ඉතිහාසයේ කිසිදු කාලයක සිදු නොවූ අයුරින් මුහුදේ රළ වේගය ප්‍රචණ්ඩ වීම මත අද වන විට තම දේපල සේම ජීවිත ද මුහුදට බිළිවීමේ කුරිරු අවදානමක් පැන නැඟී ඇතැයි මීගමු දූවේ වැසියෝ මැසිවිලි නඟති.
ඒ අනුව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ජූලි මාසය තුළ තව දුරටත් ප්‍රචණ්ඩ වන මුහුදු රළ තම ගම්මානයේ කොටසක් යටපත් කොට අනෙක් පසින් ඇති මීගමු කලපුව දක්වාම ගමන් කිරීමේ අවදානමක් පැන නැඟී ඇති බවයි . “මේක අපේ පාරම්පරික ගම.අපේ හත්මුතු පරම්පරාවම මේ ගමේ ජීවත් වෙලා මූදු රස්සාව කරපු අය.වාරකන් කාලෙට මූද කොහොමත් සැරයි. නමුත් මේ වගේ භයානක තත්වයක් මීට කලින් කවදාවත් ඇවිත් නැහැ.ඉස්සර මූද තිබුණෙ අපේ ගෙවල් වලට පිටිපස්සෙන්.දැන් මූද මහ සද්දෙන් අපේ පිළිකනු වලට ඇවිත් තාප්ප,ටොයිලට්,මඩු සෑහෙන ගණනක් මූදට කඩාගෙන ගිහින්.
ඒ මදිවට සමහර ගෙවල් ඇතුලටත් මූද කඩා වැදිලා ගෙවල් ඇතුලෙත් මූදෙන් ගහ ගෙන ආපු රොඩු-බොඩු,පොලිතින්-ප්ලාස්ටික් පිරිලා;මේ විදිහට මේ මාසෙදි මූද අපේ ගෙවල් ඇතුලට ඇවිත් ගෙදර දොර බඩු මුට්ටු එක්කම අපිවයි දරු පැටවුන්වයි ඇදගෙන ගියොත් පුදුම වෙන්න එපා”මීගමු දූවේ දී අපට හමු වූ ඩබ්ලිව්.ජසින්තා ප්‍රනාන්දු මහත්මිය කීවාය. මෙහි දී අදහස් පළ කළ මීගමු දූවේ තෙරේසා ද මැල් මහත්මිය කීයේ දැන් රාත්‍රී කාලයට වරින් වර අමුතු ගොර බිරම් හඬවල් අසන්නට ලැබෙන බවය.තමන් කුඩා අවදියේ ද ඉතා කලාතුරකින් මුහුදින් මෙවන් ගොර බිරම් හඬ නැඟුණු විට එම බය දුරු වනු පිණිස “හෝසන්නා,හෝසන්නා” යනුවෙන් හඬ ගා කියන ලෙස වැඩිහිටියන් තමන්ට උපදෙස් දුන් බවද ඇයකීවාය..”එදා බොහොම කලාතුරකින් ඇහුණු සද්දෙම තමයි දැන් නිතරම වගේ රෑට ඇහෙන්නෙ ඒ වෙලාවට දැනෙන මර බය නැති කරගන්න දෙවියන්ට යාඤා කරන එක විතරයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ”යැයි ද ඇය කීවාය.
මීගමු දූව ඇතුළු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට බල පා තිබෙන මෙම උවදුරට ප්‍රධාන හේතුව කොළඹ වරාය නගරය හෙවත් පෝට් සිටිය ඉදි කිරීම සඳහා නිසි ශක්‍යතා අධ්‍යයන වලින් තොරව වැලි කියුබ් ලක්ෂ ගණනක් මෙම මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීම බව පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.
එලෙස මුහුදට සිදු කරන නොවිධිමත් බලපෑම් මඟින් අපේ රට වටා ඇති මුහුදේ සාගර ප්‍රවාහ වෙනස් වීමෙන් ඇති විය හැකි බව 2010 වසරේ බලයට පත් රජයට විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දුන් නමුදු එම රජයේ බලධාරීන් ඒ උපදෙස් නොතකා ක්‍රියාකිරීම මත මෙවන් ඛේදනීය තත්වයක් උද්ගතව ඇති බව ද චාමිකර මහතා කියයි.
ගොඩ බිම උන් මූද කන කොට මූද ඇවිත් ගොඩබිම කන එකේ පුදුමයක් නැහැ.මීගමු දූවේ දී අපට හමු වූ ග්‍රේෂන් මිහිඳුකුල සූරිය මහතා කීය.”මූද හාරලා ටවුමක් හදන්න තරමට වැලි ගොඩ දැම්මම මූදත් එකේ රිටන් එක දෙනවම තමයි.ඒත් උන් මූදෙන් උදුරා ගත්තු වැලි වෙනුවට මූද අපේ දේපළයි ජීවිතයි උදුරා ගන්න යන එක තමයි ප්‍රශ්නෙ”ඔහු කීය.
එමෙන්ම මීගමු දූව වැසියන් පෙන්වා දෙන්නේ මීට කලින් මුහුදු තීරයට යොදා තිබූ වෙරළාරක්ෂක ගල් වැටි ද මේ වන විට ශීඝ්‍ර ගිලා බැසීමකට ලක් වෙමින් තිබෙන බවය. “පහුගිය දවසක කොළඹ වෙරළ සංරක්ෂණ ප්‍රධාන කාර්යාලයෙන් ඇවිත් මේවා වීඩියෝ කරගෙන ගියා;බයිසිකෝප් එකක් ගහන්නද මන්දා.මේ කළුගල් ටිකත් පොළවට ගිලා බැස්සම මූද ඇවිත් මේ ගමෙන් කොටසක් අරන් යාවි නේද කියලා අපි අහන කොට ඒ එක මහත්තෙයෙක් කිව්වෙ”බලමු”කියලා විතරයි.
අනික මේවා වාර්තා කරන්න මාධ්‍යකාරයො ඇවිත් ෆොටෝ ගහනවා,වීඩියෝ කරනවා,ටේප් කරනවා,ලියාගන්නවා.ඒත් මේවා ටීවී,රේඩියෝ,පත්තරවල යන පාටක් නම් නැහැ.ඒවා කවුරු හරි සල්ලි බලෙන් නතර කරනවද කියන සැකයත් අපේ හිත් වල තියනවා”මීගමු දූවේ වැසියෝ කියති.
දමයන්ති ගමගේ