අප රටේ රාජ්‍ය පාලනය සම්බන්ධ පරමාදර්ශී රජවරු කිහිප දෙනෙක් වෙති. ඔවුන් අතරිනුදු ප්‍රමුඛ තලයට පත්වන උදාරතර රාජ චරිත දෙකක් තිබේ.
අප රට එක් සේසත් කිරීම සහ බුදු සසුන නඟා සිටුවීම සම්බන්ධ ශ්‍රී ලාංකේය පරමාදර්ශය දුටුගැමුණු රජතුමා ය. එමෙන්ම කෘෂිකාර්මික විප්ලවයක් තුළින් අප රට සහලින් ස්වයංපෝෂිත කිරීම සම්බන්ධයෙන් පළමු වන පරාක්‍රමබාහු රජු පරමාදර්ශී රාජ චරිතය වශයෙන් පිළිගනු ලැබේ.
එනිසාම මෙම රජවරුන් ගේ පරමාදර්ශී ප්‍රතිරූප තමන් වෙත ආරෝපණය කරගැනීම කෙරෙහි වත්මන් රාජ්‍ය නායකයෝ ද අති මහත් උනන්දුවක් පළ කරති. එවන් තත්වයක් තුළ දී ද වත්මන් රාජ්‍ය නායක කාරකාදීන් ගේ ක්‍රියාවන් තුළින් ප්‍රායෝගික වශයෙන් මතු වන තවත් ජනප්‍රියතම රාජ චරිතයක් තිබේ. ඒ කැකිල්ලේ රජතුමාගේ සුවිශේෂ චරිතාපදානයයි.
රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය විචක්ෂණශීලීත්වයක් නොමැති බැවින් අන්‍යයන් ගේ බස් අසා හෝ අත්තනෝමතික ලෙස කටයුතූ කිරීම නිසා හාස්‍යෝත්පාදක තීරණ ගන්නා ඔහු ගේ අමනෝඥ ක්‍රියා කලාපයන් නිසා අතිශය ජනප්‍රියත්වයට පත් පිරුළක් තිබේ. එනම් ‘කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු වගේ’ යන්න ය.
මහදැනමුත්තා, කවට අන්දරේ සහ රයිගමයා, ගම්පලයා යන පොදු ජන වහරේ එන චරිත අතුරින් කවට අන්දරේ මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුගේ රාජ සභාවේ ඉහළම නිලයක් හෙවත් අදිකාරම් පදවියක් හෙබ වූ අයකු බව සනාථ කරවන ඓතිහාසික සාක්ෂි තිබේ.
එමෙන්ම ගම්පොළ හෙවත් ගඟසිරිපුර රාජධානි සමයේ රාජ්‍ය පාලනය බිඳ වැටීම මත එහි රජවරුන්ට තම රාජ්‍ය පාලන කටයුතු සඳහා එවක පැවති රයිගම උප රාජධානිය පාලනය කළ අලකේශ්වර පරපුරේ සහාය ලබා ගැනීමට සිදුවිය. රයිගමයාගේ සහ ගම්පලයා ගේ කතා පුවත් මගින් එම සංසිද්ධිය සංකේතනය විය. නමුදු මහදැනමුත්තා සහ කැකිල්ලේ රජතුමා හුදු කල්පිත චරිතයන් බව බොහෝ දෙනකුගේ පිළිගැනීම ය.
එහෙත්, මීට වසර නවයකට ඉහත එනම් 2011 වසරේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොතුපිටිය නම් ප්‍රදේශයේ සංචාරය කළ මට එහි ගැමියකු වෙතින් විස්මිත තොරතුරක් දැන ගත හැකි විය. එනම් බොහෝ දෙනකු නොදැන සිටිය ද කැකිල්ලේ රජුගේ රාජධානිය ඒ ආශ්‍රිත පොතුපිටිය, කැකිල්ලපිටිය, ගාලේවත්ත නම් ප්‍රදේශ ආශ්‍රිතව තිබූ අතර ඔහුගේ රජමාලිගය ඉලුඹකන්ද නම් වනය තුළ පිහිටා තිබූ බවකි.
කලවාන, වැද්දාගල, පොතුපිටිය, සූරියකන්ද යන ප්‍රදේශ යා කරමින් සිංහරාජ වනය ආශ්‍රිත ඉලුඹකන්ද වනාන්තරය හරහා මාවතක් තැනීමට යන පුවත මුල් කොට 2011 වසරේ එම ප්‍රදේශයේ සංචාරය කළ මට පොතුපිටියේදී හමු වූ ගැමියකු කී එම ‘කැකිල්ලේ රාජ වෘත්තාන්තය’ හුදෙක් මා වෙත එල්ල කළ සරදමක්, උපහාසයක් හෝ ඇනුම්පදයක් විය හැකි යැයි මට සිතිණ. ඒ එම පාරිසරික පද්ධතිය මැදින් මාර්ගයක් තැනීම කෙරෙහි එවක එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් කැමැත්ත පළ කළ බැවිනි.
‘කොළඹින් පරිසරේ ගැන කතා කරන්න එන මහත්තුරු නම් මේවට එන්නේ කෑම දිරවන්න; ඒත් අපි එපායැ ලුණු ටිකක්වත් ගන්න පාරක් තොටක් නැතුව මේවයේ දුක් විඳින්න” වයස අවුරුදු හැත්තෑ පහක් පමණ විය හැකි එම ගැමියා කැකිල්ලේ රජුගේ කතාවට කලින් මා හා එසේ ද කීය. නමුදු ඉන්පසුව ඔහු හෙළි කළ එම කැකිල්ලේ රාජ පුරාවෘත්තය “එහෙම් පිටින්ම කුණු ගොඩට දැමිය යුත්තක්” නොවන බව ඔහු එම කතාව මදින් මඳ හෙළිකරන අතරේ මට සිතිණ.
එම ගැමියා වැඩිදුරටත් මා හා කී අන්දමට කැකිල්ලේ රජතුමා වත්මන් ඉලුඹකන්ද වනය තුළ පිහිටි මාලිගාවක වැඩ වෙසෙමින් රාජ්‍ය විචාළ බවට සාක්ෂි ඕනෑ තරම් ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් නිසි විමසුමක් සිදුකොට නොමැත.
එමෙන්ම කැකිල්ලේ රජු මුල් කොට ගත් ප්‍රවාද ආදියෙන් ඔහු තම ප්‍රදේශයේ ජීවත් වූ අයකු ලෙස හඳුන්වාදීම අන්‍යයන් වෙතින් තමන් වෙත උපහාසය යොමු කර ගැනීමක් බැවින් ඉලුඹකන්දේ රජ කම් කළ කැකිල්ලේ රජතුමා පිළිබඳ පුරාවෘත්ත පසුකාලීන ජන සමාජය මගින් සිතා මතාම යටපත් කරන්නට ඇති බව ඔහු ගේ විශ්වාසය විය.
“අනික ඔය රාජධානිය තිබුණු ප්‍රදේශයට ඉස්සර තිබිලා තියෙන්නේ ‘කැකිල්ල’ සම්බන්ධ මොකක් හරි නමක්. ඒත් පහු කාලෙක දී ඔය කඳු ප්‍රදේශය විශාල ගිල්මක් ඒ කියන්නේ නාය යාමක් ඇවිත් පොළවට ගිලා බැහැලා තියනවා. ඊට පස්සේ ඔය ගිල්මකන්ද කියන නම තමයි පහුවෙනකොට ඉලුඹකන්ද වෙලා තියෙන්නේ, අදත් ඔය කන්ද ප්‍රදේශයේ කැකිල්ල කියන ගස් ජාතිය වැහි වැහැලා.” හෙතෙම කීය.
දියසීරාව සහිත ලොම් පසෙහි බහුල වශයෙන් වැවෙන මීවන කුලයට අයත් කැකිල්ල (gleichenia lineris) ශාඛය සහිත එවන් උස්බිම් නාය යාම්, ගිලා බැසීම් ආදියට නතුවීමේ පහසු හැකියාවක් තිබේ.
“ඔය කැකිල්ලේ රජ්ජුරුවන්ට ඒ නම පටබැඳිලා තියෙන්නෙත් බොහොම රසවත් සිද්ධියක් මුල්කර ගෙන;” එම ගැමියා වැඩිදුරටත් කීය.
“ඔන්න ඔය කාලේ ඔය රජ්ජුරුවන් ගේ රාජධානිය බලන්න යාබද රාජ්‍යයක රජ කෙනෙක් ඇවිත් තියනවා. මේ රජ්ජුරුවන් ගේ සංචාරය මුල් කරගෙන තමන් ගේ රාජධානිය බොහොම ලස්සනට, පිළිවෙලකට තියා ගන්න කල්පනා කරපු මේ රජතුමා තමන් ගේ රාජධානියේ තියන වල්පඳුරු, කැකිල්ල ගස් අයින් කරලා පාරවල් බොහොම ලස්සනට කල එළියට තියන්න කියලා රට වැසියන්ට ආඥාවක් පනවලා තියනවා; ඉතින් රට වැසියොත් බොහොම වෙහෙස මහන්සි වෙලා රජ්ජුරුවෝ කියපු හැටියට ම ඒ කැළෑ එළිකිරීම් කළාය කියමුකෝ.
පස්සේ මේ කටයුත්ත හරියට කෙරිල ද කියලා බලන්න රජතුමා ඒ ප්‍රදේශවල සංචාරය කරන කොට වැටහිලා තියනවා; රටවැසියෝ ඒ කටයුත්ත කරලා තියෙන්නේ ඕනෑවට එපාවට කියලා. ඉතින් ඒක රාජ ආඥාවක් කඩ කිරීමකුත් හින්දා රජතුමා ඒ ප්‍රදේශයේ ඉන්න හැමෝගෙන්ම දඩ මුදල් අය කර ගන්න කියලා රජ්ජුරුවෝ ඒ පැත්ත භාරව හිටපු මුදියන්සේ කෙනෙකුට නියෝග කළාලු. කොහොම හරි ඉතින් ඔය කියන යාබද රාජ්‍යයේ රජතුමන් මේ සංචාරය කළා කියමුකෝ. තමන් ගේ පැමිණීම වෙනුවෙන් ඒ පළාතේ තියන කැකිල්ල ගස් සේරම පිට්ටනියක් වගේ වෙන විදිහට එළිපෙහෙළි කරලා තියනවා දැකපු ඒ රජ්ජුරුවන්ට හරියට සතුටු හිතුණලු.
එහෙම හිතපු ඒ රජතුමා කැකිල්ලේ රජ්ජුරුවන්ට කිව්වලු මේ කටයුත්ත යස අපූරුවට කරලා තියන නිසා මේ ගමේ මිනිස්සුන්ට මගේ ගාණෙත් මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනේ කියලා; මේක ඇහුවා විතරයි කැකිල්ලේ රජ්ජුරුවන්ට තරු පෙනුණා. මොකද ඒ කැකිල්ල ගස් හරියට සුද්ද නොකරපු හින්දා තමන් දඩ ගැහුවෙත් ඒ ගමේ මිනිස්සුන් ගෙන්ම හින්දා; ඒත්, ඉතින් කොහොමද යාබද රාජධානියේ රජ්ජුරුවන් ගේ ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන්නේ; කොහොම නමුත් ඒ රජ්ජුරුවන් ගේ ඒ වැඩෙන් ඒ ප්‍රදේශයේ වැසියන් ගේ හිත් තුළ තමන් ගැන ඇතිවෙන අප්‍රසාදයට සමාන්තරව යාබද රාජ්‍යයේ රජතුමා ගැන ප්‍රසාදයක් ඇති වෙන බවත් කැකිල්ලේ රජ්ජුරුවන්ට තේරුණා.
ඒ අනුව වහාම තමන් ගේ ඇමැති මණ්ඩලේ රැස් කරපු කැකිල්ලේ රජතුමා ඒ ගැන ඇමතිවරුන් ගෙන් උපදෙස් පැතුවා. එතකොට තමයි ඇමතිවරු කිව්වේ “ස්වාමිනී, ඕක සමහර විට යාබද රාජධානියේ රජතුමා මේ රාජධානියත් අත්පත් කර ගන්න අටවපු කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. කොහොමත් ඒ රජතුමා අපේ රාජධානියේ වැසියන්ගේ හිත් දිනාගන්න යන එක නම් එච්චර ඇඟට ගුණ නැහැ. ඒ හින්දා ඔබ වහන්සේට දැන් කරන්න තියෙන්නේ එක දෙයයි. ඒ හින්දා ඒ රජතුමා ඒ පැත්තේ වැසියන්ට දෙන තෑග්ගට තවත් ඒ වගේ දෙගුණයක් ඔබ වහන්සේගේ ගාණේ එකතු කරලා දෙන්න” කියලා.
“ඉතින් ඒ විදිහට තමන් දඩ ගහපු රටවැසියන්ට ඒ එක්කම රාජකීය තෑගි බෝගත් ප්‍රදානය කරපු හින්දා තමයි ඒ රජ්ජුරුවන්ට ඔය කැකිල්ලේ කියන නම පටබැඳිලා තියෙන්නේ. ඒ එක්කම අදටත් කැකිල්ලපිටිය කියලා ඒ ගමේ ජීවත් වුණු පරණ මිනිස්සුන් ගෙන් පැවත එන අයගේ අදටත් වාසගම කැකිල්ලපිටියම තමයි. නමුත් අද ඔය කතාවේ අතීත, වර්තමාන පුරුක් ගැලවිලා හින්දා කිසි කෙනෙක් ඕවා ගැන දන්නෙත් නැහැ; හොයන්නෙත් නැහැ”. කැකිල්ලේ රජතුමා පිළිබඳ සිය දැනීම් අවබෝධයන් එසේ මා හමුවේ ගෙනහැර දැක් වූ එම ගැමියා අවසානයේ එසේ ද කීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වශයෙන් කටයුතු කළ සුනිල් කන්නන්ගර මහතා කලක් රත්නපුර මහ දිසාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර සබරගමුවේ ජනශ්‍රැති මුල්කොට මානව විද්‍යාත්මක විමර්ශනයන් සිදු කොට ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් අතලොස්ස අතරට ද අයත් වෙයි.
“ඔය ඉලුඹකන්ද කියන ගමට මගෙත් විශේෂ සම්බන්ධයක් තියනවා. මොකද මගේ පියා ගේ මෑනියන්ගේ ; ඒ කියන්නේ මගේ මිත්තනියගේ උපන් ගම ඉලුඹකන්ද. මිත්තනිය ඉපදිලා තියෙන්න 1880 දශකයේ විතර. ඔය ඉලුඹකන්දේ ගිල්ම ඒ කියන්නේ නාය යාම ගැන කතා මිත්තනිය අපි කුඩා කාලයේ අපිට කියලා දීලා තියනවා. ඔය නාය යන දවසේ කුකුළ කියන ප්‍රදේශයේ මඟුල් ගෙදරකට ඇවිත් හිටිය පවුල් දෙකක සාමාජිකයන් ඇරුණම ඔය නායට යට වෙලා මුළු ඉලුඹකන්ද ගමේ අනික් හැමෝම පණ පිටින් වැළලුණා කියලා තමයි අපේ මිත්තනිය කිව්වේ. ඒ වගේම ඔය ඉලුඹකන්ද ප්‍රදේශයේ වරින් වර සිද්දවෙන නාය යාම් වල දී මතුවෙන පොළොවේ යට පස් ස්ථරවලින් මැටි වළං කටු, උදළු තල, කැති වගේ ලෝහ ආයුධ එහෙමත් මතු වෙන බවක් කියනවා. ඒ ඉස්සර සිද්ද වුණු නාය යාමේ දී පොළොවේ වැළලුණු ඒවා වෙන්න පුළුවන්.”
අපගේ වංශ කතා සාහිත්‍යයට අනුව හෝ වෙනයම් සම්මත මූලාශ්‍රයකට අනුව ඉලුඹකන්ද ප්‍රදේශය හා සම්බන්ධ රජ පෙළපතක් හෝ රාජධානියක් පිළිබඳ මුලාශ්‍ර කිසිවක් මතු කර ගත නොහැක. නමුදු මීට තරමක් නොදුරු රක්වාන ප්‍රදේශයේ රජවත්ත නම් ග්‍රාම නාමයක් තිබේ. සුනිල් කන්නන්ගර මහතා වැඩිදුරටත් කියා සිටි අන්දමට ඉලුඹකන්ද ප්‍රදේශයේ පැරණි රජ කෙනෙකු මුල් කර ගත් ජන ප්‍රවාද තිබේ.
“ඔය ප්‍රදේශයේ රජකම් කරපු රජ කෙනෙක් රාජධානියේ සංචාරය කරන කොට අතරමඟ තිබුණු මඩ වඟුරක් තරණය කර ගන්න බැරුව නතර වෙලා තියනවා. එතකොට ඒ ගමේ හිටපු බොහොම හැඩිදැඩි ශක්තිමත් තරුණයෙක් ඒ මඩවගුරේ දන ගහගෙන රජතුමාට තමන්ගේ කර උඩින් එගොඩ වෙන්න අවස්ථාව සලසලා දුන්නාලු. එතකොට රජ්ජුරුවොත් බොහොම සතුටු වෙලා, උඹට තියෙන්නේ “සිංහ කරක් නේ” කියලා ප්‍රසංශා කරලා තෑගි බෝග එහෙමත් දීලා ඒ තරුණයාට මුලාදෑනි කමකුත් දුන්නලු. අදත් ඒ පැත්තේ ඉන්න කරසිංහ ආරච්චිගේ කියන පෙළපත ඒ තරුණයා ගෙන් පැවත එන බවට ජනප්‍රවාද තියනවා” සුනිල් කන්නන්ගර මහතා කීය.
’‘සබරගමුවේ රජ පෙළපතක් නැති වුණාට කන්ද උඩරට රාජධානි කාලේ ඉඳන් රජවරු වගේ වැජඹුණු වංශවත් ප්‍රභූ පැලැන්තියක් හිටියා; කන්ද උඩරට රජවරුන් ගෙන් හිමිවුණු නින්දගම් වලින් ලොකු ආදායම් ලබපු ඒ සමහරුන්ට අලි ඇතුන්, ඇත්ගාල් පවා තිබුණා. සබරගමුවේ සාමාන්‍ය ජනතාව ‘අප්පො’ කියන නමින් හඳුන්වපු ඒ පරම්පරාවල සමහරුන්ව ‘රජ්ජුරුවෝ’ කියලත් හඳුන්වපු අවස්ථා තිබෙනවා”
මේ පිළිබඳව මා කළ විමසුමක දී එසේ කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කය මුල්කොට ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක යන විෂය ක්‍ෂේත්‍ර යටතේ ග්‍රන්ථ කිහිපයක් සම්පාදනය කර ඇති විශ්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරී ජයන්ත විජේරත්න මහතාය. “රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක්” යන ග්‍රන්ථ නාමයෙන් යුතුව ඔහු මෑතක නිකුත් කළ කෘතිය අප සමාජයේ ප්‍රභූ පැලැන්තියට අයත් එක්තරා ජන කොටසක් මුල් කොට බිහිවුණු කදිම සමාජ සහ මානව විද්‍යාත්මක නිබන්ධනයකි.
“සබරගමුවේ ජීවත් වන සමහර ප්‍රභූ පවුල් ඕලන්ද, ඉංග්‍රීසි වගේ යටත් විජිත පාලනයන් ගෙනුත් නොයෙකුත් වරප්‍රසාද ලැබුවා වගේම පසුකාලීන බටහිර අධ්‍යාපනය, බටහිර සංස්කෘතික ආභාෂය වගේ දේවල් වලින් සාමාන්‍ය ජන සමාජයෙන් සැලකිය යුතු විදිහට දුරස් වුණා. ඒ වගේම බටහිර යටත් විජිත පාලකයන් වෙතින් ‘රටේ මහත්වරුන්’ හැටියට තනතුරු ලාභ හිමිකර ගෙන හිටපු මේ ප්‍රභූන්ට නඩු ඇසීමේ සහ දඩ අය කර ගැනීමේ බලතල හිමි වීමත් එක්ක සාමාන්‍ය ජනතාව සහ මේ අය අතර තිබුණු බැඳීම සුහදතාවය යටපත් වෙලා පාලක – පාලිත සම්බන්ධයක් ගොඩ නැඟුණා.
මම විශ්වාස කරන විදිහට ඔය ඉලුඹකන්දේ කැකිල්ලේ රාජ කතාවත් ඒ කාලෙ හිටපු ප්‍රභූවරයකුට රාජ්‍යත්වයක් ආරෝපණය කරලා ගොඩනැඟුණු උපහාසාත්මක ජන කතා පෙළක් විය යුතුයි. ඔය ඉලුඹකන්ද කිට්ටුව තියන ‘ගාලේවත්ත’ කියන ග්‍රාම නාමයත් අතීතයේ තිබුණු ඇත්ගාලක් මුල්කොට ඇති වූවක් නම් ඒක ප්‍රභූ වරයකු සතු නින්දගමක් ම විය යුතුයි” ජයන්ත විජේරත්න මහතා කීය.
අතීතයේ කලවාන ආශ්‍රිතව එවැනි ප්‍රභූ පරම්පරාවල් කිහිපයක් තිබූ අතර අද ද ඒවායේ ශේෂ මාත්‍රයන් දක්නට තිබේ. අද වන විට පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සංරක්ෂණය වන මඩුවන්වෙල රටේ මහත්තයා නමින් ප්‍රසිද්ධ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහතාගේ පළමු විවාහය වන එක්නැලිගොඩ කුමාරිහාමිගේ අකල් මරණයෙන් පසු එවකට හතළිස් තුන් හැවිරිදි ඔහු දෙවන වරට විවාහ කරගෙන ඇත්තේ කලවානේ වලව් පෙළපතකට අයත් කලවානේ කුමාරිහාමි නම් සබරගමුවේ රදළ තරුණියකි. ඒ 1887 වසරේය.
“කලවානේ රදළ පරම්පරා කිහිපයක්ම තිබෙනවා. ඔය කැකිල්ලේ රාජ චරිතයක් එවැනි පරම්පරාවකට අයත් ප්‍රභූ වරයෙක් මුල් කරගෙන සාමාන්‍ය ජනතාව ගොඩ නැඟූ උපහාස භාෂණයක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙන කොට ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවට අයිති ඔය ඉලුඹකන්ද වනයේ පැරණි ඉඩම් අයිතිය පරීක්ෂා කළොත් අතීතයේ ඒකට හිමිකාරත්වය ඇති ප්‍රභූ පෙළපත හඳුනා ගන්න අසීරු වෙන එකක් නැහැ”.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක හිමිපාණෝ කීය. මඩුවන්වල රටේ මහත්තයා ගේ දෙවන විවාහය වූ කලවානේ කුමාරිහාමි නම් වූ කුලවමිය ගේ මීමුනුපුරකු වන උන්වහන්සේ ශ්‍රී පලාබද්දල චන්ද්‍රසෝම බී කලවාන නමින් ජන විශ්වාස සහ ජන ශ්‍රැති අධ්‍යයනයෙහි යෙදී සිට ජීවිතයේ සන්ධ්‍යා භාගයේ දී ගිහි ගෙය හැර පැවිදි බිමට පත්වනු ලදුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ නිසසල අසපුවක බවුන් වඩමින් වැඩ වෙසෙති.
“කොහොමත් ඔය වගේ ජන ශ්‍රැතීන් සත්‍ය සිද්ධීන් පදනම් කරගත් සංකේත නිරූපණ වගේම යම් යම් පුද්ගල චරිතයන් මුල් කොට ගැමි විඥානයෙන් ප්‍රබන්ධකණයට, අධිආරෝපණයට ලක් වුණු ඒවාත් වෙන්න පුළුවන්; ඒ අනුව ඕවා හුදෙක් අසත්‍ය කරුණු ලෙස ප්‍රතික්‍ෂේප කළ යුතු නැහැ” උන්වහන්සේ කීහ.
ඒ කෙසේ හෝ වර්තමානය ඇතුළු මෑත කාලය තුළ අපගේ රාජ්‍ය නායකයන් විසින් ගනු ලැබූ සහ ගන්නා ලබන දේශපාලනික තීන්දු තීරණ මුල්කොට අද අපගේ ඵීමර්ශනයට ලක් වූ කැකිල්ලේ රාජ පරමාදර්ශය අප රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළින් දුටුගැමුණු සහ පළමු පරාක්‍රමබාහු යන පරමාදර්ශී රාජ චරිත ඉක්මවා නැඟී සිටිය හොත් ඒ සම්බන්ධයෙන් ද අප කිසිවෙක් පුදුම විය යුතු නොවේ.
තිලක් සේනාසිංහ