ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන යුගයක් අගෝස්තු 05න් පසු

July 11, 2020

එක පවුලේ ජනාධිපති, අගමැති රට පාලනය කළත් ආර්ථික ප්‍රශ්න වලට විසදුම් ලබාදීමට නොහැකි වු බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට නැවත බලය දි රට විනාශය කරා ගෙන යනවාද එසේත් නැතිනම් ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන එ.ජා.ප. පාලනයක් ඇති කරනවාද කියා රටේ ජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව පැවසිය.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවණයට ඉදිරිපත්ව සිටින්නේ ජනතාව අතට මුදල් ලබාදෙන ක්‍රමවේදයක් ඇති කර රටේ ආර්ථිකයට නව පනක් ලබා දීමට බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ මහරගම සහ කොලොන්නාව එ.ජා.ප. බල මණ්ඩල රැස්වීම අමතමිනි.

තලපත්පිටිය නිව් සිරි උත්සව ශාලාවේදී පැවති මහරගම බල මණ්ඩල රැස්විම මහරගම එ.ජා.ප. සංවිධායක නිතිඥ සුදත් ජයසුන්දර මහතා සංවිධානය කර තිබු අතර, කොටිකාවත්ත සනස ශාලාවේදී පැවති කොලොන්නාව එ.ජා.ප. බල මණ්ඩල රැස්විම කොලොන්නාව එ.ජා.ප. සංවිධායක ජිනසිරි දඩල්ලගේ මහතා විසින් සංවිධානය කොට තිබිණි. 

එම බල මණ්ඩල රැස්වීම් අමතා තවදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මෙසේද කිය.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් 225 දෙනාම දියවන්නා ඔයට තල්ලුකල යුතු බව පසුගිය කාලයේ මෙරට වැඩිහිටි ජනතාව මෙන්ම තරුණ තරුණියෝද ප්‍රකාශ කළා.  නමුත් මේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයින් කිසිවෙක් දියවන්නාවට දැමිය යුතු අය නොවෙයි.  එවැනි අය අපේ පක්ෂයෙන් මෙවර ඉදිරිපත් කර නැහැ.

අපි අද නැවත මේ රටේ ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටිනවා.  ඒ වරම ඉල්ලා සිටින්නේ ඔබේ අතට මුදල් ලබාදී රට දියුණු කිරිම සදහායි.   අද මේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා.  ඒ අර්බුදය ඇති වුනේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා නොවෙයි.  එය ආරම්භ වුනේ පසුගිය ජනවාරියේදි බව කිව යුතුයි.  

මේ ආණ්ඩුව නොවැම්බර් මාසයේදි රටේ බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.  අලුත් බදු ක්‍රමයක් ගෙනවිත් රටේ ආර්ථිකයට පණ දෙන බව ඔවුන් එදා ප්‍රකාශ කළා.  ඇතැම් අය ඊට ප්‍රසංශා කළා.  ඒ බදු ක්‍රමය නිසා දෙසැබ්ර් මාසය අවසන් වන විට රජයේ බදු ආදායම අඩු වුනා.  මේ නිසා ණය ගෙවා දැමිමට නොහැකි වුනා.  ඒ බදු නිසා ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින් සදහා ලබාදිමට අපේ ආණ්ඩුව සැලසුම කර තිබු දීමනා මේ ආණ්ඩුව කපා හැරියා.  ඒ නිසා මේ ප්‍රශ්නය රටට හෙළිවුනා.  කොරෝනා හේතුවෙන් එය තවත් උග්‍ර තත්ත්වයට පත්වුනා.

මේ රටේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුනේ පසුගිය පෙබරවාරි මාසයේදි.  නමුත් ආර්ථික අර්බුදය ඇතිවුනේ රාජ්‍ය සේවකයින්ගේ දිමනා කපා හැරියේ ජනවාරි මාසයේදි බව කිව යුතුයි.

මේ  අර්බුදය නිසා මේ වන විට රටේ අපනයන ආදායම විශාල ලෙස අඩුවි තිබෙනවා.  එම නිසා විදේශ ආදායම අඩුවි තිබෙනවා. රටේ ආදායම කඩා වැටෙනවා නම් රට ඉදිරියට ගෙනයා නොහැකියි.  මෙරටට ආනයන කරන භාණ්ඩ ඩොලර් මිලියන 7000 කින් අඩුකල පමණින් එහි දියුණුවක් ඇති වෙන්නේ නැහැ.

රටේ කර්මාන්ත වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය හා වෙළදාමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලංකාවට එන්නේ නැති වුනාම ආණ්ඩුවේ ආදායම තවත් අඩු වුනා.  ආර්ථික ගැටළු තවත් උග්‍ර වෙනවා.  මේ තත්ත්වය මහරගම, කොලොන්නාව වැනි මේ ප්‍රදේශ  වල ජනතාවට හොදින් වැටහි ඇතැයි මා විශ්වාස කරනවා.  රටේ වැඩිපුර වෙළදාමක් සිදුවන්නේ මාර්තු සහ අප්‍රේල් යන මාස වලයි.  නමුත් මේ වසරේ ඒ ආදායම් මාර්ග ලැබුනේ නැහැ

මාස කිහිපයකට පසු දැන් යලිත් කඩ සාප්පු විවෘත කර තිබෙනවා.  ඒත් ජනතාව බඩු භාණ්ඩ වෙනුවෙන් වියදම් කිරිමට තවමත් ජනතාවගේ අතේ මුදල් නැහැ.  නමුත් මේ සියලු විනාශයන් මධ්‍යයේ ආණ්ඩුව නිශ්ශබ්දව බලා සිටිනවා. මේ මැතිවරණයේදි ඔවුන් ඒ ගැන කථා කරන්නෙවත් නැහැ. 

සැලුන් දොර අරිනවාද වහනවාද කියා මහින්ද රාජපක්ෂ විමසනවා.  නමුත් අද සැලුන් දොරක් නැහැ.  ඒ සැලුන් දොර ගලවා උකස් කර තිබෙනවා.  ජනතා ප්‍රශ්න වලට ආණ්ඩුවට නිසි විසදුම් නැති නිසා නැවත නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා. 

රටේ ආර්ථිතික අර්බුදය දැන් ආරම්භ වුනා පමණයි.  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ තව අවුරුදු දෙකක් මේ අර්බුදය පවතින බවයි.  නමුත් අනිත් අය ප්‍රකාශ කරන්නේ එය අවුරුදු තුනක් පමණ වන බවයි.  එහෙත් අද පවතින මේ තත්ත්වයත් සමග තව අවුරුදු දෙක තුනක් නොව ජනතාවට මාස හයක් වත් ආර්ථික බර දරාගෙන ජිවත් විය නොහැකියි.

අද මේ ස්ථානයට පැමිණ සිටින මාධ්‍යවේදීන්ගේ දිමනා කපාහැර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඔවුන් රැකියා කරන සමාගම් වල ආදායම පහත වැටීමයි.  තව මාස හයක් ඉදිරියට ගියොත් වැටුපත් අඩු කරාවි.  එහෙම වුනොත් කාටවත් දොස් නගන්න බැහැ.  නැවත අවුරුදු පහකට ජන වරමක් ඉල්ලන්න මේ ආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බව කිය යුතුයි. 

ජනාධිපති , අගමැති එකම පක්ෂයේ සිටිමින් රට පාලනය කළත් ජනතාවගේ අතේ මුදල් නැහැ.  මෙවර රටේ ඡන්ද දායකයින් අවබෝධ කරගත යුත්තේ ජනාධිපති, අගමැති එකම පක්ෂයෙන් නැවතත් පත් කරනවාද, ජනතාවගේ අතට මුදල් ලබා දෙනවාද කියයි.

අප බලය ඉල්ලන්නේ ජනතාවගේ අතට මුදල් ලබා දිමටයි.  2015 අපි බලයට පත්වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු පනහක් වත් අපට සිටියේ නැහැ.  නමුත් අප බලයට පැමිණ ඒ වසරේ පෙබරවාරි මාසය අවසන් විමට පෙර එවකට මුදල් ඇමතිවරයාව සිටි රවි කරුණානායක මහතා රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.  එහි ප්‍රතිඵලයක් ලෙස සෑම තැනකම වෙළදාම වැඩි වුනා.  එමගින් ජනතාවට මුදල් උපයා ගැනිමට හැකිවුනා. 

මෙලෙස අදායම වැඩි කිරිම හෝ වියදම අඩුකිරිම අපට කළ හැකියි.  මෙහිදි ප්‍රථමයෙන් අප උත්සාහ ගන්නේ වියදම අඩුකිරිමයි.  එලෙස වියදම අඩුකිරිම තුලින් අතේ මුදල් වැඩිපුර තිබෙනවා.  එමෙන්ම සමාගම හා සංස්ථා වල ආදායම් සියල්ල වැඩිකළ යුතුයි.  එමගින් සේවකයින්ගේ කපාහරින ලද දිමනා සියල්ල නැවත ලබාදිය හැකියි.  මෙවැනි විශාල සැලැස්මක් අප සතුව තිබෙනවා.  ඒ ගැන ලබන සතියේ  සිට දීර්ඝ ලෙස සාකච්ඡා කිරිම අපේ  අරමුණයි.

අද මේ ආණ්ඩුවට විදේශ විනිමය සොයා ගැනිමට නොහැකි වී තිබෙනවා.  කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පසු ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් වලින් මුදල් ලබා ගැනිම සදහා ලොව රටවල්  බොහෝමයක් ඉල්ලුම් කළා.  අපත් ඒ ඉල්ලිම කර තිබෙනවා.  නමුත් අපට ඒ මුදල් ලබානොදි පකිස්ථානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින වැනි රටවල් මුදල් ලබා ගත්තා.  ලංකාවට දුන්නේ නැහැ.   මේ මුදල් ලබා නොගෙන ආණ්ඩුව දැන් විවිධ කතා කියමින් සිටිනවා.  රාජ්‍ය බැංකු තුනට  එම මුදල් ලබා ගන්න කියනවා. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැත්නම් බැංකු ලබාගන්නා එම මුදල් වලට වගකිම භාරගන්නේ කව්ද කියන ප්‍රශ්නය මතුවෙනවා.

ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු වල තිබෙන්නේ මෙරට ජනතාවගේ තැන්පත් මුදල්.  බැංකු ණය මුදල ලබා ගන්නේ නම් ඊට ඇප වෙන්නේ කවුද

මේ ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නිසි වැඩ පිළිවෙලක්  නොමැති කම නිසා අද එම මුදල් ලබා ගැනිමට නොහැකි වී තිබෙනවා.  නමුත් මා කියා සිටින්නේ අගෝස්තු පළමු සතියේ  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්  බලයට පත්වි තුන්වැනි  සතිය ගතවන්නට පෙර මේ මුදල් අපේ රටට ලබාගැනිම සදහා සාකච්ඡා  කර එම මුදල් අප ලබාගන්නවා.

මෙම මුදල් ලබා ගැනිමෙන් පසු ලංකාවෙන් මුදල් සොයා ගැනිම පහසු කාර්යයක් වෙනවා.  ඩොලර් මිලියන 6000 ක් අපට ලැබෙනවා නම් ලංකාවේ කවුද අපට මුදල් නොදෙන්නේ.  එතැන් සිට ආයතන වලට  උදව් කිරිම, රැකියා ආරක්ෂා කිරිම වැනි වැඩ කටයුතු සිදුකළ හැකියි.

මේ ගැන ඉදිරි කාලයේදි තවදුටත් අදහස් ප්‍රකාශ කරන්න මා බලාපොරොත්තු වෙනවා.  මේ ගැන කතා කරන විට මට බනිවි.  නමුත් එලෙස බැන්නත් ඒ සදහා තිබෙන විකල්පය කුමක්ද.  හොද විකල්පයක් තිබෙනවා නම් ඊට ජනතාවක් සහාය ලබාදෙනවා. මේ ගැන කතා කරන්නේ අපි පමණයි.

අද මේ රටේ ආණ්ඩුව කළහැකි දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා.  එකක් පොහොට්ටුව. අනෙක එක්සත් ජාතික පක්ෂය.  අනෙක් ගැස් සිලින්ඩර් පක්ෂ ගැන මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේ ජනතාවගේ අතට මුදල් දෙන්නේ කෙසේද කියා ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි. 

අපි මේ ආණ්ඩුවේ විකල්පය කුමක්ද කියා දැනගන්න කැමතියි.  ආණ්ඩවුට ඵක්‍ක්‍ ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියා රටට ප්‍රකාශ කළ යුතුයි.  ආණ්ඩුව හරියට වැඩ කළා නම් බය විය යුතු නැහැ.

ජනතාව අතට මුදල් අවශ්‍ය නම් ගෙදර ආර්ථිකය හදාගන්න උවමනා නම් අලියා ලගින්  කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස සමස්ථ ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

මෙම බල මණ්ඩල රැස්වීම් අමතා කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. මැතිවරණ අපේක්ෂකයින් වන එ.ජා.ප. උපනායක රවි කරුණානායක සහ එ.ජා.ප. උප සභාපති දයා ගමගේ සහ ජපානයේ හිටපු තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු අදහස් දැක්වු අතර, එම අවස්ථාවන් වලට කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂකයින් රැසක් සහභාගි වි සිටියහ. 

t

o

p