ගලේවෙල සුනඛ ඝාතකයන්ටත් දඩය රුපියල් සීයම ද?

June 25, 2020

වරදකරුට දණ්ඩ නීති සංග්‍රහය යටතේත් චෝදනා ගොනු කළ යුතුයි. වසර පහ බැගින් සිර දඬුවම් නියම කළ හැකියි.

ගලේවෙල අළුත්වැව ප්‍රදේශයේ දී සුනඛයන් දස දෙනෙකුට වස දී මරණයට පත් කිරීමේ පුවතක් ඊයේ (24 දා) වාර්තා වුණා. යම්කිසි පුද්ගලයෙක් සුනඛයන්ගේ ආහාරයට වස මිශ්‍ර කොට ලබා දුන්නේ නම් එය ඉතාම කෲර ක්‍රියාවක්. ඒ ක්‍රියාව සිදුකළ පුද්ගලයා කවර අරමුණක් උදෙසා එය සිදු කළේ ද යන්න ගැටලුවක්.

නමුත් ඒ අයුරින් සුනඛ සංහාරයක් කිරීම කිසිදු හේතුවක් මත සාධාරණීයකරණය කළ නොහැක්කක්. මිනිස්සු නිවාස හදාගෙන රැකියා කරලා මුදල් උපයාගෙන කෑම බීම සකසා ගත්තත් වෙනත් සතුන්ට එසේ කිරීමේ හැකියාවක් නැහැ. විශේෂයෙන් ගෘහාශ්‍රිතව  නිදැල්ලේ හැසිරෙන සුනඛයන් බළලුන් වැනි සතුන් සිය ආහාර අවශ්‍යතාවන් සපුරා ගන්නේ  මිනිසා ආශ්‍රය කිරීමෙන්.

එය අතිශය ස්වභාවික තත්වයක් බව මිනිසා අනාදිමත් කලක සිට දන්නා සත්‍යයක්. එමෙන්ම මෙම ලෝකයේ මිනිසාට පමණක් නොව  සතුන්ට ද එකසේ අයිති බව මුලින්ම ලෝකයට ප්‍රකාශ කළේ බුදුදහමින්. දැන් එම සත්‍යය ලෝකයේ වෙනත් බොහෝ රටවල මහත් ඉහළින් පිළිගන්නවා. බොහෝ රටවල් සත්වයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තම රට තුළ නීති පනවා තිබෙනවා. ඒ මගින් සත්තුන්ට ඇති ජීවත් වීමේ අයිතිය මෙන්ම ඔවුන් සතු අයිතිවාසිකම් ද තහවුරු කොට තිබෙනවා. ඔවුන් පිළිබඳ සුබසාධන කටයුතු ද ලොව පුරා ක්‍රියාත්මක වෙනවා.

අපේ රටේ ද සතුන් පිළිබඳව ඇති නීතිය වසර 113 කට වඩා පරණයි. 1907 අංක 13 දරන පනතින් තමයි සත්ව හිංසාව වළක්වා තිබෙන්නේ. ඉංග්‍රීසි ජාතිකයන් අප රට පාලනය කළ කාලයේ පැනවූ එම නීතියට අනුව සත්වයෙකු ඝාතනය කළ හොත් රුපියල් 100ක දඩයක් නියම කොට තිබෙනවා.

ඒ කාලේ රුපියල් සියයක් කියන්නේ ඉඩම් අක්කර කීපයක් මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලක්. අපි හිතමු අඩුමතරමින් රුපියල් ලක්ෂයක් කියලා අවාසනාවට මේ දක්වා එම පනත යාවත්කාලීන නොවීම නිසා තවමත් එම දඩය රුපියල් 100 ලෙසයි සඳහන් වන්නේ. සමහරුන් මේ සම්බන්ධයෙන් සමාජ ජාල මගින් අප රට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන්ට දොස් පවරන අයුරු පවා අප දැක තිබෙනවා.

මේ හේතුව නිසාවෙන්ම අලුතෙන් සත්ව සුබසාධන පනතක් ඇති කොටකොට සතුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට අවිහිංසාවාදී සියලුම දෙනා ඉදිරිපත් වීම කාලෝචිතයි. එසේම සත්ව සුබසාධනය සඳහා වන ක්‍රියාකාරී සමාජ කණ්ඩායම් සහ ආගමික අවිහිංසාවාදී සංගම් පෙරමුණ ගෙන වහාම මේ සඳහා හඬ නැගීමට උත්සුක විය යුතුයි. කිසිදු ආගමක් නොඅදහන ශ්‍රී ලංකා හේතුවාදී සංගමය පවා සතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු විය යුතු බවට පසුගියදා ප්‍රකාශයක් නිකුත් කොට තිබුණා. මෙය සත්ත්ව අවිහිංසාවාදී සමාජ ප්‍රවාහයට ලැබුණු කදිම උත්තේජනයක්.

බොහෝ දෙනා මෙම රුපියල් සියයේ දඩය පිළිබඳව කලකිරීමෙන් කතා කරනවා. එය සංශෝධනය වන තුරු හෝ දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන සත්ව ඝාතන සඳහා යොදා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව පොලීසියේ අවධානය යොමු කළ යුතුයි. සත්ත්ව හිංසාව සහ ඝාතනය සඳහා 1907 අංක 13 පනතට අමතරව අපේ රටේ දණ්ඩනීති සංග්‍රහයේ ද දඬුවම් නියම කොට තියෙනවා.

මේ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 411 සහ 412 වගන්ති වල අදාල ප්‍රතිපාදන දක්වා තියෙනවා. දණ්ඩනීති සංග්‍රහයේ 411 වගන්තියේ දැක්වෙන්නේ “රුපියල් දහයක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති සතෙකු හෝ සතුන් මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංගවිකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් අනර්ථය සිදුකරන තැනැත්තෙකුට අවුරුදු දෙක දක්වා වූ කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය” ලෙසයි.

එහි 412 වගන්තියේ දැක්වෙන්නේ “වටිනාකම කුමක් වුවද, යම් ඇතකු ඔටුවකු, අශ්වයකු, බූරුවෙකු, කොටළුවකු, මීහරකකු, ගොනෙකු, එළදෙනක හෝ ගවයෙකු හෝ රුපියල් පනහක හෝ ඊට වැඩි ගණනක වටිනාකම ඇති වෙනත් සතෙකු මැරීමෙන් හෝ වස දීමෙන් හෝ අංග විකල කිරීමෙන් හෝ අප්‍රයෝජනවත් කිරීමෙන් යමෙකු අනර්ථයක් කළහොත් ඔහුට අවුරුදු පහ දක්වා කාලයක, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය” ලෙසයි.

මේ අනුව චෝදනා එල්ලකරන පනතේ ප්‍රතිපාදන අනුව දඬුවම වෙනස් වන බව පෙනී යනවා. යම් හෙයකින් පොලීසිය විසින් සුළු දඬුවමක් සහිත පනතක ප්‍රතිපාදන ඔස්සේ පමණක් එවන් චූදිතයෙකුට චෝදනා එල්ලකොට තිබේ නම් අගතියට පත්වූ පාර්ශවයට නඩු විභාගයේදී ඒ සම්බන්ධව ගරු අධිකරණයට කරුණු දැක්වීමේ හැකියාව පවතිනවා.

මෙය අප රටේ සත්ත්ව ලෝලීන්, අවිහිංසාවාදීන්, සත්ත්ව හිමිකම් ක්‍රියාධරයන්, විශේෂයෙන් සිහිතබා ගත යුත්තක්. ඒ අනුව හැකි හැම විටම මෙවන් කරුණු අධිකරණය වෙත යොමු කොට අදාළ වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධයෙන් සත්ත්ව අවිහිංසාව අගයන සියළු පාර්ශ්වයන් පොදු කතිකාවකට එළැඹීමත් ඉතා වැදගත්.

 දිගින් දිගටම සිදුවන සත්ව ඝාතනයන්, විශේෂයෙන්ම සුනඛයන් ඝාතනය කිරීමට එරෙහිව සත්ව අවිහිංසා පනත පාර්ලිමේන්තුවේ සම්මත කොට ඉක්මනින්ම බලාත්මක කිරීමට මෙම මැතිවරණ කාලයේ දී ඡන්ද අපේක්ෂකයන්ගෙන් ප්‍රසිද්ධියේ ලිඛිත පොරොන්දු ලබා ගැනීමට කටයුතු කිරීමත් වඩාත් වැදගත් වෙනවා.

ඒකට හේතුව මැතිවරණ කාලයට දෙන ඡන්ද පොරොන්දු විශ්වාසවන්ත බවින් තොර වීමයි. එමගින් මෙවන් මිලේච්ඡ ක්‍රියාවන් පිළිබඳව සමාජයේ මනා කතිකාවක් ඇති කොට ඒ සඳහා නිශ්චිත නීති පැනවීමේ අවශ්‍යතාව රජයට පෙන්වා දීමටත් ඒ සඳහා බල කිරීමක් සිදු කිරීමට ද මෙය අවස්ථාවක් කොට ගත යුතු වනවා. ඒ අතරේම මෙම සමූහ සුනඛ ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි තියුණු අවධානයෙන් පසුවීමත් අතිශයින් වැදගත්.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

MBBS (PERADENIYA) LL.B (OUSL) CER PSYCHOLOGY AND COUNSELING

වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර

t

o

p