ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

June 25, 2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 80 වන රැස්වීම අද (24) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවත්විනි. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද මෙම රැස්වීමට සහභාගී වූහ.

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි නිහාල් ෆොන්සේකා මහත‍ා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා තිබූ ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ සමන්ත කුමාරසිංහ මහතාගේ නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාකච්ඡා කර එ්කමතිකව සම්මත කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකුව සිටි ආචාර්ය ජයන්ත ධනපාල මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සභාපතිතුමා විසින් ව්‍යවස්ථා සභාව දැනුවත් කරන ලද අතර ජයන්ත ධනපාල මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිදුකරන ලද විශිෂ්ට සේවය ඇගයීමට ලක් කෙරිණි.

මෙම පුරප්පාඩුව පිරවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව ඉදිරියේදී පියවර ගනු ඇතැයි  ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමා සාමාජිකයන්ව දැනුවත් කරන ලදී.

හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ ඇතිවි තිබෙන පුරප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට බඳුන් විය.

මැතිවරණ කොමිෂන් සභාවේ සහ පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳවද ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු විය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් සහ ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් එවන ලද නිරීක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විසින් සාමාජිකයන් වෙත ඉදිරිපත් කරන ලදී.

තවද, අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් පොලිස් කොමිෂන් සභාවට යවා තිබු ලිපියක පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විසින් එහි සාමාජිකයන්ගේ  අවධානයට යොමු කරන ලද අතර මේ පිළිබඳව පොලිස් කොමිසමේ නිරීක්ෂණ මේ දක්වා ලැබි නොමැති බැවින් එම නිරීක්ෂ ඉතා කඩිනමින් ලබා ගත යුතු බවද තීරණය කරන ලදී.

t

o

p