මීට කලෙකට පෙර මට නන්නාඳුනන අයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. මුලින්ම ඔහු මගෙන් විමසන ලද්දේ ”ඔය තිලක් සර් ද?” යනුවෙනි.
සාමන්‍යයෙන් යමකුගේ නම සමඟ මහත්තයා යන්න යෙදිය හැකි වුව ද ඒ වෙනුවට ”සර්” යන්න ආදේශ කිරීම එතරම් ව්‍යක්ත නැත. කෙසේ හෝ ඉන්පසු ඔහු දිගින් දිගටම මා අමතන ලද්දේ ද “සර්“ යනුවෙන්ම ය. “මම මේ කතා කරන්නෙ සර්ගෙ අසවල් පොත කියවපු ගමන්. මට බැරිද සර්ව පොඞ්ඩක් හම්බු වෙන්න. මට වැදගත් කාරණාවක් කතා කරගන්න තියනවා” හෙතෙම කීය.
ශ්‍රී ලාංකේය සමාජයේ ගුප්ත විශ්වාස පිළිබඳ පොත – -පත කිහිපයක් ලියා ඇති මම ඒවායෙහි මගේ නිවසේ සහ ජංගම දුරකථන අංක සඳහන් කොට ඇත්තෙමි. ඒ මගේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සහ මූලාශ්‍ර මගේ පාඨකයන් වෙතින් ද ලබා ගනු පිණිසය. ඒ අනුව මෙම දුරකථන ඇමතුම ද එවැන්නකැයි මට සිතිණ. නමුදු තමන් කතා කරනුයේ ඊට වඩා වැදගත් හා වාසිදායක කරුණක් සම්බන්ධයෙන් බව කී ඔහු මා හමුවීමට දිනයක්, වේලාවක් සහ තැනක් ඉල්ලා සිටියේය.
ඒ අනුව මා පසුදාම ඔහුට අප නිවසට පැමිණෙන ලෙස දන්වා හිඳින ලද්දේ එම වාසිය පිළිබඳව දැන ගැනීමට මා තුළ ඉපදුණු ස්වභාවික කුතුහලය ද සහිතවය. ඊට පසු දින හරියට මා කියූ වේලාවටම මෙම පුද්ගලයා අප නිවසට පැමිණියේය. ඒ නවීන මෝටර් රථයකිනි. අප රටේ ප්‍රධාන නගර කිහිපයක පෞද්ගලික පන්ති සංවිධායකවරයකු ලෙස තමන් හඳුන්වා ගත් ඔහු තමන් ළඟින් ඇසුරු කරන බව කියමින් වත්මන් සමාජයේ ලොකු ලොක්කන්, කෙරුම් කාරයන් කිහිප දෙනකුගේ නම් ද මා හමුවේ ගෙන හැර දැක්වීය. ”දැන් සර් මේ පන්ති කෙරුවාවෙත් තරඟෙ වැඩියි.
ඒ හින්දා මම ඔය ජ්‍යොතිෂය, යෝග ව්‍යායාම, ධනාත්මක චින්තන, මෝහන වගේ පන්ති පැත්තට හැරුණා. පන්ති කිව්වට මේවා මාස තුනේ, හයේ, සති අන්ත පාඨමාලා. සමහර පාඨමාලා සතියකට පැය දෙකයි. එතකොට මාසෙකට පැය හතරයි. මාස හයටම පැය විසිහතරයි” හෙතෙම කීය.
ඒ සමඟම ඔහු කියා සිටියේ දැනට මෙම පාඨමාලා බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමේ වැඩ පිළිවෙලකට ද තමන් මුල පුරා ඇති බවය.” ඒ වගේ තැන්වල පන්ති පටන් ගන්න කොට ඒවායේ සමහර හාමුදුරු වරුත් ඔය පන්සලේ පින්කම් වලදි, සිල් වැඩසටහන් වලදී, දහම් පාසල් වලදි ඒවට හොඳ ප්‍රචාරයක් දෙනවා; මේවත් බුද්ධාගමට සම්බන්ධ වගේ නිසා” කී ඔහු “මාත් ඉතින් ඒවට හරියන්න උන් වහන්සෙලාට හොඳට සළකනවා”යැයි පවසන ලද්දේ සිනාසෙමිනි. ඒ අනුව කවුරුන් හෝ මොහු තරමක අමාරු කාරයෙකැයි මට සිතිණ.
ගුප්ත විශ්වාස ගවේෂණය මුල් කොට මා ලියූ පොත්-පත් කිහිපයකම සාත්තර කීමේ සැබෑ ශාස්ත්‍රය සරල මනෝ විද්‍යාත්මක ගුණ්ඩු කිහිපයක් මත පදනම් වන බව කියා ඇත්තෙමි. එමෙන්ම ශ්‍රී ලංකා හේතුවාදී සංගමය මඟින් සංවිධානය කරන ලද දේශනයක දී “සාත්තර කීමේ ශාස්ත්‍රය” යනුවෙන් දෙසුමක් ද පවත්වා ඇත්තෙමි. බොරැල්ලේ ආචාර්ය ඇන්.
ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී පැවැති එම දෙසුම අවසානයේ ඒ විෂය තුළ ගැබ් වූ මනෝ විද්‍යාත්මක ගුණ්ඩු විස්තර කරන ලෙස සභාවෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය. එහෙත් එවිට ද මම තවත් බෝම්බ තැනීමේ ශාස්ත්‍රයක් සමාජගත කිරීමේ කිසිදු අදහසක් මා තුළ නොමැති” බවක් පවසා සිනා සී නිහඬ වීමි. කෙසේ හෝ තකහනියේම මා සොයා පැමිණි මේ පන්ති සංවිධායක තැන ද මගෙන් ඉල්ලා සිටිනුයේ එවැනි නව පාඨමාලා සම්ප්‍රදායක පුරෝගාමිත්වය ලබා ගන්නා ලෙසය.
“සර්ට ඔය කාරණා ටික කියලා දෙන්න දේශන කීයක් ඕනෙද? මට කිසි ප්‍රශ්නයක් නැහැ. පැය දෙකේ ලෙක්චර්ස් හයක්, දොලහක්, දහ අටක්, විසි හතරක් නෙවෙයි, තිස් හයක්, හතලීස් අටක් වුණත් කමක් නැහැ, මම ඒ ගාණට වැඬේ ප්ලෑන් කරන්නම්” හෙතෙම කීය.
“හොඳයි මම ඔය වැඬේට බැස්සාමයි කියමුකෝ. එතකොට මාවත් නිකම්ම සාත්තර ගුරෙක් වෙනවනේ” ඔහුගේ එම කීමෙන් පසු මම ද කීවෙමි.
“අපොයි; එහෙම වෙන්නෙ නැහැ සර්” හෙතෙම කීය.
“ගුප්ත අනාවැකි කීමේ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත වගේ නමක් දැම්මම ඒක වැඩි දෙනෙකුට තේරෙන්නෙ නැහැ. ඒත් තේරුම් ගන්න මිනිහා හොයා ගෙන එයි. අනික මම මේකට පත්තර දැන්වීම් පෝස්ටර්, බැනර් පාවිච්චි කරන්නෙත් නැහැ. අතින් අතට යන කොල ටිකක් බෙදනවා විතරයි.” ඒවට ක්‍රම සහ විධි මගෙ ළඟ තියෙනවා” හෙතම කීය.
“හොඳයි; දැන් මොකක්ද ඕකෙන් මට තියන වාසිය?” ඉන් පසුව මම ඔහුගෙන් ඇසීමි.
“ඒක මෙහෙමයි සර්, ඔය පාඨමාලාවෙ ආරම්භක දේශනය නොමිලේ. ඒත් මම ඒ පැය දෙකටත් සර්ට ගෙවනවා රුපියල් දහ දාහක්. සර්ට තියෙන්නෙ මුල්ම ලෙක්චර් එකේදි ඒ වගේ දෙයක් ඉගෙන ගන්න එකේ ප්‍රායෝගික වැදගත් කම පෙන්නලා දෙන්න.
සර්ගෙ අර පොතේ තිබුණනෙ සාත්තර කීම කියන්නෙ නොවිධිමත් මනෝ උපදේශනයක් කියලා. ඒකත් හොඳට මාකට් කරන්න පුළුවන් කතාවක්” හෙතෙම කීය. ඒ සමඟම ඔහු කීයේ ඉන්පසුව පාඨමාලාවට එක්වන සංඛ්‍යාව අනුව මට එක් එක් දේශනය වෙනුවෙන් මුදල් ගෙවන බවය.
ගත වූ තිස් එක් වසරක කාලය තුළ මම ඔවැනි ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ ස්ථාන පන්සීයයකට පමණ ගොස් නිරීක්ෂණය කොට ඇත්තෙමි. ඒ සඳහා වැය වූ කාලයට, ශ්‍රමයට අමතරව වියදම රුපියල් ලක්ෂ ගණනකි.එහෙත් ඒ සෑම තැනකම සිදුවන ලද්දේ සාත්තරය අසන්නාගෙන් දැන ගන්නා කරුණුම යම් විධි ක්‍රමයක් යටතේ යළි ඔහු වෙතම ඉදිරිපත් කිරීමකි. මෙය අනුයාත බැහැරලීමේ ක්‍රමයට සමානරූපී වෙයි ”දැන් සාමාන්‍යයෙන් ඔය වගේ පාඨමාලාවක් හදාරන්න කීයක් විතර ගෙවන්න වෙයිද?” එම කතා බහේ දී මම ඔහුගෙන් අසා සිටියෙමි.
“මේ විෂය අළුත් හින්දා දැන්ම එහෙම ගාණක් කියන්න බැහැ” ඔහු කීය. “හැබැයි ඉතින් මුළු පාඨමාලාවට වගේම ඕනෙ නම් දවස් ගාණට ගෙවන ක්‍රමේකුත් හදලා දෙන්න පුළුවන්. හැබැයි ඉතින් කොහොමත් දේශන දොළහක් නම් රුපියල් හතළිස්දාහක්, දහඅටක් නම් පන්ස්දාහක් වගේ ගන්නම වෙනවා” කී ඔහු “මොකද මම සර්ටත් හොඳට ගෙවන්න එපායැ” පවසන ලද්දේ තම අරමුණ කෙරෙහි මා ද ආකර්ශනය කර ගනු පිණිසය.
“හැබැයි ඉතින් මගෙන් ඔය මූලික කරුණු ටික අහුලාගන්න කෙනෙකුට සාත්තර කියන්න වගේම ඔය ගැන දේශන තියලා ලොකුවට සල්ලි හොයන්නත් පුළුවනි නේද?” යනුවෙන් මා නැඟූ ප්‍රශ්නය හමුවේ ඔහු සිනාසුණි.
“මොන පිස්සුද? සර් මේවා එහෙම හැමෝටම පිහිටන්නෙ නැහැ. අනික සර් වගේ සීරියස් විදිහට හිතන්නෙ නැතුව මේවා යන්තම් කටේ තොලේ ගා ගත්තු ‘වැඞ්ඩෙකුට’ ඕනෙ නම් කෝටි පතියෙක් වෙන්න පුළුවන්” ඔහු කීයේ මගේ ගෙදර-දොර සරල, චාම් වටපිටාව පිරික්සමිනි.
“ඇත්තෙන්ම අද සාත්තර කියනවා කියන්නෙ අසරණ මිනිස්සු මුලා කරලා සල්ලි කඩා වඩා ගන්න එකනෙ. මාත් නැති බැරි මිනිහෙක් තමයි. ඒත් නැති බැරිකම මුල් කරගෙන හරි මට ඔය විදිහට සල්ලි හොයන්න හිතුණොත් මම ඊට කලින් සල්ලි හොයන තව ක්‍රමයක් ගැන බලනවා” අවසානයේ මා එසේ කී විට ඔහු එය ඇසීමට මහත් උනන්දුවක් පළ කරනු මට හොඳින්ම පෙනිණ” මම ඩොල්කියක් අරගෙන ගිහින් කෝච්චියෙ සින්දු කියනවා” ඒ අනුව මම කීවෙමි.
අතීතයේ සාත්තර කීම හුදෙක් නොවිධිමත් මනෝ උපදේශනයක් වන ලද්දේ එය අසරණනුන්ගෙන් මුදල් කඩා වඩා ගැනීමේ මාධ්‍යයක් නොවූ බැවිනි. නමුදු අද එය සාපරාධි මංකොල්ල ගණයට වැටී ඇතත් ඒවා පිටු දැකීමේ නීතිමය ප්‍රතිපාදන අප රට තුළ සම්පාදනය වී නැත. එවන් පසුබිමක් යටතේ මුදල් යිපැයීම පිණිස මෙබඳු පාඨමාලා ඇරඹීමෙහි පුරෝගාමියෙකු වීමට වඩා දුම්රියේ සිඟමන් යැදීම නම්බුකාරයැයි මම දැඩිව විශ්වාස කරමි.
තිලක් සේනාසිංහ