පෑන් පහරකින් රෝහලක් හැදීමේ ශ්‍රී ලාංකීය හාස්කම චීනයේ දින 10 වාර්තාව කුඩුපට්ටම් වේද?

July 12, 2020

අපේ රට හාස්කම් සම්බන්ධයෙන් ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. නමුත් ප්‍රතිඵල වශයෙන් බලන කොට ඒ හාස්කම් බොහොමයක අගය බිංදුවයි.

නිරෝධායන මධ්‍යස්ථානයක් එක පෑන් පහරකින් රෝහලක් බවට පත් කිරීම අපට අළුතෙන්ම අහන්න ලැබෙන ඒ වගේ හාස්කමක්. නමුත් නිරෝධායන මධ්‍යස්ථානයක් ක්ෂණයකින් රෝහලක් කළ හැකිද?

එක පෙළට ඇඳන් තිබ්බ පළියට එය රෝහලක් ද? එතකොට කෝ මිසීලා? කෝ වෛද්‍යවරු? කෝ සුළු සේවකයන්? කෝ ඖෂධ වේදීන්? කෝ ඖෂධ ගබඩා? කෝ ICU? කෝ ඖෂධ? කෝ විෂබීජහරණ උපකරණ? කෝ වෛද්‍ය පරිපාලක? පාලනය වෙන්නෙ කොළඹ ඉඳන් ද? කෝ ඔවර්සියර් වරු? කෝ මේට්‍රන්ලා? මේ රෝහල නමට පමණක් ද? නැතිනම් සෞඛ්‍ය අමාත්‍යාංශය විස්කම් බලයෙන් මෙතන රෝහලක් නිර්මාණය මවා පෑවාද?

වසර 35 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ මට නම් එය අදහා ගත නොහැකි දෙයක්. හරියට සුරංගනා කථාවක් වගේ. චීනයේ නිමැවුණේ අංග සම්පූර්ණ රෝහලක්. එනිසා එම වාර්තාව බිඳෙන එකක් නැහැ.

ආරංචි වල හැටියට දැනට අපේ කොරෝනා රෝහල් රාශියක් තිබුණත් ඒවායේ රෝගීන් ඉන්නේ ටික දෙනයි.

ඉතින් මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ 300ට අධික නව රෝගීන් පිරිස ඇයි මේ රෝහල් වලට බෙදලා යවන්න බැරි? මත්ද්‍රව්‍ය ලෝලීන් වුවත් මනුෂ්‍යයන් වූ මේ රෝගීන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා දුර්වල වූ අයයි. මරණ හා සංකූලතා සිදුවීමට අවස්ථාව වැඩි නිසා ඉතා ප්‍රබල ප්‍රතිකාර අවශ්‍ය අයයි.

නිකම් ‘නමට රෝහලක්’ දැමීම ඔවුන්ට මරණ සහතික ලියා දුන්නා වගේ වැඩක්. වැඩියෙන් ICU ප්‍රතිකාර අවශ්‍ය මාරාන්තික රෝගයක් වැළඳුණු මොවුන්ට නිකම් ඇඳන් විතරක් සෑහේ ද? ජීවිතයෙන් අඩකටත් වැඩි කාලයක් රෝහල් සේවයේ යෙදුණු අයෙකු හැටියට මට නම් මේ කටයුත්ත පෙනෙන්නේ රෝගීන් මරු වසඟයට ඇද දැමීමට දරණ උත්සාහයක් වගේ.

සමාජයේ කොරෝනා වෛරසය පැතිරීමට පෙර අර කොරෝනා වැළඳුණු උපදේශිකාව ගමන් බිමන් ගිය හා ඒ මාර්ගයේ ඒ ගමනාන්තයට ගිය සියලු ආසන්න වේලාවන්වල ගමන් ගත් ඒ හැඩැති සියලු බස් රථ හා ඒ වෙලාවේ ඒවායේ ගමන් කළ මගීන් මාධ්‍ය මගින් දැනුවත් කළ යුතු වෙනවා.

ඒ වගේම ඔවුන් පිළිබඳ තොරතුරු ලුහුබැඳ යාමෙන් දැනට පලාගොස් සැඟවී සිටින කොරෝනා සතුරා නැවත අල්ලා ගත හැකියි. ඒ වගේම ඇය හමු වු සියලු මිතුරනුත් සියලු මාධ්‍ය වල උපකාරයෙන් සොයා බැලීමට රජය දැනටමත් උත්සාහයක් ගෙන යනවා ඇතැයි අපි සිතනවා.

නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් හමුවීමට පැමිණි සියලු අය ගැන දැනටමත් සොයා බැලීම අරඹා තිබේ නම් එය ඉතා වැදගත් පියවරක්.

මේ කොරෝනා රැල්ලත් වචනයෙන් නොව ක්‍රියාවෙන්ම පොකුරක් ලෙසට සීමා කිරීමට හැකි වුණොත් එය සියලු ලංකාවාසීන්ගේ විශාල ජයග්‍රහණයක් වනු ඇති. නමුත් මෙයත් කොරෝනා පොකුරක් පොකුරක් කියමින් අපේ සිත් සනසා ගන්නට වෙර දැරීම නම් අපේ ශ්‍රී ලංකා වාසීන් කොරෝනා රකුසාට බිලි දීම සඳහා වන අනියම් වැඩපිළිවෙලක් ලෙසයි මට හැඟී යන්නේ.

විශේෂඥ වෛද්‍ය

ආර්. එන්. ජී. රාජපක්‍ෂ

t

o

p