හූනියම් දෙවියන්ගේ ‘දේශපාලන මරු පහරින්’ බේරුණු උඩවල මුත්තා

July 8, 2020

පොදු මහජනතාවට නොවැටහුණ ද ප්‍රබලයන් විසින් දුබලයන් යටපත් කරනු ලැබීමක් අපගේ දේශපාලන ක්‍ෂේත්‍රයේ නිරතුරුවම සිදුවෙමින් පවතී.

ඇතැම් ප්‍රබල දේශපාලන පවුල් විසින් සාමාන්‍ය ජනතාවට ක්‍රියාකාරී දේශපාලනයේ ඉහළ තල වලට පිවිසීමට ඇති ඉඩකඩ අහුරා තිබෙන බව මේ වන විට සාමාන්‍ය ජනතාවට ද රහසක් නොවේ.

දේශපාලනයට අවශ්‍ය මූලික සුදුසුකම්වත් නොමැති එම ප්‍රබල පවුල් වල සාමාජිකයන්ට අප රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ ‘ඉහළ පුටු’ හිමිකර දීමට දරන වෑයම මෙරට සාමාන්‍ය ජනතාව ද යම් අයුරකින් අනුමත කරන බවක් පෙනේ. මෙය නොදියුණු, ප්‍රාථමික දේශපාලන ලක්‍ෂණයකි.

මෙම තත්වය අප රටේ ජනතාව විසින් අදහනු ලබන දෙවිවරුන් සම්බන්ධයෙන් මෙලෙසින්ම ක්‍රියාත්මක වන බවක් ඔබ මෙතෙක් දැන සිටියා ද?

විශේෂයෙන් අප රටේ බොහෝ දෙනෙකු විසින් ගම්භාර දෙවියන් නමින් හඳුන්වන ශුද්ධ සූනියම් ගම්භාර දෙවියන්ගේ අසීමාන්තික ජනප්‍රියත්වය නිසා අමු අමුවේ යටපත්ව ගිය ප්‍රාදේශීය දේව විශ්වාස රැසක් ම තිබේ. ඒ අතරින් ශුද්ධ සූනියම් දේව විශ්වාසය මගින් යටපත් කරනු ලැබූ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැති ප්‍රාදේශීය දේව විශ්වාසයන් කිහිපයක් පිළිබඳව පසුගිය කාලයේ අපේ අවධානයට යොමු විය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ගලේ දේවාලය නමින් හඳුන්වන පුද බිම ශුද්ධ සූනියම් ගම්භාර දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන අතිශය ජනාකීර්ණ පුදබිමකි. නමුත් මීට දශක කිහිපයක් දක්වා මෙය සැලකෙන ලද්දේ අස්වානේ දෙවියන් උදෙසා වෙන් කළ වෑගොව්වේ සංහිඳ වශයෙනි.

පහළොස්වන සියවසත් දහසය වන සියවසත් අතර කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ උප රාජධානියේ රජකළ සකලකලා වල්ලභ රජතුමා කෘෂි සහ වාරි කර්මාන්තය සම්බන්ධයෙන් සුවිසල් මෙහෙවරක් කළ නරපතියෙකි. එහෙත්, තම රාජ්‍යය තුළ හටගත් අර්බුදයක් මුල් කොට වැව් වානක් බිඳීයාමෙන් හටගත් ගංවතුරක් වැළැක්වීම සඳහා තම රජක කුළ අගබිසව එසේ වාන බිඳීගිය වැවකට බිලි දීමට රජතුමාට සිදුව තිබේ.

ඉන් හටගත් සිත්තැවුල මත එම ගංවතුරට මුල් වූ එම වැවේ බිඳුණු වානෙන් ගලා යන දියවරට පැන දිවි නසා ගත් රජතුමා අස්වූ වානේ දෙවි හෙවත් අස්වානේ දෙවි නමින් දේවත්වයට පත්ව තිබේ. ඒ අනුව අස්වානේ දෙවිඳුන් අශ්වයෙකු පිට නැඟී එම වැව බැලීමට පැමිණි බවත් එම වැව අද්දර ස්ථානය හෙවත් වෑගොව්වේ ඔහු සඳහා සංහිඳක් ඉදිවූ බවත් කියනු ලැබේ.

එමෙන්ම අස්වානේ දෙවියන් සඳහා වන ප්‍රධානතම දෙවොල මිනුවන්ගොඩ මාතම්මන, ධර්මරතනෝදය පිරිවෙන් භූමියේ පිහිටා ඇත. විස්මයට කරුණ නම් වර්තමානයේ එම දෙවොලේ කියවෙන අස්වානේ දේව කන්නලව්වෙන් පවා ශුද්ධ සූනියම් දෙවිඳුන් පිළිබඳව කියැවීම ය.

ශුද්ධ සූනියම් දෙවියන් තුළ පවතින සෙසු දෙවි වරුන්ගේ අනන්‍යතාවය පැහැර ගැනීම කොතරම් බලවත් ද යත් යක්ෂ ස්වරූපයෙන් පසු වූ ඔහුගේ දාමරික ක්‍රියා බුදු ගුණ බලයෙන් නතර කරන ලදුව කබලෑවේ මුත්තා නමින් දේවත්වයට පත් වූ ‘සිල්වත් රාළ’ නම් උපාසක තැනට සිදු වූ ඉරණමෙන්ම පැහැදිලි වේ.

අද වන විට කබලෑවේ මුත්තා නමින් පසුව දේවත්වයට පත් සිල්වත් රාළගේ දෙවිකම ද පැහැර ගනිමින් කබලෑවේ මුත්තා නමින් ද තම පෞරුෂය සමාජයේ ව්‍යාප්ත කිරීමට මෙම ශුද්ධ සූනියම් ගම්භාර දෙවියන් සමත්ව තිබේ.

මෙය එම දේව සංකල්ප මුල්කොට ගත් ජන විඥානයේ ක්‍රියාත්මක බව කදිමට නිරූපණය කරන්නකි. මේ අයුරින් අතීතයේ විවිධ ගම් බිම් වලට අධිගෘහිතව සිටි බවට ගැමියන් විසින් පිළිගත් ගමේ මුත්තා, ගම් හිමි දේවතාවා, පරවේණි දේවතාවා ලෙසින් හඳුන්වනු ලැබූ සියලු දෙවිවරුන්ට ‘පහර දී’ ඔවුන්ගේ පෞරුෂයන් බිඳ දමා ඒ මතින් නැඟී සිටීමට මෙම ශුද්ධ සූනියම් දෙවියන් සමත්ව තිබේ.

මෙය වර්තමාන දේශපාලන කරලියේ සිදුවන පොදු සංසිද්ධියක් මැනවින් නිරූපණය කරන්නකි. අද වන විට අප දේශපාලන කරලියේ මෙම සූනියම් දෙවිඳුන්ගේ භූමිකාව නිරූපණය කරනුයේ කවුරුන් ද යන්න ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

මෙලෙස අස්වානේ දෙවියන් නමින් දේවත්වයට පත්ව ශුද්ධ සූනියම් ගම්භාර දේව සංකල්පය තුළින් ගිලී ගිය සකලකලා වල්ලභ රජුගේ හෙවත් අස්වානේ දෙවියන්ගේ සොයුරු තනිය වල්ලභ රජු ද පසුව දේවත්වයට පත්ව තිබේ.

නමුදු එම දේවත්වය ශුද්ධ සූනියම් ගම්භාර දේවත්වය තුළට අවශෝෂණය වී නොමැත. කොළඹ පුත්තලම් ප්‍රධාන මාර්ගය අසල මාදම්පේ පිහිටි තනිවැල්ලේ දේවාලය තුළදී තනි වැල්ලේ දෙවියන් නමින් ඔහු අදත් තම ස්වීයත්වය, අනන්‍යතාව පළ කරයි.

මෙලෙස තමන්ගේ මුත්තා වරුන් හෙවත් ගම් හිමි දෙවිවරුන් ශුද්ධ සූනියම් ගම්භාර දෙවියන්ට බිලි නොදී රැක ගැනීම එම ගම්වල ජනතාව තුළ පවත්නා පෞරුෂය මැනවින් විදහා දක්වන්නකි. ඒ අතරින් අද වන විට එක්තරා ගම්මානයකට පමණක් කොටු වී සිටින සූනියම් ගම්භාර දේවත්වය හමුවේ බිඳ නොවැටුණු උඩවල මුත්තා දේව විශ්වාසය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ මම විමර්ශනයක යෙදුණෙමි.

කොළඹ – කුරුණැගල අංක 5 මාර්ගය ඔස්සේ ජා-ඇල, කොටුගොඩ පසුකොට යන විට හමුවන යාගොඩමුල්ල හන්දියෙන් වමට හැරී පැමිණ හෝ කටුනායක ඇවරිවත්ත හරහා යාගොඩමුල්ල දෙසට පැමිණ හීනටියන ගම්මානය අසබඩින් වෙල් යායක් අද්දර පිහිටි මෙම අපුරු පුදබිමට පිවිසෙන්නට ඔබටත් පුළුවන. එමෙන්ම ගම්පහ දිසාවේ සැඟවුණු මෙම අපූරු දෙවියන් පිළිබඳ විස්තර මේ දක්වා කිසිදු සාහිත්‍යය මූලාශ්‍රයකට එක්වී නොතිබීමත් විස්මයට කරුණකි.

ප්‍රදේශවාසීන්ට නිති රැකවරණ සලසන බව පැවසෙන සුදු පැහැති උස් තුඹසක වෙසෙන නාගයකු පදනම් කොටගත් මෙම උඩවල මුත්තා දෙවොලට අපි පසුගියදා පිවිසුණෙමු. මෙය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මිනුවන්ගොඩ, හීනටියන නම් සුන්දර ගම් පියස අද්දරය. පුජ්‍ය හීනටියන ධම්මාලෝක මහ නාහිමියන්ගේ උපන්ගම සහ උන්වහන්සේ වැඩිම කාලයක් වැඩ වාසය කළ විහාරය පිහිටි නිසා මෙම හීනටියන යන නාමයට දෙස් විදෙස් කිර්තියක් හිමිව තිබේ.

මේ දෙවොලට අධිපති උඩවල මුත්තා අතීතයේ ඒ ගමෙහි විසු ජනප්‍රධානියෙකි. එවක ඔහු බොහෝ සැර පරුෂ අයෙක් බවත් පැවසෙයි. තමන් ඉන්දියානු බ්‍රාහ්මණ වංශයකින් පැවත එන බව පවසන හීනටියන ගම්වාසීන් තම ගම්මානයේ කුඹුරු වල ‘කළු හීනටි’ නම් දේශීය වී විශේෂය වගා කිරීම අරඹන ලද්දේ ද මෙම උඩවල මුත්තා විසින් බව පවසා සිටිති. ඒ අනුව ජානමය වශයෙන් තමන්ට උඩවල මුත්තාට මෙන් සුවිශේෂ කාය ශක්තියක් සහ චිත්ත ශක්තියක් ඇති බව මොවුන්ගේ පාරම්පරික විශ්වාසයයි.

කෝට්ටේ රාජධානියේ රජකළ ධර්ම පරාක්‍රමබාහු රජ සමයේ උඩුගම්පළ රජ කළ සකලකලා වල්ලභ රජු පිළිබඳව අලකේශ්වර යුද්ධය, රාජාවලිය ආදී කෘතිවල බොහෝ විස්තර සඳහන් වෙයි. මෙම රජතුමාට ප්‍රධාන යුද සේනාධිපතිවරු දෙදෙනෙකු සිටි බව ජනවහරේ සඳහන්ය.

ඉන්දියාවේ කායල්පට්ටනම් සිට හලාවත මුතු කිමිදීමටත් ඇතුන් ඇල්ලීමටත් යෝනක සේනාවක් සමඟ පැමිණ හලාවත ආක්‍රමණය කළ අධිරාස රායන් නම් විජාතිකයා පැරදවීම සඳහා කෝට්ටේ රජ කළ ධර්ම පරාක්‍රමබාහු රජු තම සොයුරන් වන උඩුගම්පළ රජ කළ සකලකලා වල්ලභ රජුට සහ මාදම්පේ රජ කළ තනිය වල්ලභ කුමරුන් හට පවරනු ලදැයි කියවෙයි.

මෙහිදී තම සේනාවන් සමඟ හලාවතට ගිය මෙම දෙබෑයන් එම සතුරු සේනාව වෙතට දරුණු ප්‍රහාර එල්ලකොට ඔවුන් පරාජය කළ පුවත අලකේශ්වර යුද්ධය සහ රාජාවලිය කෘතිවල සඳහන්ය.

මෙහිදී සකලකලා වල්ලභ රජු තමන් සමඟ එම සංග්‍රාමයේදී පෙරමුණ ගෙන ක්‍රියා කිරීම නිසා මෙම උඩවල මුත්තාට ගම්වරයක් ප්‍රදානය කළ බව ජන වහරේ පැවසෙයි.

ඔහු සමඟම මෙම සටන් බිමට ගිය අනෙක් සෙන්පතියා වූ කෙහෙළිබැඳි රාළට ද ගම්වරයක් හිමි කළ අතර වර්තමානයේ එය කෙහෙල්බද්දර යනුවෙන් හැඳින්වෙයි.

ඉන්පසු කලක් අවෑමෙන් මරණයට පත් වූ මෙම උඩවල මුත්තා ගම්මුන්ට ආරක්ෂාව සලසනු පිණිස කැපවී ක්‍රියා කළ බවත් එදා මෙදා තුර තම බලය පැතිරවීම පිණිස ගම ආශ්‍රිතව සුදු නාග පරපුරක් බිහි කළ බවත් ගම්මු පවසති. අදත් එම පරපුරේ සුදු නාගයකු එම ගම්මානයට අරක්ගෙන සිටින බවත් ගැමි විශ්වාසයයි.

විශේෂයෙන් ගම්මානයේ කුඹුරු පැසෙන කාලයට එම නාගයා වරින් වර දර්ශනය වන බවත් ගම්මු අප හා කීහ. එනිසා අතීතයේ සිට අද දක්වාම එම සුදු නාග පරපුර වාසය කරන බව පැවසෙන වෙල්යාය අද්දර පිහිටි තුඹස අබියස ඇති පූජාගල මත කෙම්මුර දිනයන් හි සැන්දෑ කාලයේ උඩවල මුත්තා සිහිකොට පහන් තැබීමට පැරණි ගම්මු පුරුදුව සිටියහ.

එමගින් තම ලෙඩ දුක් අපල උපද්‍රව සතුරු කරදර දුරුවී ගොවිතැන් බත් සරුසාර වී ගෙදර දොර සතුට සාමදානය උදාවන බව ගම්මුන්ගේ විශ්වාසය විය. අද මෙම දේවාලය ඉදිකොට ඇත්තේ එම සුදු තුඹස සහ පුජාගල මැදි කර ගනිමිනි.

අදත් මේ ප්‍රදේශයේ ගැමියෝ තමන්ගේ වී අස්වැන්නෙන් ලබාගන්නා මුල්ම කොටස මෙම දේවාලයට ගෙනවුත් ඉන් කිරිබතක් පිස මේ උඩවල මුත්තාට පුජා කරනු දකින්න පුළුවන.

ගැමියන්ට එදිනෙදා ජිවිතයේ දී මුහුණ පෑමට සිදුවන ඕනෑම ගැටළුවකදී මේ උඩවල මුත්තා පිහිටට එන බවත් කාන්තාවන් හා කුඩා දරුවන් සම්බන්ධ ගැටළු වලදී එතුමන්ගේ දේව බැල්ම වැඩිපුර යොමුවන බවත් විශ්වාස කරන ගැමියන් එම ප්‍රදේශයේ සිදුවන සිද්ධීන් මුල්කොට හෝ එම දේව විශ්වාසය ගැරහීමට ලක් කරන විට එම නාගයා වැඩිපුර දර්ශනය වන බව කියති.

එමෙන්ම කිනම් හෝ හේතුවක් මත ආහාර අරුචියෙන් පෙළෙන්නවුන්ගේ එම අරුචිය සැනින් දුරු කිරීමට මේ උඩවල මුත්තාට විශේෂ හැකියාවක් ඇතැයි ද පැවසෙයි. ඒ අනුව රෝග පීඩා නිසා සති, මාස ගණන් ආහාර අරුචියෙන් පෙළෙන රෝගීන් විශාල පිරිසක් මේ උඩවල මුත්තාගේ පිහිටෙන් සහනය ලබා ගෙන ඇති බව ගම්මු පවසති.

අද වන විට හීනටියන පොත්ගුල් විහාරය මගින් පාලනය වන මෙහි සතියේ සෙනසුරාදා හා බදාදා යන කෙම්මුර දින වලදී පුජා පැවැත්වෙයි. මේ තත්වය තුළ  වුවද ශුද්ධ සූනියම් ගම්භාර දේව ප්‍රහාරයෙන් මේ වන විට සුණු විසුණු වී ගොස් ඇති ප්‍රාදේශීය දෙවි වරුන්ගේ ගණන කොතෙක් දැයි කීමට නොපුළුන.

මෙවන් පසුබිමක් තුළ වර්තමානයේ ද අප රටේ ක්‍රියාත්මක වන වැඩවසම්වාදී දේශපාලන චින්තනය අපගේ මනස් වලින් සෝදා ඉවත් කර නොගත හොත් ඒ තුළින් අප රටේ දේශපාලනයට සුදුස්සන් වෙනුවට පවුල්වාදය තුළින් මතු වන පඹයන්, රූකඩයන්, පුස්සන් වැඩි වැඩියෙන් අවතීර්ණ වීමට පැහැදිලි ඉඩක් තිබේ.

එය වත්මන් සමාජයට ශුද්ධ සූනියම් දෙවි වරුන්ගෙන් ප්‍රාදේශීය දෙවිවරුන්ට එල්ල වුණු මරු පහරටත් වඩා ‘බරපතල හූනියමකි’.

තිලක් සේනාසිංහ

t

o

p