ප්‍රධානතම බලවේග වූ ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එම ආණ්ඩුවේ ප්‍රධානතම කොටස් කරුවෝ වූහ. ඒ අනුව බ්‍රිතාන්‍ය පාලන යුගයේ පාලනයට සම්බන්ධ නොවූ දේශපාලන නායකත්වයක් සහිත ප්‍රබල රජයක් ලෙස සමගි පෙරමුණු ආණ්ඩුව ස්ථාපිත විය. මේ රජය තම සමාජවාදය මුල්කරගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ඇති බැදීම් ඉවත්කර ගැනීමටත් ඒ වන විටත් මහජන නියෝජිතයින් ගේ විවේචනයට භාජනය වී තිබූ අනම්‍ය රාජ්‍ය පාලන ව්‍යුහය දේශපාලන ව්‍යුහයට නම්‍යශීලි ලෙස සකස් කර ගැනීමටත් ස්වකීය බලය යොදා ගන්නා ලදී.
ඒ අනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද අළුතෙන් හඳුන්වා දෙන ලදී. එතෙක් ස්වාධීනව පාලනය වුණු රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු රාජ්‍ය සේවකයින් පිළිබඳව වූ බලතල අමාත්‍ය මණ්ඩලය යටතට පත්කර කොමිසන් සභාව අමාත්‍ය මණ්ඩලයෙන් පැවරුණු බලතල ක්‍රියාත්මක කරන ආයතනයක් බවට පත් කරන ලදී. එතෙක් පැවති ස්ථිර ලේකම් ක්‍රමය වෙනස් කර ලේකම් වරයාව ඉවත් කිරීමේ බලය පවා අග්‍රාමාත්‍ය වරයාට හිමි කෙරිණ. මීට අතිරේකව ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන ජනරජයක් බවට පරිවර්ථනය කොට රාජ්‍ය නායකත්වයට නාම මාත්‍ර ජනාධිපතිවරයෙක් පත්කර අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත සමස්ත නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම් ලබාදීමට මෙම නව ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සැලසුණි.
ඒ අනුව නිදහසින් පසු ප්‍රථම වතාවට එතෙක් නොසැලී ශක්තිමත්ව පැවති රාජ්‍ය සංවිධාන ව්‍යුහය වූ රාජ්‍ය සේවාව දේශපාලඥයින්ගෙන් සැදුම්ලත් රාජ්‍ය මෙහෙයවන ව්‍යුහය වූ අමාත්‍ය මණ්ඩලය යටතට පත් විය. ස්ථිර ලේකම් තනතුර වෙනස් කර අග්‍රාමාත්‍ය වරයා විසින් පත් කරන ලේකම් වරයෙකු අමාත්‍යංශක ප්‍රධාන නිලධරයා කිරීම තුළින් ඔහු යම් ආකාරයක දේශපාලන තීරණ මත යැපෙන්නකු ගේ තත්වයට අමාත්‍යංශ පත් කෙරිණ. එමෙන්ම එතෙක් සිවිල් සේවාවේ ජේෂ්ඨ නිලධාරියෙකු වූ අමාත්‍යංශ ලේකම් තනතුරට රාජ්‍ය සේවාවෙන් පරිබාහිර අය පත් කිරීමට හැකි වන ලෙස ඇති කළ වෙනස්කම් ද රාජ්‍ය සේවාව තුළ සෑහෙන බලපෑමක් ඇති කරන්නක් විය. මීට ප්‍රථම රාජ්‍ය සේවාවෙන් බාහිර ලේකම් වරයෙකු පත් කර තිබුණ ද එය මෙන් හුදකලා සිද්දියක් නොවී බාහිර අය පත් කිරීම අඛන්ඩ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූයේ මේ අවස්ථාවේදීය.
මීට අතිරේකව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු පාලන ව්‍යුහයට පරිබාහිරව ඊටම අනන්‍යවූ අනම්‍ය පාලන ව්‍යුහයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ දිස්ත්‍රික් පරිපාලන පද්ධතිය ද දිසා පාලන අධිකාරි නම් දේශපාලන නායකත්වයක් සහිත පුද්ගලයෙකු යටතට පත්කිරීම මගින් යම් බලපෑමකට නතු කරවන ලදී. යටත් විජිත පාලනයේ විශිෂ්ට දායාදයක් වූ රාජ්‍ය පාලන ව්‍යුහය සෑම දෙසකින්ම දේශපාලනමය නායකත්වය යටතට නිල වශයෙන් පත් කිරීම මෙසේ 1970 බලයට පත් රජය යටතේ සිදුවිය.
එසේ වුවද තවදුරටත් සිවිල් සේවාවේ ජේෂ්ඨතම අත්දැකීම් සහිත නිලධාරීන් ඉහළ තනතුරු වල සේවය කිරීමත් දේශපාලන නායකයන් බොහෝ දුරට මහජන යහපත උදෙසා පමණක් කටයුතු කරන උගත්, අත්දැකීම් සහිත යම් ගරුත්වයක් හා වෘත්තීය භාවයක් පවත්වා ගෙන යන්නන් වීමත් යන කරුණු නිසාම රාජ්‍ය ව්‍යුහය ඇතැම් ස්ථානවල සුළු ඉරිතැලීම් වලට භාජනය වීමක් හැර බරපතල කඩා වැටීමකට ලක් නොවීය. එසේ වුව ද එම පාලනය විසින් ගොඩනඟා තිබූ දේශපාලනික නායකත්වය නිදහසින් පසු අපේම පාලකයින් යටතේ සෙලවීම් වලට භාජනය වෙමින් තිබූ රාජ්‍ය සේවා ව්‍යුහය තුළ ප්‍රථම වරට ඉරි තැලීම් ඇති කිරීමට තරම් බලවත් වූ බව අමතක නොකළ යුතුය.
මින් අනතුරුව එළඹියේ 1977 ඇති වූ මහා වෙනසට රට යොමු වීමයි. රටේ එතෙක් පැවති ක්‍රමවේද සියල්ල වෙනස් කිරීමට තරම් වූ පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් සහිතව පත් වූ එම ආණ්ඩුව ස්වකීය බලතල භාවිතා කරමින් විධායක ජනාධිපති ධුරය සහිත නව ආණ්ඩු ක්‍රමයක් හදුන්වා දෙන ලදී. එතෙක් පැවතුණු සුභසාධන, දේශීය ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමයට රට යොමු විය. ජනාධිපති ධුරය සර්ව බලධාරී තනතුරක් විය. නව ක්‍රමය ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මතකර ගෙන ඉහළම අධිකරණයේ විනිශ්චය කාරවරුන් ඉවත් කර නව පත්වීම් දෙන ලදී. එසේ පත්වීම් දීමේදී පැරණි විනිසුරන් දෙදෙනෙකුට පත්වීම් නොදීමෙන් විනිසුරන්ට දුන් පණිවුඩය වූයේ ආණ්ඩුවේ ප්‍රසාදය නැතිනම් ධුරය සහතික නොවන බවකි.
ඉහළම අධිකරණයේ නායක විනිසුරු ධුරයට තම හිතවතෙකු වූ පෞද්ගලික නීතීඥයෙකු පත්කර තවත් පණිවුඩයක් අධිකරණ ක්‍ෂේත්‍රයට දුන්නත් එම විනිසුරු තුමා බෙහෙවින් අපක්ෂපාතීව වැදගත් අන්දමින් තම ධුරයේ කටයුතු ඉටු කළ බවත් සඳහන් කළ යුතුය. රාජ්‍ය සේවාවේ අමාත්‍යංශ ලේකම්වරු රට පාලනය කළ දේශපාලන පක්ෂයේ වාර්ෂික සමුලුවට නිල මට්ටමින් සහභාගි කරගැනීම තුළින් ලේකම් තනතුර මුලුමනින්ම දේශපාලනීකරණය කෙරිණි. අමාත්‍යංශ ලේකම් ලෙස ඕනෑම පුද්ගලයෙකු ජනාධිපතිවරයා විසින් පත්කිරීමත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දිසාපතිවරු පත්කිරීම අමාත්‍ය මණ්ඩලය මගින් සිදුකිරීමත් අමාත්‍යංශවල අතිරේක ලේකම් හා ජේෂ්ඨ සහකාර ලේකම් තනතුරු අමාත්‍ය මණ්ඩලයෙන් පත්කිරීමත් මගින් ඉහළ රාජ්‍ය සේවා තනතුරු දේශපාලනීකරණයට ලක් කෙරිණි.
මේ තනතුරු සඳහා බොහෝ දුරට සිවිල් සේවාවේ පලපුරුදු නිලධාරීන් පත්වීමත් ඔවුන් දේශපාලනය හා රාජ්‍ය සේවාවේ ගුණාත්මක බව අතර සමබරතාවයක් පවත්වා ගැනීමට බොහෝ දිරියෙන් උත්සාහ කළ ද විවෘත ආර්ථිකය විසින් ඇති කළ වාණිජ සංස්කෘතිය තුළ මුදල වැදගත් වීමත් මුදල් ඉපයීම සඳහා අයථා ක්‍රම රාජ්‍ය ව්‍යුහය තුළ ඇතිවීමත් නිසා ක්‍රමයෙන් බොහෝ රාජ්‍ය නිලධාරීන් ඒවායේ ගොදුරු බවට පත් වූහ. සමස්ත රාජ්‍ය සේවාවම මෙසේ අයථා ධනය ලෙසින් උපයන, රාජ්‍ය සේවාවට නොගැලපෙන දේ කරන, දේශපාලනඥයින්ගේ අතකොලු වූ බවක් මින් අදහස් නොකරමි. නමුත් බලයට හා ධනයට ලොල් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මුලින්ම මීට පුරුදු වූ අතර ඔවුන් ලබා ගත් ආර්ථිකමය වාසි දෙස බැලීමෙන් තවත්ව පිරිස් ඊට ගොදුරු වූහ. මේ වන විට රාජ්‍ය සේවය තුළ ඒ. ආර්. එෆ්. ආර්. වලට වඩා ජේ. ආර්. වැදගත් සේ සලකා කටයුතු කළයුතු බවට උපහාසාත්මක කියමනක් ප්‍රචලිත වූයේ මේ තත්වය හොඳින් නිරූපණය කරමිනි.
ඒ අනුව රාජ්‍ය සේවාවේ පරිපාලන රෙගුලාසි හා මුදල් රෙගුලාසි වලට නොව එවක රාජ්‍ය නායකයා ගේ නමේ මුල් අකුරු වූ, ජේ ආර්, යන්න ගැන සිතා කටයුතු කළයුතුය යන්න රාජ්‍ය සේවයේ ස්ථාපිත අරමුණ විය. මෙහි ජේ. ආර්. යන්නෙන් දේශපාලකයාට අවශ්‍ය දේ යන්න නිරූපණය වේ. ඒ අනුව අභිමානවත් රාජ්‍ය සේවා ව්‍යුහය දේශපාලකයාගේ අවශ්‍යතා ඉටුකරන සේවයක තත්වයට පත්විය. සිවිල් සේවාවේ ඉතිරි නිලධාරින් හා ඔවුන් හා කටයුතු කර පළපුරුද්ද සහිත රාජ්‍ය නිලධාරීන් පරිසක් මෙම තත්වය සමනය කිරීමට ගත් උත්සාහය ගඟට කැපූ ඉනි මෙන් විය.
මේ පාලනයේ මුල් වසර 10 අවසන් වන විට ඇති වූ තරුණ කැරැල්ල නීතියේ පාලනය පිළිබඳව වූ අවසාන ශේෂය ද බිඳ දැමීමට හේතු විය. කැරලිකාර තරුණ, තරුණියන් රටේ නීතියට අභියෝග කළ අතර ඊට මුහුණ දීම සඳහා රාජ්‍ය පාලනය මගින් විවිධ වූ නීත්‍යානුකූල නොවූ ක්‍රම හඳුන්වා දුණි.
රාජ්‍යයක සුවිශේෂී වූ නිල අවි දරන්නන් වන සන්නද්ධ හමුදා හා සමාන්තරව අවි දරණ මැර කණ්ඩායම් හඳුන්වා දුන් අතර ඔවුහු දේශපාලකයින්ගේ නියෝග මත පුද්ගල ඝාතනවල නිරත විය. රජයේ විරුද්ධවාදීන් මරා පුළුස්සා දැමීම සඳහා මේ නිල නොවන කණ්ඩායම් වලට පූර්ණ බලය ලබාදුන් අතර නීත්‍යානුකූල හමුදා හා පොලීසිය ද නීති ගරුක යුක්ති ගරුක නිලධාරීන්ගේ පාලනයෙන් ගිලිහී දේශපාලන වුවමනාවන්ට අනුව ක්‍රියා කරන දූෂිත නිලධාරීන්ගේ ග්‍රහණයට නතුවීය.
මේ අනුව නීතිය ක්‍රියාත්මක කිරීම යනු පාලකයාගේ කැමැත්ත ක්‍රියාත්මක කිරීමය යන තත්වයට රාජ්‍ය ව්‍යුහය පත් විය. රාජ්‍ය සේවාවේ ඉහළ තනතුරු බොහොමයක් ඊට ගැළපෙන අයගෙන් නොව පාලකයන්ගේ කැමැත්ත ඉටුකරන අයගෙන් පිර වූ බැවින් පහළ නිලධාරීන් ද පාලකයන්ගේ කැමැත්ත ඉටුකර මුදල් උපයා ගන්නා තත්වයට පත් විය.
මේ අනුව රාජ්‍ය නිලධාරීන් ලෙස තම තමන්ට පැවරී ඇති බලතල හා රාජකාරි කටයුතු කිරීමට අදාළ නීතිරීති ගැන අවබෝධයක් ලබා ගැනීමට වඩා දේශපාලකයාගේ අභිලාෂයන් ඉටුකර දිය හැකි අයථා ක්‍රම පිළිබඳව අවබෝධය ලබා ගැනීම රාජ්‍ය සේවාවේ ඉහළට යෑමට ඇති මග බව පසක් කර ගත් නිලධාරීන් ඒ මග ඔස්සේ ගමන් කිරීම අරඹා තිබුණි.
නීතිරීති වලින් ඒ සඳහා ඇති වන බාධාවන් ඉවත් කර ගැනීමට පවතින නීතිවලට පුද්ගලික අරමුණු උදෙසා සංශෝධන එක් කිරීමට දේශපාලකයින්ට උපදෙස් දෙන මට්ටමට රාජ්‍ය සේවාව පත්ව තිබුණි. මේ වන විට රටේ පාලකයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම සාධාරණ බවට රාජ්‍ය සේවාවේ ප්‍රතිපත්ති සම්පාදන මට්ටමේ නිළධාරීන් පිළිගෙන තිබුණි.
ඒ වන විට ක්‍රියාත්මක මට්ටමේ තිබුණේ සාඩම්බර බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් මෙරට පැවති පාලන ක්‍රමයට අනුරූපව ස්ථාපිත කළ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ පාලනය පමණි. 1988 බිහිසුණු ඝාතන මැද රුධිරයෙන් බලය තහවුරු කරගත් පාලකයා මේ පාලන ක්‍රමය වෙනස් කිරීමට දැඩිව අදිටන් කළේ ආණ්ඩුවේ ඒජන්තවරුන් සමඟ තම අභිලාෂයන් ඉටුකර ගැනීම නොහැකිය යන මතයේ දැඩිව පිහිටා සිටි බැවිනි. පළාත් පාලනය හරහා දේශපාලනයට පිවිසියෙකු වූ ඔහුට තිබූ අවශ්‍යතාවය වුණේ රාජ්‍ය සේවාව පහළම මට්ටමේ මහජන නියෝජිතයා ගෙනුත් පහළින් තැබීමයි. ඒ සඳහා ඔහු කළේ ප්‍රාදේශීය මට්ටමේ මහජන නියෝජිතයන්ට ද මන්ත්‍රී යනුවෙන් හැඳින්වීමට අනුමැතිය දෙමින් චක්‍රලේඛනයක් නිකුත් කරවීමයි.
එසේ වුවද අද දක්වාම අදාළ පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ නිල නාමය, සභික, යනුවෙන් ඒ ආයතන ස්ථාපිත කළ පනත්වල දැක්වෙයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රාජ්‍ය සේවාවේ ඉහළ නිලතල වලට පත් වූවන් අරබයා කිසියම් හීනමාන හැඟීමකින් සිටි මේ පාලකයා මහජනයා ගෞරවනීය ලෙස සැලකූ ආණ්ඩුවේ ඒජන්ත පදවිය අහෝසි කිරීමට පවා තීරණය කළේය. මේ සඳහා ආණ්ඩුවේ ඒජන්ත වරුන් සතුවූ නීතිමය බලතල ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය ලේකම් නම් තනතුරකට පැවරෙන ලෙස පනතක් සම්මත කිරීමට වහා කටයුතු සැලැස්විය. පාලකයා කියන ඕනෑම දෙයක් කිසිදු සොයා බැලීමකින් තොරව නීති කෙටුම්පතක් බවට පත්කිරීමට තරම් රාජ්‍ය සේවය ‘හීලෑ වී’ තිබූ නිසා මේ පනත කඩිනමින් සැකසිණි.
අවසන් මොහොතේ නිර්භීත, සිවිල් සේවකයෙකු වූ එවක මැතිවරණ කොමසාරිස් පදවිය දැරූ ආර්. කේ. චන්දානන්ද සිල්වා නම් වූ විශිෂ්ට රාජ්‍ය නිලධාරියා සිවිල් සේවා නිලධාරියෙකු සතු අභීත බව ප්‍රදර්ශනය කරමින් දිස්ත්‍රික් මට්ටමේ ආණ්ඩුවේ ඒජන්ත තනතුර අහෝසි කිරීමට විරුද්ධතාවය පළ කළේය. ඔහු ඊට නෛතික තර්කයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇසුරෙන් ගොඩනඟා ගෙන තිබුණි. එනම් මැතිවරණ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු උසස් රාජ්‍ය නිලධාරියෙකු දිස්ත්‍රික් මට්ටමේ සිටිය යුතු බැවින් ආණ්ඩුවේ ඒජන්ත තනතුර දිස්ත්‍රික් මට්ටමින් පවත්වා ගෙන යා යුතුය යන තර්කයයි. මෙහිදී ගලේ පැහැරූ බළලාගේ තත්වයට පත්වූ පාලකයට එම තර්කය පිළිගැනීමට සිදුවුවත් සිය හීනමාන හැඟීම මත ආණ්ඩුවේ ඒජන්තවරයාගේ තනතුර දිස්ත්‍රික් ලේකම් ලෙස තබන ලෙස උපදෙස් දුන්නේය.
ඒ අනුව සැකසූ පනතින් එතෙක් දිසාපතිවරුන් සතු නීතිමය බලතල ප්‍රාදේශීය ලේකම් නම් ප්‍රාදේශීය මට්ටමේ තනතුරකට පැවරූ අතර වාරි මාර්ග ආඥා පනතේ දෙවැනි කොටසේ දිසාපතිවරයා සතුවූ බලතල දිස්ත්‍රික් ලේකම්ට පැවරෙන බවට සඳහන් කෙරිණි. මෙහිදී නොදන්නා කම හෝ අතපසුවීම මත නීති කෙටුම්පත් සම්පාදකයින් ගෙන් බරපතල වැරදි දෙකක් සිදුවූ බව එම පාලකයාට මිය යනතුරු දැන ගැනීමට නොහැකි විය. එනම් ඒ වනතෙක් සම්මතකර තිබූ කිසිදු නීතියක දිසාපති නම් වූ තනතුරකට බලතල පවරා නොතිබීමත් දිස්ත්‍රික් ලේකම් නමින් තනතුරක් හෝ දිසාපති නමින් තනතුරක් ලංකාවේ වලංගු නීතියකින් ඒ වනවිට ස්ථාපිත කර නොතිබීමත් යන කරුණු දෙකයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් වරුන්ට බලතල පැවරූ පණත නිසි නෛතික බලාත්මක භාවයක් නොමැති නීතියක් බව රාජ්‍ය සේවාව අද ද නොදනී. මේ අන්දමින් රටේ නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවාවේ කොඳු නාරටි බිඳ නීතිරීති වල සඳහන් දේ නොව පාලකයින්ගේ කැමැත්ත හා අභිලාෂය ඉටු කරන පිරිසක් බවට රාජ්‍ය සේවාව අවසානයේ පරිවර්තනය කෙරිණි.
මීට සාපේක්ෂව නීති පැනවීමේ බලය ක්‍රියාත්මක කිරීමත් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවය මත කෙරෙන්නක් බවට පත්කර ගැනීමට පාලකයින් සමත් විය. රටේ නීතියක් පැනවීමේදී හෝ සංශෝධනය කිරීමේදී නීති ක්‍රියාත්මක කරන සම්බන්ධිත ආයතන වල අදහස් සැලකිල්ලට ගෙන සමස්ත නීති පද්ධතියට සමපාත වන ලෙස කළ යුතු වුවද පාලකයාගේ අභිලාෂය ඉටුකරදීම ඊට වඩා වැදගත් සේ සැලකූ බැවින් නිසි අධ්‍යනයකින් තොරව නීති පැනවීමත් සංශෝධනයත් සිදු කෙරිණ. අවසානයේ පාර්ලිමේන්තුව යනු ජනාධිපතිවරයා අනුදැනුම මත ගෙනෙන ඕනෑම පනතක් සම්මත කරන ස්ථානයක් බවට පත් කෙරිණ.
ඒ සඳහා මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රී වරුන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීම් ලිපි ලබා ගෙන ඕනෑම අවස්ථාවක ඔවුන්ව ඉවත් කිරීමට පසුබිම මුලින් ම සකසා ගෙන තිබුණි. පනත් සංශෝධන පිළිබඳ විවාද යනු පනත් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණය කරන ඒවා නොව විරුද්ධ පක්ෂයට දොස් නගන කුණුහරුප කියා ගන්නා ගාලගෝට්ටි බවට පත්වී තිබුණි. එනිසා කිසිදු ගැටළුවකින් තොරව අවශ්‍ය ඕනෑ දෙයක් නීති ලෙස පනවා ගැනීමට පාලකයන්ට හැකිවූ අතර මෙය ක්‍රමයෙන් නීති ක්‍රියාත්මක කරන ආයතනවල ඉන්නා අයගේ අභිලාෂයන් නීති බවට පත්කර ගැනීමට හැකිවන ලෙසට පසුව පරිණාමයට ලක්විය.
නීති ක්‍රියාත්මක කිරීමේ ගැටළු විසඳන අධිකරණයේ තත්වය ද අනික් ව්‍යුහයන් දෙක මෙන්ම පිරිහීමට ලක්ව ගොස් ඇත. රජය විසින් කරනු ලබන ක්‍රියාවකින් අගතියට පත්වන පුරවැසියෙකු සහනයක් පතා යා යුතු වන්නේ ඉහළ මට්ටමේ අධිකරණ වෙතය. ඉහළ මට්ටමේ අධිකරණයකට යාමට අඩුම තරමින් රුපියල් ලක්ෂ 15ක් වත් අවශ්‍ය වේ.
ඒ නීතීඥ ගාස්තුවයි. ඊළඟට එබඳු නඩුවක් අවුරුදු හතරකින් මෙපිට විභාග කර විනිශ්චය කළ නොහැක. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කරද්දී විභාගකර තීන්දු තීරණ ලබාදුන් නඩු තීන්දු නව නීති වාර්තා ලෙස පරිශීලනය වෙනු දැකිය හැකිය. එම නඩු වල පැමිණිලි කරුවන් වී ඇත්තේ සාමාන්‍ය ගැමියන් බව එම නඩු තීන්දු අධ්‍යනයේදී පෙනී යයි. දැනට අවුරුදු දහයක පහළොවකින් මෙපිට සාමාන්‍ය මිනිසුන් රජයට එරෙහිව ඉහළ අධිකරණයක පැවරූ නඩු ගැන දැන ගන්නට නොලැබේ. ඒ රජය සැමට සාධාරණ වී ඇති නිසා නොවේ.
අසාධාරණයට ලක් වූවන්ට අධිකරණයට පැමිණීමට වත්කමක් නැති නිසාය. අධිකරණ පද්ධතිය ද අනෙක් පද්ධති මෙන්ම බරපතල පිරිහීමකට ලක්ව ඇති බව සනාථ කෙරෙන බොහෝ සිද්ධීන් රටේ සාකච්ඡාවට භාජනය වී ඇත. එනිසා ඒ පිළිබඳව වැඩි විස්තර අවශ්‍ය නොවේ. පාලකයින්ගේ අවශ්‍යතාවය යුක්තිය ලෙස සැලකෙන අධිකරණයක් ඇතිකර ගැනීමට පාලකයින් උත්සාහ දැරුවේ 1977 තරම් ඈතදීය. ඒ වෙනුවෙන් ගල් ගැස්සීම්, දෝෂාභියෝග, උසස්වීම්, පත්කිරීම් වල මෙන්ම වෙනත් වරප්‍රසාද බොහෝ සිදුකෙරුණු බව පමණක් සඳහන් කිරීම ප්‍රමාණවත් ය. අවසානයේ පාලකයින් ජයග්‍රහණය කළෝය යනුවෙන් සටහන් කිරීමෙන් පමණක් නවතිමි.
මේ අනුව නිදහස ලබන විට මනා නීති පද්ධතියක් ද එය ක්‍රියාත්මක කිරීම සඳහා විශිෂ්ට රාජ්‍ය සේවාවක් ද නීති ක්‍රියාත්මක කිරීමේ ගැටළු විසඳන සාධාරණ අධිකරණ පද්ධතියක සාඩම්බර හිමිකරු වූ ශ්‍රී ලංකා දේශය අද ඒ සියල්ලෙන් පිරිහුණු පණ අදින කාලකන්නි දේශයක් බවට පත්ව ඇත. නීතියේ පාලනය මුළුමනින්ම බිඳ වැටී ඇත. නීතිය ක්‍රියාත්මක කරන්නෝ අනීතිය කරති. පැරණි විශිෂ්ට නීති පද්ධතියේ ඉතිරිවී ඇති කොටස් පසෙක තිබියදී ඒවෙනුවට වෙනත් දේ කරති. රාජ්‍ය නිලධාරීන් 95%ක් ම නීතිය ගැන අවබෝධයක් නැත්තෝය. ඉහළ ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැඩි දෙනා පහළින් සකසා එවන දේට අත්සන ගැසීමට පෙර බලන්නේ එය කොතෙක් නීතියට එකඟ ද නොව ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපති තුමා දරණ අදහසට එකඟ දැයි යන්න පමණි.
ඇමතිතුමාගේ පුද්ගලික අදහසට අනුව හෝ ලොක්කෙකුගේ පුද්ගලික අදහසට අනුව චක්‍රලේඛනයක් නිකුත්කර පනතින් බලය දී නැති දේවල් කරති. කවුරුන් හෝ දැනුම් තේරුමැති එකෙක් ඒවා පෙන්වා දුන් විට නිශ්ශබ්දව සිට ඇමති හමුවී අඩුපාඩුව පෙන්නා දුන් එකා ලෙඩ කාරයෙකු යැයි කියති. පනතකින් පැවරී ඇති බලයක් වෙනස් කිරීමට චක්‍ර ලේඛනයකින් බැරි බව ඒවා නිකුත් කළ අය නොදනිති.
ඕනෑම රාජ්‍ය ආයතනයකට එම ආයතනය ස්ථාපිත කළ පනතේ දීඇති බලයට වඩා වැඩි දෙයක් කිරීමට බලයක් නැති බව ඒ ආයතනයේ ඉන්නා උන් නොදනිති. උන්ව පාලනය කරනා ප්‍රධානී හුද නොදනිති. ඒ අමාත්‍යංශ භාර ලේකම්වරු ද නොදනිති. ලේකම්වරු ලෙස පත් වන්නේ පත්කරන අයගේ ගෝල බාලයින්ට පුද්ගලිකව කර ඇති උපකාරවලට ප්‍රති උපකාර කිරීමක් ලෙස මිස දැනුම හෝ දක්ෂතාවය සලකා බලා නොවන බව කවිරුත් දනිති.
මේ සියල්ල මෙසේ වෙද්දී මහජනයා ද ඊට සාපේක්ෂව කුණුවී ඇත්තෝය. නීතිය නොසලකා කරන ලද අසාධාරණය නිවැරදි කරගන්නට යන්නේ නීතියට පිටතින් ඇති ක්‍රමවලට ය. නීතිය ක්‍රියාත්මක කරන අංශවලට වැරදි ලෙස කටයුතු කිරීමට එරෙහිව අභියෝග කරනු වෙනුවට පනවා ඇති නීති විරෝධී ක්‍රියාවලීන් අනුගමනය කරති.
මහජන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන නීතිය ගැන අවබෝධයක් ලබා නොගනී. නීති විරෝධී දේ පෙන්වා දෙමින් නීතියේ පාලනය ස්ථාපිත කිරීමට සටන් කරනු වෙනුවට දූෂිතයින්ගේ ලණු කමින් ඩොලර්, පවුම්, යුරෝ වලින් නීති විරෝධී දේ ක්‍රියාත්මක කරනු යැයි සම්මන්ත්‍රණ පැවැත්වීමට ද උද්ඝෝෂණ කිරීමට ද එබඳු සංවිධාන ද පෙළඹී සිටී. ඕනෑම කරුණකදී පවතින ආණ්ඩුවට එරෙහි වන විපක්ෂ ද විපක්ෂ පෙන්වා දෙන ඕනෑම හොඳ දෙයක් ‘පයිසෙකට ගණන් නොගන්නා’ ආණ්ඩු ද අපි ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනඟා ගත්තෙමු.
මේ සියළු තත්වයන් යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමිකයෙකු ලෙස මෙරට ජන සමාජය වෙත එල්ල කළ හැකි ශෝචනීය සරදම් පැනයක් තිබේ. එනම් ‘ඔබට සතුටුයි ද දැන්’ යන්නය.
සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකා පරිපාලන සේවය (විශ්‍රාමික)